slc
logo
Home   |    News
අගෝස්තු 1, 2026
පළමු ඉනිමේ වාසියෙන් බ්ලූම්ෆීල්ඩ් සහ බී.ආර්.සී. අවසන් මහ සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සංවිධානය කරන වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ දෙදින ක්‍රිකට් තරගාවලියේ 2026 අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජය (Bloomfield C & AC) සහ බර්ගර් විනෝදාත්මක ක්‍රීඩා සමාජය (Burgher Recreation Club – BRC) සමත් වූහ.

අවසන් පූර්ව තරග දෙකම ජය පරාජයෙන් තොරව නිමා වූ අතර, කණ්ඩායම් දෙකම පළමු ඉනිමේ වාසිය හිමිකර ගැනීම හේතුවෙන් අවසන් මහා තරගයේ ස්ථානය තහවුරු කර ගත්හ.

මග්ගොන ක්‍රීඩාංගණයේ පැවැති පළමු අවසන් පූර්ව තරගයේදී කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජයට එරෙහිව බ්ලූම්ෆීල්ඩ් පිල පළමු ඉනිමේ වාසිය ලබා ගනිමින් ඉදිරියට පැමිණියේය.

මිනෙත් ප්‍රේමරත්න මෙවර තරගාවලියේ අඛණ්ඩ දක්ෂතා තවදුරටත් තහවුරු කරමින් පිට පිටම දෙවැනි ශතකය වාර්තා කළේය. අර්ධ අවසන් පූර්ව තරගයේ ශතකයෙන් පසු අවසන් පූර්ව තරගයේදී ද ලකුණු 114ක් රැස් කළ ඔහු, දෙවැනි ඉනිමේදී නොදැවී අර්ධ ශතකයක් (52) ද වාර්තා කරමින් බ්ලූම්ෆීල්ඩ් කණ්ඩායම අවසන් මහා තරගය කරා රැගෙන යෑමේ ප්‍රධාන චරිතය බවට පත්විය.

පන්දු යැවීමේදී තරින්ද නිර්මාල් ගුරුගේ කඩුලු 6ක් ලකුණු 62කට දවා ගනිමින් කුරුණෑගල යූත් කණ්ඩායම පළමු ඉනිමේදී ලකුණු 233කට සීමා කිරීමට සමත් විය.

මේ අතර, අනෙක් අවසන් පූර්ව තරගයේදී මුවර්ස් ක්‍රීඩා සමාජයට එරෙහිව බර්ගර් විනෝදාත්මක ක්‍රීඩා සමාජය ද පළමු ඉනිමේ වාසිය හිමිකර ගනිමින් අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීය.

බී.ආර්.සී. ඉනිම ලකුණු 395 දක්වා රැගෙන යෑමේදී ලිනාල් සුබසිංහ විශිෂ්ට ශතකයක් (106) රැස් කළ අතර, ඉසුරු ප්‍රනාන්දු ලකුණු 80ක් සහ ලිත්ම පෙරේරා ලකුණු 61ක් රැස් කරමින් ප්‍රබල පිතිහරඹයක නිරත වූහ.

පන්දු යැවීමේදී සිතුක ගුණවර්ධන ලකුණු 75කට කඩුලු 5ක් දවා ගනිමින් මුවර්ස් පිල ලකුණු 191කට සීමා කළේය. දෙවැනි ඉනිමේදී යසිරු රුද්‍රිගෝ කඩුලු 3ක් දවා ගනිමින් තරගය බී.ආර්.සී. පාලනය යටතේ තබා ගත්තේය.

ඒ අනුව, පළමු ඉනිමේ වාසිය මත අවසන් පූර්ව තරග ජයගත් බ්ලූම්ෆීල්ඩ් සහ බී.ආර්.සී. කණ්ඩායම් මෙවර වයස අවුරුදු 23න් පහළ අන්තර් සමාජ දෙදින ක්‍රිකට් ශූරතාව සඳහා පැවැත්වෙන අවසන් මහා තරගයේදී එකිනෙකාට මුහුණ දීමට නියමිතය.

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට පළමු ඉනිමේ ජයක්

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජය – 291 (ඕවර 65)
මිනෙත් ප්‍රේමරත්න 114, දිනෙත් පහසර 33, හංසමාන ද සිල්වා 29, දුලාජ් සමුදිත 24, හසිත් අමරසිංහ 21, දිනුක තෙන්නකෝන් 90/3, චලන පෙරේරා 41/2, ශේෂාන් මාරසිංහ 70/2

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය – 233 (ඕවර 56.5)
අභිෂේක් ලියනාරච්චි 116, වතිල උදාර නොදැවී 64, තරින්ද නිර්මාල් ගුරුගේ 62/6

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම – 86/2 (ඕවර 14)
මිනෙත් ප්‍රේමරත්න නොදැවී 52, හසිත් අමරසිංහ නොදැවී 25, දිනුක තෙන්නකෝන් 23/2

බි.ආර්.සී. ට පළමු ඉනිමේ ජයක්

මුවර්ස් ක්‍රීඩා සමාජය – 191 (ඕවර 42.1)
විෂාර ප්‍රනාන්දු 67, ඕමේෂ් මෙන්ඩිස් 51, රුවීන් ෆොන්සේකා 32.
පන්දු යැවීමේදී: සිතුක ගුණවර්ධන 5/75, විග්නේෂ්වරන් අකාෂ් 3/43.

බී.ආර්.සී. කණ්ඩායම – 395 (ඕවර 97.3)
ලිනාල් සුබසිංහ 106, ඉසුරු ප්‍රනාන්දු 80, ලිත්ම පෙරේරා 61, කුසල් විජේතුංග 32, රන්මිත් සෙනරත් 28, යසිරු රොඩ්‍රිගෝ 22, විශ්ව සුපුන් 21,  සඳරු මල්ෂාන් 135/5, සිතුම් විහංග සත්සින්දු 25/2, ඉඳුවර උදේන 78/2

මුවර්ස් ක්‍රීඩා සමාජය දෙවැනි ඉනිම – 38/4 (ඕවර 10)
රවිෂාන් ද සිල්වා නොදැවී 24, යසිරු රොද්‍රිගෝ 33/1

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar