slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2026
ගාල්ල පිලේ සටන්කාමී පිතිහරඹය අභිබවා යුද හමුදාව ‘ටියර් බී‘ එක්දින කිරුළ දිනාගනී

sinhala editor

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කළ අන්තර් සමාජ ටියර් බී සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය අද(11) පස්වරුවේදී සමත්විය. කොළඹ බ්ලූම්ෆීල්ඩ් ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී ගාල්ල ක්‍රිකට් සමාජය ලකුණු 23කින් පරාජය කරමින් යුද හමුදා කණ්ඩායම මෙම ශූරතාව තමන් සතු කරගත්තේය.ඒ සමඟම යුද හමුදා කණ්ඩායමට එම ශූරතා කුසලාන සමග මුදලින් ලක්ෂ 10 ක්ද පිරිනැමුණු අතර අනුශූරතාව හිමි ගාලු කණ්ඩායමට ලක්ෂ හතහමාරක් පිරිනැමිණ.

කාසියේ වාසිය දිනාගත් ගාල්ල ක්‍රිකට් සමාජය පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව යුද හමුදා කණ්ඩායමට ලබාදුන් අතර, ඒ අනුව පිටියට පිවිසි යුද හමුදා පිතිකරුවෝ නියමිත ඕවර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 284ක් රැස්කරමින් ගාල්ල පිල හමුවේ ලකුණු 285ක අභියෝගයක් තැබූහ.

යුද හමුදා ඉනිමේ කැපී පෙනෙන පිතිකරු බවට පත්වූ අසේල ගුණරත්න පන්දු 84කදී හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 99ක් නොදැවී රැස්කරමින් ශතකය පෙනෙන මානයේදී නතර විය. ඉනිමේ අවසන්  පන්දුව දක්වා පන්දුවට පහර දුන් අසේලට ශතකය ලබා ගැනීම සඳහා ලකුණු 3 ක් අවශ්‍ය වූ නමුත් ඔහුට අම අවස්ථාවේදී ලබාගත හැකි වූයේ ලකුණු 02 ක් පමණි. කෙසේ වෙතත්  ඔහුගේ ප්‍රවේගවත් ඉනිම යුද හමුදා ලකුණු පුවරුව ඉහළ නැංවීමට තීරණාත්මක දායකත්වයක් ලබා දුන්නේය.

යුද හමුදා කණ්ඩායමේ නායකයා වන ෂෙහද සොයිසා 7 වැනි පිතිකරුවා ලෙසින් පිටියෙන් ඉවත්වන විට ලකුණු පුවරුව කියැවුණේ 32 වැනි පන්දුවාරයේදී ලකුණු 156 ක් ලෙසිනි. කෙසේ වෙතත් ඉනිම අගිස්සේ පිතිකරුවන් සමඟ එක්වූ අසේල 089 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 18 ක් ද 09 වැනි කඩුල්ල වෙනුවෙන් ජනක සම්පත් සමඟ එක්ව පන්දු 76 කදී ලකුණු 88 ක් සහ 10 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 11 කදී ලකුණු 22 ක් එක් කළහ.  

ඒ වෙනුවෙන් මනූෂ්ක සමිත් පන්දු 39කින් ලකුණු 39ක් සහ ජනක සම්පත් පන්දු 39කින් ලකුණු 38ක් ලබා ගනිමින් අසේල ගුණරත්නට අනගි සහායක් ලබාදුන්හ. ආරම්භක පිතිකරු අශාන් සුදර්ශන ලකුණු 25ක්ද, සුකිත් දේව්තිලින ලකුණු 23ක්ද රැස් කළහ.

ගාල්ල කණ්ඩායම වෙනුවෙන් කෙවින් කොත්තිගොඩ කඩුලු 2ක් දවාගත් අතර චානක දේවින්ද, රජීව වීරසිංහ, සුභානු කවීෂ රාජපක්ෂ සහ අසේල සම්පත් එක් කඩුල්ල බැගින් දවාගත්හ.

ලකුණු 285ක ඉලක්කයක් හඹා ගිය ගාල්ල ක්‍රිකට් සමාජයට මුල් අවස්ථාවේදී කඩුලු කිහිපයක් අහිමි වුවද, තේජාන් ශක්‍ය ප්‍රසංජන සහ චානක දේවින්ද එක්ව ගොඩනැගූ සම්බන්ධතාව හේතුවෙන් යළිත් තරගයට පිවිසීමට අවස්ථාව ලැබිණි.

ගාල්ල කණ්ඩායමේ මුල් කඩුලු හතර ලකුණු 65ක් තුළ බිඳවැටුණු අතර, පසුව කෙවින් කොත්තිගොඩ සහ චානක දේවින්ද එක්ව ලකුණු 46ක සම්බන්ධතාවක් ගොඩනැගූහ. එහෙත් ගාල්ල ඉනිමට සැබෑ ජීවයක් එක් කළේ තේජාන් ශක්‍ය ප්‍රසංජනගේ වේගවත් පිතිහරඹයයි.

පන්දු 65කට මුහුණදුන් තේජාන් ශක්‍ය ප්‍රසංජන හතරේ පහර 6ක් සහ දැවැන්ත හයේ පහර 5ක් සමඟ ලකුණු 85ක් රැස් කළේය. චානක දේවින්ද සමඟ එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 61කදී ලකුණු 79ක සම්බන්ධතාවක් ගොඩනැගූ ඔහු, ගාල්ල කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයටම රැගෙන ඒමට සමත් විය.

කෙසේ වෙතත්, තේජාන් ශක්‍ය ප්‍රසංජන ලකුණු 253දී දැවී යාමත් සමඟ ගාල්ල කණ්ඩායමේ ජයග්‍රහණයේ බලාපොරොත්තු බිඳ වැටුණි. අවසානයේ පන්දුවාර 48යි පන්දු 4කදී සියලු දෙනා දැවී ගිය ගාල්ල ක්‍රිකට් සමාජයට රැස්කරගත හැකි වූයේ ලකුණු 261ක් පමණි.

යුද හමුදා කණ්ඩායම වෙනුවෙන් බසිත් ලක්ෂාන් සහ ලිලාන් රංගන විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් කඩුලු 3 බැගින් දවාගත් අතර, ජනක සම්පත් සහ අසේල ගුණරත්න කඩුලු 2 බැගින් බිඳ දැමූහ.

ඒ අනුව තියුණු සටනකින් අනතුරුව ගාල්ල ක්‍රිකට් සමාජය ලකුණු 23කින් පරාජය කළ ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය ටියර් බී 50 ඕවර තරගාවලියේ ශූරතාවට හිමිකම් කීවේය.

ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තේරීම් කමිටු සාමාජිකයකු ලෙසින් කටයුතු කරනු ලබන නල්ලයියා දේවරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති ජය සංඛේත ප්‍රධානයේදී අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් අසේල ගුණරත්න සම්මාන දිනාගත් අතර ඔහුට එම කුසලාන සමඟ මුදලින් රු. ලක්ෂ 2 ක් හිමිවිය.

තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා ලෙසින් තරග 5 කදී කඩුලු 15 ක් දවා ගත් නාවික හමුදා කණ්ඩායමේ ඩිලංක අවර්ඩ් ද දක්ෂතම පිතිකරු ලෙසින් තරග 6 කදී ලකුණු 334 ක් රැස් කළ ගාලු ක්‍රීඩා සමාජයේ යුතික ද සිල්වා සම්මාන දිනාගත් අතර ඔවුන්ට එම කුසලාන සමග මුදලින් ලක්ෂ 3 බැගින් පිරිනැමිණ. මේ අතර තරගාවලියේ වඩාත් අවධානය දිනාගත් සම්මානය වූ තරගාවලියේ වටිනාම ක්‍රීඩකයා ලෙසින් කුරුණෑගල ක්‍රීඩා සමාජයේ රුචිර සිල්වා සම්මාන දිනාගත්තේය. තරග 6 කට ක්‍රීඩා කළ රුචිර පන්දුවෙන් කඩුලු 18 ක් දවා ගනිමින් එම සම්මානයට හිමිකම් කීවේය. ඔහුට එම කුසලාන සමග මුදලින් ලක්ෂ 5 ක මුදලක් හිමිවිය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය – 284/9 (ඕවර 50) – අසේල ගුණරත්න නොදැවී 99, මනූෂ්ක සමිත් 39, ජනක සම්පත් 38, අශාන් සුදර්ශන 25, සුකිත් දේව්තිලින 23, කෙවින් කොත්තිගොඩ 51/2, චානක දේවින්ද 29/2, අසේල සම්පත් 76/1, රජීව වීරසිංහ 25/1, සුභානු කවීෂ රාජපක්ෂ 35/1.

ගාල්ල ක්‍රිකට් සමාජය – 261 (ඕවර 48.4) – තේජාන් ශක්‍ය ප්‍රසංජන 85, චානක දේවින්ද 43, කෙවින් කොත්තිගොඩ 30, යුතික ද සිල්වා 26, කවිඳු නිර්මාණ 19, බසිත් ලක්ෂාන් 56/3, ලිලාන් රංගන 54/3, ජනක සම්පත් 53/2, අසේල ගුණරත්න 42/2.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee