slc
logo
Home   |    News
සැප්තැම්බර් 8, 2026
කඩුලු 5ක ජයක් සමඟ යුද හමුදාව ‘ටියර් බී‘ අවසන් මහ සටනට

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරනු ලබන අන්තර් සමාජ ටියර් ‘බී’ සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය යටතේ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේදී අද (08 දා) පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. මෙම ජයග්‍රහණයත් සමඟ යුද හමුදා ක්‍රීඩා සමාජය අදාළ අවසන් මහ තරගයේදී ගාල්ල ක්‍රිකට් සමාජය සමඟ තරග වැදීමට නියමිතය. තරගාවලියේ අවසන් මහා තරගය සැප්තැම්බර් 11 වැනිදා බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

කාසියේ වාසිය දිනාගත් කුරුණෑගල ක්‍රීඩා සමාජය පළමුව පන්දුවට පහර දෙමින් පන්දුවාර 49.5කදී සියලු දෙනා දැවී ලකුණු 264ක් රැස් කළ අතර, එම ඉලක්කය පන්දුවාර 42.2කදී කඩුලු 5ක් පමණක් දැවී පසුකර යාමට යුද හමුදා ක්‍රීඩා සමාජය සමත් විය.

කුරුණෑගල ඉනිම වෙනුවෙන් දුලාජ් රණතුංග ලකුණු 56ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ අතර, සරින්ද දසනායක ලකුණු 42ක් සහ දිල්ෂාන් කොල්ලුරේ ලකුණු 41ක් රැස් කළහ. සනුජ නිඳුවර පන්දු 18කින් වේගවත් ලකුණු 25ක් රැස් කළේ හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟිනි.

යුද හමුදා පන්දු යැවීමේදී ලිලාන් රංගන සහ අසේල ගුණරත්න කඩුලු 3 බැගින් දවාගනිමින් කුරුණෑගල ඉනිම පාලනය කළ අතර, ෂෙහාඩා සොයිසා කඩුලු 2ක් දවා ගත්තේය.

ලකුණු 265ක ඉලක්කයක් හඹා ගිය යුද හමුදා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබා දීමට අශාන් සුදර්ශන සහ පතුම් දිල්ෂාන් සමත් වූහ. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 98ක සබඳතාවක් ගොඩනැගූහ.

අශාන් සුදර්ශන පන්දු 57කින් ලකුණු 50ක් රැස් කළ අතර, ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය. පතුම් දිල්ෂාන් ලකුණු 41ක් ලබාගත් අතර, මනුෂ්ක සමිත් පන්දු 33කින් ලකුණු 36ක් රැස් කළේ හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟිනි.

අවසන් භාගයේදී ප්‍රවේගවත් පිතිහරඹයක නිරත වූ තිසර පෙරේරා යුද හමුදා ජයග්‍රහණය ඉක්මන් කළේය. ඔහු පන්දු 34කින්  ලකුණු 48ක් රැස් කළ අතර, එම ඉනිමට හයේ පහර 4ක් ඇතුළත් විය. තිසරගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් තරගය ඉක්මනින් අවසන් කිරීමට යුද හමුදා කණ්ඩායමට හැකි විය.

අවසන් මොහොත දක්වා කඩුල්ල ආරක්ෂා කරගෙන සිටි අසේල ගුණරත්න පන්දු 38කින් ලකුණු 39ක් රැස් කරමින් ජයග්‍රහණයට වැදගත් දායකත්වයක් ලබා දුන්නේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඇතුළත් විය.

කුරුණෑගල ක්‍රීඩා සමාජය – 264/10 (49.5) – දුලාජ් රණතුංග 56, සරින්ද දසනායක 42, දිල්ෂාන් කොල්ලුරේ 41, සනුජ නිඳුවර 25, ලිලාන් රංගන 44/3, අසේල ගුණරත්න 54/3, ෂෙහාද සොයිසා 45/2

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය – 265/5 (42.2) – අශාන් සුදර්ශන 50, පැතුම් දිල්ෂාන් 41, මනුෂ්ක සමිත් 36, සුකිථ දේව්තිලින 28, අසේල ගුණරත්න 39*, තිසර පෙරේරා 48, රුචිර සිල්වා 41/2

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar