slc
logo
Home   |    News
අගෝස්තු 10, 2026
මොවින්ගේ ප්‍රහාරයෙන් අන්තර් සමාජ එක්දින සමාරම්භයම උණුසුම් වෙයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ ප්‍රධානතම සීමිත පන්දුවාර 50 ක්‍රිකට් තරගාවලිය 2026 ආරම්භ වූ පළමු දිනයේදීම ප්‍රහාරාත්මක ශතකයකින් සිය නම සටහන් කර ගැනීමට බී.ආර්.සී. ක්‍රීඩා සමාජයේ  මොවින් සුබසිංහ සමත් වූයේ තරගාවලියේ පළමු ශතකය තමන් සතු කර ගනිමිනි. එන්.සී.සී. කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී පන්දු 72කින් ලකුණු 140ක් රැස් කළ සුබසිංහ, තම ඉනිම පුරාම ප්‍රතිවාදී පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළේය. ඔහුගේ විශිෂ්ට ඉනිමට හතරේ පහර 10ක් සහ දැවැන්ත හයේ පහර 14ක් ඇතුළත් වූ අතර, එය වාර්තා වූයේ 194.44ක අතිවිශිෂ්ට ප්‍රහාරක වේගයකිනි.

ආරම්භයේ සිටම වේගවත් ලකුණු රැස්කිරීමක නිරත වූ සුබසිංහගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් බී.ආර්.සී. කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේදී කඩුලු 9කට ලකුණු 304ක් වැනි දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යාමට හැකි විය. ඔහුගේ ලකුණු 140 තරගයේ ඉහළම පුද්ගලික ලකුණු සංඛ්‍යාව වූ අතර, එය තරගාවලියේ පළමු දිනයේ කැපී පෙනුණු විශිෂ්ටතම පිතිහරඹය බවටද පත්විය.

එම ප්‍රහාරයට පිළිතුරු ලෙස එන්.සී.සී. කණ්ඩායම පන්දුවාර 47.2කදී ලකුණු 272කට දැවී ගිය අතර, ඒ අනුව බී.ආර්.සී. කණ්ඩායමට ලකුණු 32ක ජයක් හිමි විය. පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද කැපී පෙනුණු සුබසිංහ එන්.සී.සී. ඉනිමේදී ලකුණු 50කට කඩුලු 4ක් දවා ගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට තුන් ඉරියව් දායකත්වයක් ලබා දුන්නේය. චමික කරුණාරත්න ලකුණු 82ක් සහ යෙනුල දෙව්තුස ලකුණු 53ක් රැස් කළද, එය එන්.සී.සී. ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

තරගාවලියේ ආරම්භක දිනයේදී පිත්තෙන් මොවින් සුබසිංහ කැපී පෙනෙද්දී, පන්දුවෙන්ද විශිෂ්ට දස්කම් දැක්වීමට ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයේ ලහිරු සමරකෝන් සහ මුවර්ස් ක්‍රීඩා සමාජයේ ශිරාන් ප්‍රනාන්දු සමත්වූහ. ඔවුන් දෙදෙනාම කඩුලු පහේ දස්කම් වාර්තා කරමින් තම කණ්ඩායම්වල ජයග්‍රහණ සඳහා තීරණාත්මක දායකත්වයක් ලබා දුන්හ.

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජයට එරෙහිව පන්දුවාර 9.5කදී ලකුණු 26කට කඩුලු 5ක් දවාගත් ලහිරු සමරකෝන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ කුරුණෑගල කණ්ඩායම ලකුණු 213කට සීමා විය. එහෙත් ටැමිල් යූනියන් කණ්ඩායමටද පහසු ජයක් හිමි නොවූ අතර, මිනෝද් භානුකගේ නොදැවුණු ලකුණු 79 මත පන්දුවාර 43.4කදී කඩුලු 9ක් දැවී ලකුණු 215ක් රැස් කරමින් කඩුල්ලක තියුණු ජයක් වාර්තා කළේය.

මේ අතර නුගේගොඩ ක්‍රීඩා සමාජය ලකුණු 240කට දවා ගැනීමට මුවර්ස් ක්‍රීඩා සමාජයට හැකි වූයේ ශිරාන් ප්‍රනාන්දුගේ පන්දුවෙන් ලැබුණු කඩුලු පහේ දස්කමත් සමඟිනි. ශිරාන් ලකුණු 50කට කඩුලු 5ක් දවාගත් අතර, මුවර්ස් කණ්ඩායම සදීර සමරවික්‍රමගේ නොදැවුණු ලකුණු 66 සහ ශෙහාන් ප්‍රනාන්දුගේ නොදැවුණු ලකුණු 44 සමඟින් පන්දුවාර 39.5කදී කඩුලු 4ක් දැවී ලකුණු 241ක් රැස් කර කඩුලු 6ක ජයක් වාර්තා කළේය.

ආරම්භක දිනයේ සෙසු තරගවලදී පානදුර ක්‍රීඩා සමාජය ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය ලකුණු 70කින් පරාජය කළ අතර, සිංහල ක්‍රීඩා සමාජය (SSC) කෝල්ට්ස් ක්‍රිකට් සමාජයට එරෙහිව කඩුලු 5ක ජයක් වාර්තා කළේය. එමෙන්ම බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජය බදුරලිය ක්‍රීඩා සමාජය කඩුලු 3කින් පරාජය කරමින් තරගාවලිය ජයග්‍රහණයකින් ආරම්භ කළේය.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජයට කඩුල්ලක ජයක්

කුරුණෑගල යූත් ක්‍රිකට් සමාජය – 213 (පන්දුවාර 43.5)
අමේෂ් තෙන්නකෝන් 71, ලක්වින් අබේසිංහ 67, වතිල උදාර 38, ලහිරු සමරකෝන් 26/5, විජයකාන්ත් වියස්කාන්ත් 36/2.

ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය – 215/9 (පන්දුවාර 43.4)
මිනෝද් භානුක නොදැවී 79, සිතාර හපුහින්න 36, තනුක දාබරේ 27, ලහිරු සමරකෝන් 24, වතිල උදාර 22/2, විකුම් සංජය 48/2, ගයාන් වීරසිංහ 54/2.

මුවර්ස් ක්‍රීඩා සමාජයට කඩුලු 6ක ජයක්

නුගේගොඩ ක්‍රීඩා හා සුබසාධක සමාජය – 240 (පන්දුවාර 49.3)
ලහිරු දැවටගේ 56, සචිඳු කොළඹගේ 54, විනුෂ්ක සිල්වා 28, ඇන්ජලෝ පෙරේරා 24, ශිරාන් ප්‍රනාන්දු 50/5.

මුවර්ස් ක්‍රීඩා සමාජය – 241/4 (පන්දුවාර 39.5)
සදීර සමරවික්‍රම නොදැවී 66, ශෙහාන් ප්‍රනාන්දු නොදැවී 44, රවිෂාන් ද සිල්වා 42, ජනිෂ්ක පෙරේරා 32, සිතාර ගිම්හාන 26, සොහාන් ද ලිවේරා 24, සම්මු අශාන් 24/2.

පානදුර ක්‍රීඩා සමාජයට ලකුණු 70ක ජයක්

පානදුර ක්‍රීඩා සමාජය – 212/9 (පන්දුවාර 50)
ඕෂද ප්‍රනාන්දු 50, තවේෂ අභිෂේක් 38, චාර්ය පරණවිතාන 31, අසංක මනෝජ් නොදැවී 26, වනුජ සහන් 19/4, තීරක රණතුංග 56/2

ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය – 142 (පන්දුවාර 30)
පවන් පතිරාජ 23, ඉසිත විජේසුන්දර 20, නවින්දු ප්‍රභාෂ් 23/3, විශ්ව ලහිරු 48/3, තවේෂ අභිෂේක් 15/2, දිල්ෂාන් මුණවීර 38/2

සිංහල ක්‍රීඩා සමාජයට කඩුලු 5ක ජයක්

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය – 250 (පන්දුවාර 47.4)
මුදිත ලක්ෂාන් 99, ශාලින් ද මෙල් 43, සුකිත මනෝජ් 39, දිනුර කළුපහන 36/3, ප්‍රමෝද් මධුෂාන් 49/3, නිපුන් ධනංජය 18/2, කසුන් රාජිත 68/2

සිංහල ක්‍රීඩා සමාජය – 253/5 (පන්දුවාර 39.4)
ශෙවෝන් ඩැනියෙල් 71, නුවනිඳු ප්‍රනාන්දු 54, අවිෂ්ක ප්‍රනාන්දු 50, නිපුන් ධනංජය නොදැවී 30, රොන් චන්ද්‍රගුප්ත 28, මුදිත ලක්ෂාන් 36/2, අකිල ධනංජය 45/2

බී.ආර්.සී. පිලට ලකුණු 32 ක ජයක්

බී.ආර්.සී. – 304/9 (පන්දුවාර 50)
මොවින් සුබසිංහ 140, ඉසුරු ප්‍රනාන්දු 59, පවන් සඳේෂ් 33, යසිරු රොද්‍රිගෝ 25, කමිල් මිෂාර 42/3, ශක්ති උදාර 59/2

එන්.සී.සී. – 272 (පන්දුවාර 47.2)
චමික කරුණාරත්න 82, යෙනුල දෙව්තුස 53, අහන් වික්‍රමසිංහ 39, කමිල් මිෂාර 23, ජීවක සෂින් 22, මොවින් සුබසිංහ 50/4, දුලාජ් අශේන් 70/3, මොහොමඩ් ශිරාස් 56/2

බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩා සමාජයට කඩුලු 3ක ජයක්

බදුරලිය ක්‍රීඩා සමාජය – 167 (පන්දුවාර 48.4)
අවීෂ සමෂ් 35, අලංකාර අසංක නොදැවී 34, දිල්ෂාන් ද සොයිසා 25, රොහාන් සංජය 20, තරිඳු නිර්මාල් ගුරුගේ 25/4, ජනිත ලියනගේ 15/2, දුලාජ් සමුදිත 46/2

බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් හා මලල ක්‍රීඩා සමාජය – 168/7 (පන්දුවාර 42.5)
අසිත වන්නිනායක 47, රවිඳු ප්‍රනාන්දු 34, තරිඳු නිර්මාල් ගුරුගේ නොදැවී 30, ශනුක ගලගොඩ 30, සීක්කුගේ ප්‍රසන්න 35/4, අලංකාර අසංක 18/3

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee