slc
logo
Home   |    News
සැප්තැම්බර් 26, 2026
යුද හමුදාව දින 15කදී දෙවැනි ‘ටියර් බී‘ ශූරතාවත් දිනයි

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ ටියර් බී විස්සයි-20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය අද (26) පස්වරුවේදී සමත් විය. අනුරාධපුර දිස්ත්‍රික් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේදී ලියෝ ක්‍රිකට් සමාජය කඩුලු 6කින් පරාජය කරමින් යුද හමුදා කණ්ඩායම මෙම ශූරතාව හිමිකර ගත්තේය. ඒ සමඟම ඔවුනට එම ශූරතා කුසලාන සමග මුදලින් රු. හත්ලක්ෂ පනස් දහසක මුදලක් හිමිවද්දී අනුශූරතාවයට පත් ලියෝ ක්‍රීඩා සමාජයට මුදලින් රු. ලක්ෂ 5 ක් හිමිවිය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් ලියෝ ක්‍රිකට් සමාජය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 163ක් රැස් කළේය. එහිදී පූර්ණ කල්හාර නොදැවී ලකුණු 40ක් ලබාගත් අතර, නෙලුක හේෂාන් ලකුණු 37ක් සහ ප්‍රසාද් අසංක ලකුණු 22ක් රැස් කළහ.

යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් සරත් මධුෂ්ක පන්දුවාර 4කදී ලකුණු 41කට කඩුලු 4ක් දවා ගනිමින් පන්දුවෙන් කැපී පෙනෙන දස්කමක් දැක්වීය.

ලකුණු 164ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය යුද හමුදා කණ්ඩායම පන්දුවාර 17යි පන්දු 5කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 164ක් රැස් කරමින් තරගයේ ජය තහවුරු කළේය.

නායක ශෙහාන් සොයිසා පන්දු 22කදී හයේ පහර 3ක් සහ හතරේ පහර 3ක් සමඟ ලකුණු 41ක් රැස් කරමින් ජයග්‍රහණයට ප්‍රබල දායකත්වයක් ලබාදුන් අතර, තිසර පෙරේරා පන්දු 21කදී නොදැවී ලකුණු 41ක් රැස් කළේ හයේ පහර 3ක් සහ හතරේ පහර 2ක් සමඟිනි. ක්‍රිෂේන් අපොන්සු නොදැවී ලකුණු 38ක් ලබාගනිමින් ඔහුට අනගි සහායක් ලබා දුන්නේය.

යුද හමුදා කණ්ඩායමේ ජයග්‍රහණය තවත් සුවිශේෂී වන්නේ දින 15ක් වැනි කෙටි කාලයක් තුළ ටියර් බී තරගාවලි දෙකක ශූරතා දිනා ගැනීමට ඔවුන් සමත්වීම හේතුවෙනි. පසුගිය 11 වැනිදා පැවැති ටියර් බී එක්දින තරගාවලියේ අවසන් මහා තරගයේදී ද ගාලු ක්‍රීඩා සමාජය පරාජයට පත් කොට යුද හමුදා ක්‍රීඩා සමාජය ශූරතාව දිනාගත් අතර, අනතුරුව විස්සයි-20 තරගාවලියේ ශූරතාවද තමන් සතු කරගනිමින් කෙටි කාලයක් තුළ සිය ආධිපත්‍යය තහවුරු කළේය.

අවසන් මහා තරගයේ වීරයා ලෙස යුද හමුදා නායක ශෙහාන් සොයිසා සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඔහුට එම කුසලාන සමග මුදලින් රු. ලක්ෂයක් දිනාගත්තේය. ඊට අමතරව  තරගාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස ශ්‍රී ලංකා නාවික ක්‍රීඩා සමාජයේ ඉෂාන් අබේසේකරත්, හොඳම පිතිකරුවා ලෙස කැන්ඩි කස්ටම්ස් ක්‍රීඩා සමාජයේ යශෝධ මෙන්ඩිස්ත් දිනාගත් අතර ඔවුන් දෙපළට එම කුසලාන සමග මුදලින් ලක්ෂ 2 බැගින් පිරිනැමිණ. ඊට අමතරව තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙස රාගම ක්‍රිකට් සමාජයේ කවින්ද ඉෂාරත් සම්මාන ලැබූ අතර ඔහුට එම කුසලාන සමග මුදලින් ලක්ෂ 3 ක් පිරිනැමිණ.

ලියෝ ක්‍රිකට් සමාජය — 163/6 (පන්දුවාර 20) – පූර්ණ කල්හාර නොදැවී 40, නෙලුක හේෂාන් 37, ප්‍රසාද් අසංක 22, නෙත්මා කරුණාරත්න 21, රොමේෂ් සුරංග 16, සරත් මධුෂ්ක 41/4, ලිලාන් රංගන 19/1, ප්‍රසාද් අසංක 37/2

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය — 164/4 (පන්දුවාර 17.5) – ශෙහාන් සොයිසා 41, තිසර පෙරේරා නොදැවී 41, ක්‍රිෂේන් අපොන්සු නොදැවී 38, ජනක සම්පත් 19, අශාන් සුදර්ශන 16, ප්‍රසාද් අසංක 37/2, සුපුන් දිල්ෂාන් 39/2

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar