ජපාන ක්‍රිකට් සංගමය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පවත්නා අවබෝධතා ගිවිසුම යටතේ ජපානයේ වයස අවුරුදු 19න් පහළ ජාතික ක්‍රිකට් කණ්ඩායම මේ දිනවල ශ්‍රී ලංකාවේ තරග සංචාරයක නිරතව සිටියි.
මෙම සංචාරයේදී ජපාන වයස අවුරුදු 19න් පහළ ජාතික කණ්ඩායමට ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 17න් පහළ දිස්ත්‍රික් කණ්ඩායම් පහක් සමඟ එක්දින පන්දුවාර 50 තරග පහකට ක්‍රීඩා කිරීමට අවස්ථාව සලසා දී තිබේ.
ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සඳහා දිගුකාලීන සහයෝගීතා වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජපාන ජාතික කණ්ඩායමට මෙන්ම එරට යොවුන් ක්‍රීඩකයන්ගේ දක්ෂතා වර්ධනය සඳහාද අවශ්‍ය සහය ලබාදීමට පියවර ගෙන ඇත.
ඒ යටතේ ජපාන ජාතික කණ්ඩායම නැගෙනහිර ආසියා – පැසිෆික් සහ ආසියානු කලාපීය ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග සඳහා සූදානම් කිරීමේ අරමුණින් මීට පෙරද ශ්‍රී ලංකාවේදී පුහුණු තරග වැඩසටහන් සංවිධානය කර තිබේ.
මෙවර ජපාන යොවුන් කණ්ඩායමේ සංචාරය සඳහාද අවශ්‍ය සියලු පහසුකම් සැපයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටියි. ඒ අනුව ක්‍රීඩාංගණ පහසුකම්, පුහුණු පහසුකම්, ක්‍රිකට් පන්දු, තරග විනිසුරුවන් සහ ලකුණු සටහන්කරුවන් ඇතුළු අවශ්‍ය සහාය ලබාදීමට පියවර ගෙන ඇත.
ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මීට පෙරද අවස්ථා රැසකදී සහය ලබාදී තිබේ. එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පුහුණු කාර්ය මණ්ඩල සහ තණතීරු සකස් කිරීමේ විශේෂඥයන් ජපානය වෙත යොමු කිරීම, ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ජපානයේ තරග සංචාරයකට යොමු කිරීම මෙන්ම තාක්ෂණික සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා විශේෂඥ දැනුම ලබාදීමද සිදුකර ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ජපාන ක්‍රිකට් සංගමය අතර මෙම අවබෝධතා ගිවිසුම 2024 වසරේදී අත්සන් කර ඇති අතර, එහි ප්‍රධාන අරමුණක් වන්නේ දෙපාර්ශ්වය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් ක්‍රීඩක හා පුහුණුකරු හුවමාරු වැඩසටහන් මෙන්ම විශේෂඥ දැනුම හුවමාරු කරගැනීම හරහා ජපානයේ ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය කිරීමයි.
මේ අතර, ශ්‍රී ලංකා සංචාරයේ නිරත ජපාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති එරාන් වික්‍රමරත්න මහතා ද හමුවිය. එම අවස්ථාවට ජපාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රියෝ සකුරානෝ, කණ්ඩායම් කළමනාකරු ඩන්කන් හැරිසන් සහ ජපාන ක්‍රිකට් සංගමයේ සුහද තානාපති ප්‍රියන්ත කාරියප්පෙරුම යන මහත්වරු එක්ව සිටියහ.
නැගී එන ක්‍රිකට් රටවල ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා සිය සම්පත්, දැනුම සහ විශේෂඥතාව බෙදාහදා ගැනීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දිගුකාලීන වැඩපිළිවෙළක් වන අතර, ජපාන යොවුන් කණ්ඩායමේ මෙම ශ්‍රී ලංකා සංචාරයද එම වැඩපිළිවෙළේ තවත් වැදගත් අදියරක් ලෙස සැලකිය හැකිය.




