slc
logo
Home   |    News
අගෝස්තු 9, 2026
තාරුකාගේ වමත් දඟ පන්දුවෙන් කඩුලු හයක්

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අගෝස්තු 08 වැනිදා ආරම්භ වුණු තරගාවලියේ පළමු දිනයේදීම කැපී පෙනෙන දස්කම් දැක්වීමට ගුවන් හමුදා කණ්ඩායමේ වමත් දඟ පන්දුු යවන්නිය වූ තාරුකා ෂෙහානි සමත්වූවාය.

ඒස් කැපිටල් කණ්ඩායමට එරෙහිව කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේදී  පන්දුවෙන් විශිෂ්ට දස්කමක් දැක්වූ තාරුකා, ලකුණු 11ක් පමණක් ලබා දෙමින් කඩුලු 6ක් බිඳ දැමීමට සමත් වූවාය.

තාරුකාගේ මෙම විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් ඒස් කැපිටල් කණ්ඩායම ලකුණු 54කට සීමා වූ අතර, ගුවන් හමුදා ක්‍රීඩිකාවෝ කිසිවකුත් නොදැවී ලකුණු 56ක් ලබා ගනිමින් කඩුලු 10ක පහසු ජයක් වාර්තා කළහ. ගුවන් හමුදාව වෙනුවෙන් කේ. කේ. සුරන්ති නොදැවී ලකුණු 22ක්ද, අයේශා කීර්තිරත්න නොදැවී ලකුණු 26ක්ද රැස් කළහ.

මේ අතර, තරගාවලියේ පළමු දිනයේදී යුද හමුදා, ගුවන් හමුදාව සහ එස්.එස්.සී. කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වූහ.

කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී සී.සී.සී. කණ්ඩායම ලකුණු 15කින් පරාජය කරමින් යුද හමුදා කණ්ඩායම ජයග්‍රහණය ආරම්භ කළේය. පළමුව පන්දුවට පහර දුන් යුද හමුදා කණ්ඩායම පන්දුවාර 46කදී සියලු දෙනා දැවී ලකුණු 177ක් රැස් කළ අතර, නෙත්මි සේනාරත්න ලකුණු 46ක් සහ ඉමල්කා මෙන්ඩිස් ලකුණු 41ක් ලබා ගත්හ.

සී.සී.සී. කණ්ඩායම වෙනුවෙන් සුභද්‍රා සවනි නොදැවී ලකුණු 45ක් රැස් කළද, ඔවුන්ගේ ඉනිම පන්දුවාර 46.3කදී ලකුණු 162කට සීමා විය. යුද හමුදාව වෙනුවෙන් රන්දි ප්‍රේමරත්න සහ සඳනි ද සිල්වා කඩුලු 3 බැගින් දවා ගත්හ.

කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී එස්.එස්.සී. කණ්ඩායම බදුරලිය කණ්ඩායම කඩුලු 2කින් පරාජය කළේය.

පළමුව පන්දුවට පහර දුන් බදුරලිය කණ්ඩායම පන්දුවාර 38කදී ලකුණු 99කට සියලු දෙනා දැවී ගිය අතර, සංජනා කාවින්දි ලකුණු 46ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූවාය. එස්.එස්.සී. වෙනුවෙන් ඉනෝෂි ප්‍රනාන්දු ලකුණු 23කට කඩුලු 3ක්ද, සනුකි පතිරගේ ලකුණු 14කට කඩුලු 3ක්ද දවා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එස්.එස්.සී. කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 100ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කර ගත්තේය. සෙත්මි නෙහාරා ලකුණු 26ක් සහ ශයනි තෙන්නකෝන් ලකුණු 23ක් රැස් කළහ.

කොළඹ ක්‍රිකට් සමාජය සහ යුද හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය – කොළඹ ක්‍රිකට් සමාජ ක්‍රීඩාංගණය

  • යුද හමුදා ක්‍රීඩා සමාජය – සියලු දෙනා දැවී ලකුණු 177යි (පන්දුවාර 46)
    ඉමල්කා මෙන්ඩිස් 41, නෙත්මි සේනාරත්න 46; නිලංගිකා ද සිල්වා 38/2, මධුරි සමුද්දිකා 29/2, ලිමංසා තිලකරත්න 28/2.
  • සී.සී.සී. – සියලු දෙනා දැවී ලකුණු 162යි (පන්දුවාර 46.3)
    විශ්මි ගුණරත්න 20, යශෝධා මෙන්ඩිස් 27, මධුරි සමුද්දිකා 29, සුභද්‍රා සවනි නොදැවී 45; රන්දි ප්‍රේමරත්න 40/3, සඳනි ද සිල්වා 33/3.

ඒසීඊ කැපිටල් ක්‍රිකට් සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය අතර තරගය – කටුනායක ගුවන් හමුදා ක්‍රීඩාංගණය

  • ඒසීඊ කැපිටල් ක්‍රිකට් සමාජය – සියලු දෙනා දැවී ලකුණු 54යි (පන්දුවාර 26.5)
    ග්ලැමන්ඩ්‍රියා අතලේ 19; මල්කා මදාරා 14/2, තාරුකා ෂෙහානි 11/6.
  • ගුවන් හමුදා ක්‍රීඩා සමාජය – කිසිවෙකු නොදැවී ලකුණු 56යි (පන්දුවාර 7.5)
    කේ. කේ. සුරන්ති නොදැවී 22, අයේශා කීර්තිරත්න නොදැවී 26.

ශ්‍රී ලංකා ක්‍රිකට් සමාජය සහ බදුරලිය ක්‍රිකට් සමාජය අතර තරගය – කොළඹ ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණය

  • බදුරලිය ක්‍රිකට් සමාජය – සියලු දෙනා දැවී ලකුණු 99යි (පන්දුවාර 38)
    සංජනා කාවින්දි 46; ඉනෝෂි ප්‍රනාන්දු 23/3, සනුකි පතිරගේ 14/3.
  • එස්.එස්.සී. – කඩුලු 8ක් දැවී ලකුණු 100යි (පන්දුවාර 41.2)
    සෙත්මි නෙහාරා 26, ශයනි තෙන්නකෝන් 23; සචිනි නිසංසලා 24/2, හිරුනිකා නිවර්ථනී 25/2, සුලේශා සත්සරණි 15/2, කවීෂා දිල්හාරි 14/2.

Active filters

Recent Posts

  • මොරටුව, කුරුණෑගල, යුද හමුදාව සහ ගාල්ල ටියර් ‘බී’ අවසන් හතරට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර එක්දින ක්‍රිකට් තරගාවලියේ මූලික වටයේ අවසන් සතියේ තරග නිමාවට පත්වීමත් සමඟ මෙවර තරගාවලියේ අවසන් කණ්ඩායම් හතර […]
  • බදුරලිය සහ පානදුර අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් වටයේ තරගවලදී ගුවන් හමුදා කණ්ඩායම කඩුලු 3කින් පරාජය කළ පානදුර ක්‍රීඩා සමාජයත්, යුද […]
  • චමරිගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 9ක පහසු ජයක්
    ඩුබායි ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නියන්ට ලබාදුන් හිතකර තත්ත්වයන් උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් ශ්‍රී ලංකා පන්දු යවන්නියෝ, කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයෙන් සත්කාරක එක්සත් අරාබි එමීර් […]
  • ශ්‍රී ලංකා යූත් ලීග් 17 න් පහළ කිරුළ කොළඹ දකුණට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ ශ්‍රී ලංකා යූත් ලීග් අවුරුදු 17න් පහළ සීමිත පන්දුවාර ක්‍රිකට් ශූරතාවලියේ ශූරතාව ලකුණු 198ක දැවැන්ත ජයක් වාර්තා කරමින් දිනා ගැනීමට කොළඹ දකුණ […]
  • කොළඹ දකුණ සහ ගාල්ල අවසන් සටනට
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අවුරුදු 17න් පහළ ශ්‍රී ලංකා යූත් ලීග් 2026 සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ දකුණ සහ ගාල්ල […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee