slc
logo
Home   |    News
අගෝස්තු 24, 2026
ජයිස්වාල් සහ අසිතට අයි.සී.සී.යෙන් දඩ

sinhala editor

කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා – ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ඇති වූ උණුසුම් සිදුවීම සම්බන්ධයෙන් ඉන්දීය පිතිකරු යෂස්වි ජයිස්වාල් සහ ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දුට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් දඬුවම් පනවා තිබේ.

ජයිස්වාල් සහ අසිත දෙදෙනාම ICC ක්‍රීඩකයන් සහ ක්‍රීඩක සහායක කාර්ය මණ්ඩලය සඳහා වන ආචාරධර්ම සංග්‍රහයේ 2.12 වගන්තිය උල්ලංඝනය කර ඇති බවට තීරණය කර ඇත. ජාත්‍යන්තර තරගයකදී ක්‍රීඩකයකු, ක්‍රීඩක සහායකයකු, විනිසුරුවරයකු, තරග තීරකවරයකු හෝ වෙනත් පුද්ගලයකු සමඟ නොගැළපෙන ආකාරයේ හැසිරීම එම වගන්තිය යටතට අයත් වේ.

ඒ අනුව ක්‍රීඩකයන් දෙදෙනාටම සිය තරග ගාස්තුවෙන් සියයට 25 බැගින් දඩයක් පනවා ඇති අතර, දෙදෙනාගේ විනය වාර්තාවට දඬුවම් ලකුණ බැගින් එක් කර තිබේ.

මෙම සිදුවීම ඉන්දීය ඉනිමේ 17 වැනි පන්දුවාරයේදී සිදුවිය. අසිත ප්‍රනාන්දු විසින් යෂස්වි ජයිස්වාල් ලකුණු 45කට දවා ගැනීමෙන් අනතුරුව ජයිස්වාල් අසිත දෙසට පැමිණි අතර, දෙදෙනා අතර වචන හුවමාරුවක් සිදුව තිබේ. එහිදී අසිත සිය හිස ජයිස්වාල් දෙසට යොමු කළ අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ජයිස්වාල් ද ඉදිරියට නැඹුරු වීම හේතුවෙන් ක්‍රීඩකයන් දෙදෙනාගේ හිස් එකිනෙක ගැටී තිබේ.

කෙසේ වෙතත්, දෙදෙනාටම පසුගිය මාස 24ක කාලය තුළ මීට පෙර කිසිදු විනය වරදක් වාර්තා වී නොතිබීම විශේෂත්වයකි.

අදාළ වරද දෙදෙනාම පිළිගෙන ඇති අතර එම තරගයේ තීරකයා ඇන්ඩි පයික්‍රොෆ්ට් විසින් යෝජනා කළ දඬුවම් ද ඔවුන් දෙදෙනා විසින් පිළිගෙන තිබේ. ඒ හේතුවෙන් මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් විභාගයක් පැවැත්වීමේ අවශ්‍යතාවක් මතු නොවීය.

ශ්‍රී ලංකා – ඉන්දියා දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ සිදුවූ මෙම සිදුවීම තරගයේ උණුසුම්ම අවස්ථාවක් බවට පත්වූ අතර, එහිදී අසිතගේ දැඩි සැමරුමකට ජයිස්වාල් ප්‍රතිචාර දැක්වීමෙන් පසුව මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar