slc
logo
Home   |    News
සැප්තැම්බර් 16, 2026
බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට

sinhala editor

එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ සමගම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලියේ 1-0 ක් ලෙස පෙරමුණට පැමිණීමට සත්කාරක එංගලන්ත කණ්ඩායමට හැකියාව ලැබිණ.

කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළ ශ්‍රී ලංකා නායක චරිත් අසලංකට එම තීරණය සම්පූර්ණයෙන්ම පසුතැවීමට සිදුවූයේ එංගලන්ත පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට කිසිදු සහනයක් ලබා නොදෙමින් පන්දුවාර 20 අවසානයේ කඩුලු 4කට ලකුණු 254ක් රැස් කිරීමත් සමඟය.

එංගලන්ත ඉනිමේ ප්‍රධානතම ප්‍රහාරකයා වූ හැරී බෘක් පන්දු 42කදී නොදැවී ලකුණු 114ක් රැස් කළේය. එය ඔහුගේ දෙවැනි විස්සයි-20 ජාත්‍යන්තර ශතකය මෙන්ම වේගවත්ම ශතකයද විය. බෘක්ගේ ශතකය සම්පූර්ණ වූයේ පන්දු 42කිනි. ඔහුගේ ඉනිම හතරේ පහර 11කින් සහ හයේ පහර 7කින් වර්ණවත් විය.

බෘක් සමඟ එක්ව ජොස් බට්ලර්ද ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයක් එල්ල කළේ පන්දු 44කදී ලකුණු 80ක් රැස් කරමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් ඇතුළත් විය.

බෘක් සහ බට්ලර් එක්ව පන්දු 60කදී ලකුණු 128ක දැවැන්ත සම්බන්ධතාවක් ගොඩනැඟීම එංගලන්තයේ දැවැන්ත ලකුණු පුවරුවට ප්‍රධානතම හේතුව විය. එංගලන්තය පළමු පන්දුවාර හයේදී පමණක් කඩුල්ලක් දැවී ලකුණු 90ක් ලබාගත්තේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කරමිනි.

මංගල විස්සයි-20 ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ අනියුරින් ඩොනල්ඩ්ද පළමු පන්දුවාරයේදීම සිය ප්‍රහාරාත්මක පිතිකරණය ප්‍රදර්ශනය කළේය. ඔහු පන්දු 5කදී ලකුණු 12ක් රැස් කළ අතර, එංගලන්තය ආරම්භයේ සිටම වේගවත් ලකුණු රැස් කිරීමකට යොමු විය.

ශ්‍රී ලංකාවට තරගය පාලනයෙන් ගිලිහෙමින් පවතින බව පැහැදිලි වූ තවත් අවස්ථාවක් වූයේ දුනිත් වෙල්ලාලගේ යැවූ පස්වැනි පන්දුවාරයෙන් ලකුණු 30ක් ලබා ගැනීමයි. එමෙන්ම බට්ලර් ලකුණු 45කදී ලබාදුන් උඩපන්දුවක් ඉෂාන් මාලිංගට රැක ගැනීමට නොහැකි වීමද ශ්‍රී ලංකාවට දැඩි පාඩුවක් විය.

එංගලන්තයේ ලකුණු 254ට පිළිතුරු ඉනිම ඇරඹූ ශ්‍රී ලංකාවට කිසිදු අවස්ථාවක තරගයේ ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් ගොඩනගා ගැනීමට නොහැකි විය.

ඉනිම ආරම්භ කළ සනී බේකර් සිය පළමු පන්දුවාරය ලකුණු නොදී යවමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ට පීඩනයක් එල්ල කළ අතර, අනතුරුව ලකුණු 12කට කඩුලු 3ක් දවා ගනිමින් එංගලන්ත පන්දු යැවීමේ ප්‍රධානතම තුරුම්පුව බවට පත්විය.

කමිල් මිශාර සහ ලහිරු උදාර දෙදෙනාම බේකර්ගේ පන්දු හමුවේ දැවී ගිය අතර, මහීෂ් තීක්ෂණගේ පිට ඉන්න ගලවා දැමීමටද ඔහු සමත් විය.

ශ්‍රී ලංකා ඉනිමේ එකම සටන්කාමී පිතිකරණය දැකගත හැකි වූයේ දුනිත් වෙල්ලාලගේගෙනි. අංක අට ස්ථානයේ පැමිණි ඔහු පන්දු 21කදී ලකුණු 33ක් රැස් කළද, අනෙක් පිතිකරුවන්ගෙන් ඔහුට ප්‍රමාණවත් සහයක් නොලැබුණි.

එංගලන්ත පන්දු යවන්නන් හයදෙනාම කඩුලු ලබාගත් අතර, ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 19ක් අවසන් වීමටත් පෙර ලකුණු 135කට සීමා විය.

තරගයේදී ශ්‍රී ලංකා පන්දු යැවීමේ සැලසුම්ද දැඩි ප්‍රශ්න මතු කළේය. විශේෂයෙන් මහීෂ් තීක්ෂණ පවර්ප්ලේ අවස්ථාවේදී එංගලන්ත පිතිකරුවන්ගේ ප්‍රහාරයට ලක්වීමෙන් පසුව ඔහුට නැවත පන්දුව ලබා නොදීමත්, වෙල්ලාලගේ සහ දසුන් ශානක යොදාගත් පන්දුවාරවලදී විශාල ලකුණු ප්‍රමාණයක් ලබාදීමත් කැපී පෙනුණි.

වෙල්ලාලගේ යැවූ අවසන් පන්දුවාරයෙන් ලකුණු 16ක්ද, ශානක යැවූ 17 වැනි පන්දුවාරයෙන් ලකුණු 19ක්ද එංගලන්ත පිතිකරුවෝ උදුරා ගත්හ. පන්දුවාර තුනකදී ලකුණු 51ක් ලබාදුන් වෙල්ලාලගේගේ පන්දු යැවීම එදින ශ්‍රී ලංකා පන්දු යැවීමේ අංශයේ දුර්වලම දක්ෂතාවක් බවට පත්විය.

ඒ අනුව ලකුණු 255ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකාවට පන්දුවාර 19ක් අවසන් වීමට පෙර සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 135ක් පමණි. ඒ අනුව තරගය ලකුණු 119කින් ජය ගැනීමට එංගලන්තය සමත් විය.

එංගලන්තය – 254/4 (පන්දුවාර 20) – (හැරී බෘක් නොදැවී 114, ජොස් බට්ලර් 80, අනියුරින් ඩොනල්ඩ් 12, ටොම් බැන්ටන් 10, විල් ැක්ස් 21, දුනිත් වෙල්ලාලගේ 51/1, දුෂ්මන්ත චමීර 53/1, එෂාන් මාලිංග 41/1, වනිඳු හසරංග 34/1)

ශ්‍රී ලංකාව – 135 (පන්දුවාර 19) – (දුනිත් වෙල්ලාලගේ 33, පැතුම් නිස්සංක 12, කමිල් මිශාර 10, ළහිරු උදාර 05, චරිත් අසලංක 10, දසුන් ශානක 24, කමිදු මෙන්ඩිස් 02, වනිඳු හසරංග 04, මහීෂ් තීක්ෂණ 04, දුෂ්මන්ත චමීර 08, එෂාන් මාලිංග 13*,  සනී බේකර් 12/3, ලියම් ඩෝසන් 23/2, ජෙමී ඕවර්ටන් 20/2, ජොෂ් ටංග් 25/1, විල් ජැක්ස් 21/1, අදිල් රශීඩ් 31/1)

Active filters

Recent Posts

  • බෘක් – බට්ලර් ප්‍රහාරයෙන් විස්සයි-20 එංගලන්තය පෙරමුණට
    එංගලන්ත පිතිකරුවන්ගේ දැවැන්ත ප්‍රහාරය හමුවේ කිසිදු පිළිතුරක් සොයාගත නොහැකි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සවුත්හැම්ප්ටන්හි යුටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් ලකුණු 119ක දැවැන්ත පරාජයක් අත්විය. ඒ […]
  • එංගලන්ත අභියෝගයට ශ්‍රී ලංකාව සවුත්හැම්ප්ටන්හිදී පිටියට
    එංගලන්තය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (15) සවුත්හැම්ප්ටන්හි යූටිලිටා බෝල් ක්‍රීඩාංගණයේදී මුහුණ දෙයි. කුසල් මෙන්ඩිස් ආබාධයක් හේතුවෙන් T20I තරගාවලියෙන් […]
  • පදක්කමක් සොයා ශ්‍රී ලංකා කාන්තා පිල ජපානය බලා පිටත්වෙයි
    ජපානයේ අයිචි-නාගෝයා නගර ආශ්‍රිතව පැවැත්වෙන 2026 ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (14) රාත්‍රියේ ජපානය බලා පිටත්ව ගියේය. ආසියානු […]
  • එන්.සී.සී. පරදා එස්.එස්.සී. අවසන් සටනට
    අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එන්.සී.සී. කණ්ඩායම ලකුණු 46කින් පරාජය කළ එස්.එස්.සී. කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගත්තේය. කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී […]
  • සුපිරි ඕවරයෙන් ටැමිල් යූනියන් අවසන් මහ සටනට
    කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (13) පැවැති අන්තර් සමාජ ප්‍රධානතම විස්සයි-20 තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය අතිශය තියුණු සටනකින් පසුව සුපිරි ඕවරයෙන් ජයගත් ටැමිල් යූනියන් ක්‍රීඩා සමාජය අවසන් මහ […]

Pin It on Pinterest

USD United States (US) dollar