slc
logo
Home   |    News
අගෝස්තු 27, 2026
කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල කණ්ඩායම් අද (27 දා) සමත්වූහ. ඒ අනුව තරගාවලියේ ශූරතාව වෙනුවෙන් දෙපිල අතර අවසන් මහා තරගය ලබන 29 වැනිදා පැවැත්වීමට නියමිතය.

අවසන් මහා තරගයේ ස්ථානය තහවුරු කර ගැනීමේ සටනේදී පිතිකරුවන්ගේ දස්කම් කැපී පෙනුණු අතර, කොළඹ දකුණ වෙනුවෙන් දුෂේන් උඩවෙල සහ චෙනුක දොඩන්ගොඩ ශතක වාර්තා කිරීම විශේෂත්වයක් විය. ගාල්ලට එරෙහි තරගයේදී මහනුවර පිල වෙනුවෙන් යෙනුල හේවාවිතාරණද විශිෂ්ට ශතකයක් වාර්තා කළද එය අවසන් මහ තරග අවස්ථාව උදාකර ගැනීම සඳහා ප්‍රමාණවත් නොවීය.

ගාල්ලට එරෙහි තරගයේදී පළමුව පන්දුවට පහරදුන් මහනුවර කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 279ක් රැස් කළේය. එහිදී යෙනුල හේවාවිතාරණ පන්දු 130කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සමඟ ලකුණු 110ක් රැස් කළේය. චනුල් කොඩිතුවක්කු ලකුණු 69ක් ලබාගත් අතර, ශෂිත් බණ්ඩාර ලකුණු 27ක් එක් කළේය.

මහනුවර ඉනිම පාලනය කිරීමට ගාල්ල පන්දු යවන්නන් වූ රවීන් සචින්තන සහ චෙනුල් මින්ලක කඩුලු 3 බැගින් දවාගත්හ. ලකුණු 258දී මහනුවර කණ්ඩායමේ 7 වැනි කඩුල්ල බිඳ වැටුණද, අවසන් අදියරේදී ලකුණු එකතු කරමින් ඔවුන් ලකුණු 279ක් දක්වා සිය ලකුණු පුවරුව ඉහළ නංවා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගාල්ල කණ්ඩායම පන්දුවාර 47.2කදී කඩුලු 9ක් දැවී ලකුණු 280ක් ලබාගනිමින් තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්තේය. ලසිර ලකිඳු ලකුණු 26ක්ද, සඳරු මල්ෂාන් ලකුණු 41ක්ද, ගෙසඳු බිසස් ලකුණු 56ක්ද රැස් කළ අතර, මානිත රාජපක්ෂ ලකුණු 72ක් ලබාගනිමින් ගාල්ල ජයග්‍රහණයේ ප්‍රධාන සාධකයක් බවට පත්විය. රවීන් සතින්ත නොදැවී ලකුණු 21ක් ලබාගත්තේය.

මහනුවර පන්දු යැවීමේදී තිනුල්ක රාජපක්ෂ කඩුලු 4ක් දවාගත් අතර, යුමාල් එගොඩගේ කඩුලු 2ක් ලබාගත්තේය.

මේ අතර, අනෙක් අවසන් පූර්ව තරගයේදී කොළඹ දකුණ කණ්ඩායම සිය පිතිකරණ බලය උපරිමයෙන් ප්‍රදර්ශනය කරමින් දඹුල්ලට එරෙහිව ලකුණු 143ක දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කළේය.

පළමුව පන්දුවට පහරදුන් කොළඹ දකුණ පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 325ක් රැස් කළේය. එහිදී දුෂේන් උඩවෙල පන්දු 127කට මුහුණ දෙමින් හයේ පහරක් සහ හතරේ පහර 13ක් සමඟ ලකුණු 106ක් ලබාගත් අතර, ඔහුට අනගි සහයක් ලබාදුන් චෙනුක දොඩන්ගොඩ පන්දු 87කදී හයේ පහර 2ක් සහ හතරේ පහර 11ක් සමඟ ලකුණු 109ක් රැස් කළේය.

ඒ අනුව කොළඹ දකුණ ඉනිමේ ශතක දෙකක් වාර්තා වූ අතර, දුෂේන් සහ චෙනුක එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 185 කදී ලකුණු 224ක් රැස් කරමින් දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට මූලිකත්වය ගත්හ.

දඹුල්ලට ලකුණු 326ක ඉලක්කයක් හිමිවුවද, ඔවුන්ට පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 182ක් පමණි. දඹුල්ල වෙනුවෙන් මුරලිදරන් අනිෂ් ලකුණු 84ක් සහ අමල් පෙරේරා ලකුණු 36ක් ලබාගත්හ.

කොළඹ දකුණ පන්දු යැවීමේදී අදීෂ ලක්ෂාන් කඩුලු 4ක් දවාගත් අතර, සනුග දුල්මික කඩුලු 2ක් දවා ගනිමින් දඹුල්ලේ ලකුණු හඹායාම සීමා කළේය.

ඒ අනුව පිත්තෙන් දැවැන්ත දස්කම් දැක්වූ කොළඹ දකුණත්, තියුණු සටනකින් ජයගත් ගාල්ලත් අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 ශූරතාව වෙනුවෙන් අවසන් මහා තරගයේදී එකිනෙකා මුණගැසීමට සූදානමින් සිටිති. ලබන 29 වැනිදා පැවැත්වෙන එම අවසන් සටනේදී තරගාවලියේ ශූරයන් කවුරුන්ද යන්න තීරණය වනු ඇත.

ගාල්ලට එක් කඩුල්ලක තියුණු ජයක්

මහනුවර – 279/8 (පන්දුවාර 50)
යෙනුල හේවාවිතාරණ 110, චනුල් කොඩිතුවක්කු 69, ශෂිත් බණ්ඩාර 27, රවීන් සචින්තන 3/61, චෙනුල් මින්ලක 3/39.

ගාල්ල – 280/9 (පන්දුවාර 47.2)
මානිත රාජපක්ෂ 72, ගෙසඳු බිසස් 56, සඳරු මල්ෂාන් 41, ලසිර ලකිඳු 26, රවීන් සතින්ත නොදැවී 21, තිනුල්ක රාජපක්ෂ 4/53, යුමාල් එගොඩගේ 2/36.
ගාල්ල කඩුලු 1කින් ජයගත්තේය.

කොළඹ දකුණට ගකුණු 143 ක ජයක්

කොළඹ දකුණ – 325 (පන්දුවාර 50)
චෙනුක දොඩන්ගොඩ 109, දුෂේන් උඩවෙල 106, මෙතුක ගුණරත්න 18, ස්ටීවොන් පීරිස් 20, උදයකුමාර් ෂෙනොන් 4/51, කලිඳු සචින්තන 3/56, චමෝද් ප්‍රභාෂ 2/37.

දඹුල්ල – 182/8 (පන්දුවාර 50)
මුරලිදරන් අනිෂ් 84, අමල් පෙරේරා 36, කළිඳු සචින්ත 25, අදීෂ ලක්ෂාන් 4/31, සනුග දුල්මික 2/32.
කොළඹ දකුණ ලකුණු 143කින් ජයගත්තේය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar