slc
logo
Home   |    News
සැප්තැම්බර් 2, 2026
කැළණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ක්‍රීඩා මාධ්‍යකරණය පිළිබඳ වැඩසටහනක්

sinhala editor

කැළණිය විශ්වවිද්‍යාලයේ ජන සන්නිවේදන අධ්‍යයන අංශයයටතේ ඉගෙනුම ලබන සිසුන් 160 දෙනෙකුට ක්‍රීඩා මාධ්‍යකරණය සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ ප්‍රායෝගික අත්දැකීමක් ලබාදීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් විශේෂ අධ්‍යාපනික වැඩසටහනක් පවත්වන ලදී.

අධ්‍යයන කාර්ය මණ්ඩල සාමාජිකයින් සමඟ පැමිණි සිසුන් කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ශ්‍රී ලංකා – ඉන්දියා වයස අවුරුදු 19න් පහළ දෙවැනි සිව්දින තරගය අතරතුර මෙම ක්ෂේත්‍ර අධ්‍යයනයට එක් වූහ.

එහිදී ක්‍රිකට් තරගයක් වාර්තා කිරීමේදී මාධ්‍යවේදීන් සහ ඡායාරූප ශිල්පීන් කටයුතු කරන ආකාරය මෙන්ම මාධ්‍ය කුටියේ මෙහෙයුම්, සජීවී ක්‍රීඩා වාර්තාකරණය, ක්‍රීඩා ඡායාරූපකරණය සහ ජාත්‍යන්තර ක්‍රිකට් තරගයක් සඳහා මාධ්‍ය පහසුකම් කළමනාකරණය කිරීම පිළිබඳව සෘජු අවබෝධයක් ලබාගැනීමට සිසුන්ට අවස්ථාව හිමි විය.

මෙහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් මාධ්‍ය ඒකකය විසින් “ක්‍රීඩා මාධ්‍යකරණයේ වෘත්තීය භාවිතයන්” යන තේමාව යටතේ විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක්ද පවත්වන ලද අතර, එහිදී ක්‍රීඩා මාධ්‍යකරණයේ වර්තමාන ප්‍රවණතා, වෘත්තීය ප්‍රමිතීන්, මාධ්‍යවේදීන්ගේ වගකීම් සහ ක්‍රිකට් වාර්තාකරණයේදී අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳව සිසුන් දැනුවත් කරන ලදී.

වැඩසටහන අවසානයේ පැවැති ප්‍රශ්න හා පිළිතුරු සැසියකදී සිසුන්ට තමන්ගේ අධ්‍යයන කටයුතු හා ක්ෂේත්‍ර අත්දැකීම් සම්බන්ධ කරගනිමින් මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ කරුණු පිළිබඳව ප්‍රශ්න යොමු කිරීමටද අවස්ථාව ලැබිණි.

එමෙන්ම, ජාත්‍යන්තර ක්‍රිකට් තරග ආවරණය කරන වෘත්තීය ඡායාරූප ශිල්පීන් සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතු වෘත්තිකයන් සමඟ අදහස් හුවමාරු කරගැනීමටද සිසුන්ට අවස්ථාව හිමි වූ අතර, ක්‍රීඩා මාධ්‍යකරණයේ නිරත වීමේදී මුහුණදීමට සිදුවන ප්‍රායෝගික අභියෝග සහ වෘත්තීය වගකීම් පිළිබඳව ඔවුන්ට වඩාත් පුළුල් අවබෝධයක් ලබාගැනීමට හැකි විය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් ලබාගන්නා න්‍යායාත්මක දැනුම සැබෑ ක්‍රීඩා මාධ්‍ය පරිසරයක් තුළ ප්‍රායෝගිකව අත්විඳීමට මෙම වැඩසටහන මඟින් සිසුන්ට සුවිශේෂී අවස්ථාවක් උදා වූ අතර, අනාගතයේදී ක්‍රීඩා මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසීමට අපේක්ෂා කරන තරුණ පරපුරට එය වටිනා අත්දැකීමක් විය.

මෙම ක්ෂේත්‍ර චාරිකාව සඳහා කැළණිය විශ්වවිද්‍යාලය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් රාජපක්ෂ මහතා, අමලි නන්දසිරි මහත්මිය, දිලිනි ගමගේ මහත්මිය, පරිවාස කථිකාචාර්ය අමානි රූපසිංහ මහත්මිය සහ සහකාර කථිකාචාර්යවරුන් වන නිපුණි භාග්‍යා මහත්මිය හා සවිඳු ඉරෝෂන් මහතා එක්ව සිටියහ.

අනාගත වෘත්තිකයන්ගේ දැනුම, කුසලතා සහ වෘත්තීය අවබෝධය වර්ධනය කිරීම වෙනුවෙන් මෙවැනි අධ්‍යාපනික වැඩසටහන් සඳහා සහාය ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ආයතනික සමාජ වගකීම් (CSR) වැඩසටහනේ එක් අරමුණක් වේ. අධ්‍යාපන ක්ෂේත්‍රය සහ ක්‍රීඩා ක්ෂේත්‍රය අතර සබඳතාව තවදුරටත් ශක්තිමත් කරමින්, අනාගතයේදී රටට අවශ්‍ය දක්ෂ හා වගකීම් සහගත වෘත්තිකයන් බිහිකිරීමට දායක වීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙවැනි වැඩසටහන්වල අරමුණයි.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee