ෂෙහාරා ඉඳුවරීගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ පානදුර ක්රීඩා සමාජයේ පිතිකාරිනියන් අසරණ කරමින්, ලකුණු 97ක විශිෂ්ට ජයක් වාර්තා කළ බදුරලිය ක්රීඩා සමාජය ශ්රී ලංකා ක්රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ ප්රධානතම කාන්තා එක්දින ක්රිකට් තරගාවලියේ 2026 වසරේ ශූරතාව දිනා ගැනීමට අද (1) සමත් විය. කොළඹ කෝල්ට්ස් ක්රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ජයග්රහණය හිමිකරගත් බදුරලිය ක්රීඩිකාවෝ ශූරතා කුසලානය සමඟ රුපියල් ලක්ෂ 5ක මුදල් ත්යාගයකටද හිමිකම් කීහ.
අනුශූරතාවට පත් පානදුර ක්රීඩා සමාජයට මුදලින් ලක්ෂ 3 ක මුදලක් හිමිවිය.
ලකුණු 203ක ජයග්රාහී ඉලක්කයක් හඹා ගිය පානදුර කණ්ඩායම පන්දුවාර 33යි පන්දු 4කදී ලකුණු 105කට සීමා කිරීමට බදුරලිය පන්දු යවන්නියෝ සමත් වූ අතර, එහිදී සිය පන්දුවාර 10 තුළ නිලකුණු පන්දු වාර 3ක්ද සමඟ ලකුණු 25ක් පමණක් ලබා දෙමින් කඩුලු 6ක් දවාගත් ෂෙහාරා ඉඳුවරී අවසන් මහ තරගයේ දක්ෂතම ක්රීඩිකාව ලෙසින් සම්මාන දිනාගත්තාය.
පානදුර ඉනිමේ මුල් පෙළේ පිතිකාරිනියන් එකිනෙකා පසුපස දැවී යන තත්ත්වයක් ඇති කළ ෂෙහාරා, පානදුර ඉනිමේ අවසන් අදියර දක්වාම සිය පීඩනය පවත්වාගෙන ගියාය. ඇයගේ පන්දු යැවීම හමුවේ පානදුරට ලකුණු 150 සීමාව ආසන්නයට හෝ පැමිණීමට නොහැකි වූ අතර, ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ රශ්මිකා සෙව්වන්දි පමණක් ධෛර්යවන්ත ලෙසින් පිත්ත හැසිරවූවාය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් බදුරලිය කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 202ක් රැස් කළේය. මුල් කඩුලු තුන ලකුණු 48ක් තුළ බිඳ වැටීමෙන් අනතුරුව නායිකා සුමුදු නිසංසලා සහ රශ්මි නෙත්රංජලී එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 90ක සබඳතාවක් ගොඩනඟමින් බදුරලිය ඉනිමට ශක්තිමත් පදනමක් දැමූහ.
නායිකා සුමුදු නිසංසලා පන්දු 105කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟ ලකුණු 56ක් ලබා බදුරලිය ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූවාය. රශ්මි නෙත්රංජලී ලකුණු 30ක් ලබා ගත් අතර නෙතගි ඉසුරංජලී ලකුණු 22ක්ද, සචිනි නිසංසලා ලකුණු 21ක්ද එක් කළහ.
ඉනිමේ අවසන් භාගයේදී ශෂිනි ගිම්හානි ලකුණු 17ක් ලබාගත් අතර, චමීෂා නෙත්මි අබේසේකර පන්දු 8කින් නොදැවී ලකුණු 11ක් සහ සුලේෂා සත්සරණි පන්දු 3කින් නොදැවී ලකුණු 5ක් ලබා ගැනීමෙන් බදුරලිය ලකුණු 200 සීමාව පසු කළේය.
පානදුර වෙනුවෙන් පන්දු යැවීමේදී පියුමි වත්සලා ලකුණු 27කට කඩුලු 4ක් දවාගත් අතර දේවාගි ජෙගනාදන් ලකුණු 31කට කඩුලු 2ක් බිඳ දැමුවාය.
ලකුණු 203ක ඉලක්කය හඹා යාම ආරම්භ කළ පානදුර කණ්ඩායමට ආරම්භයේ සිටම ෂෙහාරා ඉඳුවරීගෙන් දැඩි පීඩනයකට මුහුණදීමට සිදුවිය. ඇයගේ පන්දු යැවීම හමුවේ පානදුර පළමු කඩුලු පහ ලකුණු 15ක් තුළ බිඳ වැටුණු අතර, පසුව අමාධි විජේසිංහ සහ රශ්මිකා සෙව්වන්දි එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 50ක සබඳතාවක් ගොඩනඟමින් ඉනිම යම් තරමකට ගොඩනැගූහ.
අමාධි විජේසිංහ ලකුණු 21කට දැවී යාමෙන් පසුවත් රශ්මිකා සෙව්වන්දි සටන අත් නොහැර පානදුර ඉනිම ඉදිරියට ගෙන ගියද, ඇය ලකුණු 48කට දැවී යාමත් සමඟ පානදුර ජයග්රහණයේ අවසන් බලාපොරොත්තුවද බිඳ වැටිණි. රශ්මිකාගේ ඉනිමට හතරේ පහර 6ක් ඇතුළත් විය.
ඒ අනුව පානදුර ක්රීඩා සමාජය පන්දුවාර 33යි පන්දු 4කදී ලකුණු 105කට දැවී ගිය අතර, බදුරලිය ක්රීඩා සමාජය ලකුණු 97ක ජයක් සමඟින් 2026 අන්තර් සමාජ ප්රධානතම කාන්තා එක්දින ක්රිකට් ශූරතාව දිනා ගත්තේය.
අවසන් මහ තරගයේ දක්ෂතම ක්රීඩිකාවට හිමි සම්මානය සඳහා ෂෙහාරා ඉඳුවරීට රු. 75,000 ක මුදලක්ද හිමිවිය. ඊට අමතරව තරග 3 කදී කඩුලු 11 ක් දවා ගැනීමට සමත්වීඹ නිසා ඇයට තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නියට හිමි සම්මානයද දිනාගත්තාය. ඊට අමතරව තරගාවලියේ දක්ෂතම පිතිකාරිණිය ලෙස තරග 4 කදී ලකුණු 266 ක් රැස් කළ නිලක්ෂිකා සිල්වා සම්මාන දිනාගත්තාය. මෙම ක්රීඩිකාවන් දෙදෙනාටම එම ශූරතා කුසලාන සමඟ මුදලින් රු. ලක්ෂය බැගින් පිරිනැමිණ.
තරගාවලියේ දක්ෂතම ක්රීඩිකාව ලෙසින් තරග 5 කදී කඩුලු 18 ක් සහ ලකුණු 55 ක් රැස් කළ ගුවන් හමුදා ක්රීඩිකා මල්කි මදාරා සම්මාන දිනාගත්තාය. ඇයට එම කුසලාන සමඟ මුදලින් රු. එක් ලක්ෂ පනසදහසක මුදලක් පිරිනැමිණ.
මෙරට කාන්තා ක්රිකට් ක්රීඩාව ආරම්භ කිරීම හා එහි අභිවෘද්ධිය වෙනුවෙන් නොපිරිහෙලා සිය කැපවීම ලබාදුන් ග්වේන් හේරත් මහත්මියගේ සේවාව අනුස්මරණය කරමින්, අන්තර් සමාජ ප්රධානතම කාන්තා එක්දින ශූරතාව ඇයගේ නමින් නම් කර තිබීම මෙවර තරගාවලියේ විශේෂත්වයක් විය. ඒ අනුව ශූරතාව සඳහා පිරිනැමෙන “ග්වේන් හේරත් අනුස්මරණ කුසලාන” ඇයගේ දියණිය වන ශමාරා හේරත් මහත්මිය විසින් ශූරතාව දිනාගත් බදුරලිය ක්රීඩා සමාජය වෙත පිරිනමන ලදී.
මෙම අවස්ථාවට ශ්රී ලංකා ක්රිකට් ආයතනය වෙනුවෙන් දේශිය ක්රිකට් මෙහෙයුම් ප්රධානී චින්තක එදිරිමාන්න මහතාද සහභාගිව සිටියේය.
බදුරලිය – 202/7 (පන්දුවාර 50)
සුමුදු නිසංසලා 56, රශ්මි නෙත්රංජලී 30, නෙතගි ඉසුරංජලී 22, සචිනි නිසංසලා 21, ශෂිනි ගිම්හානි 17, චමීෂා නෙත්මි අබේසේකර නොදැවී 11, සුලේෂා සත්සරණි නොදැවී 5, පියුමි වත්සලා 27/4, දේවාගි ජෙගනාදන් 31/2
පානදුර – 105 (පන්දුවාර 33.4)
රශ්මිකා සෙව්වන්දි 48, අමාධි විජේසිංහ 21, ෂෙහාරා ඉඳුවරී 25/6





