slc
logo
Home   |    News
සැප්තැම්බර් 23, 2026
පළමු එක්දින තරගයෙන් එංගලන්තය ජය ගනියි

sinhala editor

ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ මැදපෙළ සම්පූර්ණයෙන්ම අඩපණ කළ විල් ජැක්ස් ලකුණු 22කට කඩුලු 5ක් දවාගැනීමත් සමඟ ඩර්හැම්හි රිවර්සයිඩ් ක්‍රීඩාංගණයේ පැවැති පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ලකුණු 89 ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්තය අද (22 දා) රාත්‍රියේ සමත් විය.

එංගලන්තය ලබාදුන් ලකුණු 266ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 37 කදී ලකුණු 176කට දැවී ගිය අතර, කුසල් මෙන්ඩිස් ලකුණු 42ක් සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 45ක් රැස් කිරීම හැරුණු විට ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් සාර්ථක පිතිහරඹයක් දක්නට නොලැබිණි.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති පසුගිය විස්සයි20 තරග තුනට වඩා මෙම එක්දින තරගය තරමක් තියුණු ස්වරූපයක් ගත්තද, එංගලන්තය ලබාදුන් ඉලක්කය හඹා යාමේදී ශ්‍රී ලංකා ඉනිම කිසිදු අවස්ථාවක ස්ථාවරත්වයක් පෙන්නුම් නොකිරීම කණගාටුදායක විය.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මංගල ජාත්‍යන්තර තරගයට එක්වූ පා දඟපන්දු යවන සචින්දු කොළඹගේ එංගලන්ත පිතිකරුවන්ට සැලකිය යුතු අභියෝගයක් එල්ල කළ අතර, ඔහු ජෝ රූට්, ජොස් බට්ලර් සහ ජේමි ඔවර්ටන් දවා ගනිමින් තම මංගල පන්දු යැවීම ලකුණු 44 කට කඩුලු 3 ක් ලෙස සටහන් කරගත්තේය.

කොළඹගේගේ දඟපන්දුව හමුවේ එංගලන්ත මැදපෙළ යම් පසුබෑමකට ලක්වූ අතර, එක් අවස්ථාවකදී පන්දුවාර 7.5ක් තුළ කඩුලු 4ක් ලකුණු 29කට බිඳ වැටිණි.

එංගලන්තය වෙනුවෙන් වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවා වූයේ නායක හැරී බෘක්ය. ඔහු ලකුණු 43ක් රැස් කළ අතර, ජෝ රූට් ලකුණු 40කට දැවී ගියේය. තණතීරුව පන්දුවේ වේගය වෙනස්වෙමින් පැවැති ස්වභාවයකින් යුක්ත වූ බැවින් එංගලන්ත පිතිකරුවන්ටද පහරදීම පහසු වූයේ නැත. තරගයේදී එංගලන්තය එකදු හයේ පහරක් හෝ එල්ල නොකිරීමද විශේෂත්වයකි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් එංගලන්තයේ ආරම්භක පිතිකරු ටොම් බැන්ටන් අසිත ප්‍රනාන්දුගේ පිටතට දෝලනය වූ පන්දුවකට දැවී ගියේය. අනතුරුව රූට් සහ බෘක් එක්ව ඉනිම ගොඩනගමින් සිටියද, කොළඹගේගේ පන්දුවකට රූට් දැවී යාමත් සමඟ එංගලන්ත ඉනිමේ පළමු ප්‍රධාන කඩාවැටීම ආරම්භ විය.

බෘක්ද දුෂ්මන්ත චමීරගේ පන්දුවකට පහරක් එල්ල කිරීමට උඩපන්දුවක් ලබා දුන්නේය. ඉන් අනතුරුව බට්ලර් කොළඹගේටත්, රෙහාන් අහමඩ් චරිත් අසලංකගේ සෘජු පන්දු යොමු කිරීමකටත්, ඔවර්ටන් කොළඹගේගේ පන්දුවකටත් දැවී ගියහ.

එංගලන්තය කඩුලු 6කට ලකුණු 200කට ආසන්න තත්ත්වයකට ඇද වැටෙද්දී, විල් ජැක්ස් ඉනිම ගොඩනැගීමට ඉදිරිපත් විය. චමීරට එරෙහිව පිට පිට හතරේ පහර හතරක් එල්ල කරමින් එංගලන්ත ඉනිමට අවශ්‍ය වේගය ලබාදුන් ජැක්ස් අවසානයේ ලකුණු 46ක්  රැස් කළේ තම ඉනිම නොබිඳිව තබා ගනිමිනි.

එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ අවසන් පන්දුවාරවල ප්‍රහාරය හමුවේ එංගලන්ත ඉනිම පන්දුවාර 48.5කදී ලකුණු 265කට සීමා විය. දිල්ෂාන් මධුශංක ගස් ඇට්කින්සන්ගේ පිටත කඩුල්ල බිඳ දැමූ අතර, අසිත ප්‍රනාන්දු ජොෆ්රා ආචර් සහ ජොෂ් ටංග් දවාගනිමින් එංගලන්ත ඉනිමේ අවසන් කඩුලු දෙක ලබා ගත්තේය.

ලකුණු 266ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ශ්‍රී ලංකා පිතිකරුවන්ට එංගලන්ත වේගපන්දු යවන්නන්ගෙන් ආරම්භයේදීම දැඩි පීඩනයක් එල්ල විය.

කමිඳු මෙන්ඩිස්, පාතූම් නිස්සංක සහ පවන් රත්නායක ඉක්මනින්ම දැවී ගිය අතර, චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් අතරින්ද දිගු සබඳතාවක් ගොඩනැගීමට අවස්ථාවක් නොලැබිණි.

කඩුලු එකින් එක බිඳ වැටෙද්දී ශ්‍රී ලංකා ඉනිම ලකුණු 133කට කඩුලු 7ක් බවට පත්විය. එම අවස්ථාවේදී දුනිත් වෙල්ලාලගේ පිටියට පැමිණ ශ්‍රී ලංකා ඉනිමට යම් ජීවයක් එක් කළේය.

වෙල්ලාලගේ ආක්‍රමණශීලී ලෙස පිතිහරඹයේ නිරත වෙමින් ජොෆ්රා ආචර්ට එරෙහිව තරගයේ පළමු හයේ පහර එල්ල කළ අතර, රෙහාන් අහමඩ්ට එරෙහිව පිට පිට හතරේ පහර දෙකක් සහ හයේ පහරක්ද එල්ල කළේය.

එහෙත් ලකුණු 45ක් ලබා සිටියදී ජැක්ස්ගේ පන්දුවකට මිඩ්-ඔන් කලාපයේ පන්දු රකින්නා අතට උඩපන්දුවක් ලබාදීමෙන් වෙල්ලාලගේ දැවී යාමත් සමඟ ශ්‍රී ලංකාවේ අවසන් බලාපොරොත්තුවද බිඳ වැටිණි.

ඉන් අනතුරුව ජැක්ස් පන්දු හතරක් තුළ කඩුලු තුනක් දවාගනිමින් තරගයේ අවසන් අදියර ඉතා වේගයෙන් නිමා කළේය. අසිත ප්‍රනාන්දු ලෝන් ඕන් කලාපයට උඩපන්දුවක් ලබාදීමෙන් දැවී ගිය අතර, ඩිල්ෂාන් මධුශංකගේ කඩුල්ල බිඳ දමමින් ජැක්ස් සිය කඩුලු පහ සම්පූර්ණ කළේය.

ලකුණු 22කට කඩුලු 5ක් දවාගත් ජැක්ස්ගේ මෙම දස්කම එක්දින ජාත්‍යන්තර තරගයකදී එංගලන්ත දඟපන්දු යවන්නකු ලබාගත් දෙවැනි හොඳම පන්දු යැවීම බවට පත්විය. එංගලන්තය වෙනුවෙන් පිත්තෙන්ද ලකුණු 46ක් රැස් කළ ජැක්ස් තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තේය.

ලකුණු සාරාංශය

එංගලන්තය – 265 (පන්දුවාර 48.5) – (හැරී බෘක් 43, ජෝ රූට් 40, විල් ජැක්ස් 46*, ටොම් බැන්ටන් 10, බෙන් ඩකට් 32, ජොස් බට්ලර් 31, රෙහාන් අහමඩ් 02, ජෙමී ඕවර්ටන් 08, ගස් ඇට්කින්සන් 14, ජොෆ්රා ආචර් 02, ජොෂ් ටංග් 00, සචින්දු කොළඹගේ 44/3, අසිත ප්‍රනාන්දු 45/3, ඩිල්ෂාන් මදුශංක 45/1, දුෂ්මන්ත චමීර 61/1, දුනිත් වෙල්ලාලගේ 60/1)

ශ්‍රී ලංකාව – 154 (පන්දුවාර 35.4) – (දුනිත් වෙල්ලාලගේ 45, කුසල් මෙන්ඩිස් 42, පැතුම් නිස්සංක 27, කමිඳු මෙන්ඩිස් 14, පවන් රත්නායක 13, චරිත් අසලංක 01, ජනිත් ලියනගේ 04, සචිඳු කොළඹගේ 14, දුෂ්මන්ත චමීර 07*, අසිත ප්‍රනාන්දු 00, ඩිල්ෂාන් මදුශංක 00, විල් ජැක්ස් 22/5, ජෙමී ඕවර්ටන් 21/2)

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee