ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ සත්කාරක පාකිස්තාන යොවුන් ක්රීඩකයෝ තරග පහකින් සමන්විත තරගාවලියේ තරග 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට අද (19 දා) සමත් වූහ. මුල්තාන් ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී පාකිස්තාන ජයග්රහණය තහවුරු කළ අසාන් අහමඩ් නොදැවී ලකුණු 63ක් රැස් කළේය.
පළමුව පන්දුවට පහර දුන් ශ්රී ලංකා යොවුන් කණ්ඩායමට පන්දුවාර 44කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 159ක් පමණි. ශ්රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සඳරු මල්ෂාන් ලකුණු 52ක් රැස් කළ අතර, මෙතුක ගුණරත්න පන්දු 73කදී ලකුණු 49ක් ලබාගත්තේය. ඔවුන් දෙදෙනාගේ දායකත්වය ශ්රී ලංකා ඉනිමට ශක්තියක් වුවද, සෙසු පිතිකරුවන්ගෙන් අපේක්ෂිත සහාය නොලැබීම හේතුවෙන් ලකුණු සංඛ්යාව 159කට සීමා විය.
පාකිස්තානය වෙනුවෙන් දකුණත් වේග පන්දු යවන ක්රීඩක ෆහාඩ් ඉක්බාල් ලකුණු 34කට කඩුලු 3ක් දවාගනිමින් පන්දුවෙන් කැපී පෙනුණේය. අම්මාර් ඛාන් සහ දාවුඩ් රානා කඩුලු 2 බැගින් දවාගත්හ.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ පාකිස්තාන යොවුන් කණ්ඩායම පන්දුවාර 41.5කදී කඩුලු 5ක් දැවී ලකුණු 160ක් රැස්කරමින් ජයග්රහණය සම්පූර්ණ කළේය. නායක අසාන් අහමඩ් පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 63ක් රැස්කරමින් ජයග්රහණයේ ප්රධාන නියමුවා බවට පත්විය. ශ්රී ලංකාව වෙනුවෙන් අදීෂ ලක්ෂාන් ලකුණු 34කට කඩුලු 2ක් දවාගත්තේය.
තරගාවලියේ සිව්වැනි එක්දින තරගය ලබන බදාදා (21) එම ක්රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.
ලකුණු සාරාංශය
- ශ්රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම: 159 (පන්දුවාර 44) — සඳරු මල්ෂාන් 52, මෙතුක ගුණරත්න 49; ෆහාඩ් ඉක්බාල් 34/3, දාවුඩ් රානා 10/2, අම්මාර් ඛාන් 31/2.
- පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම: 160/5 (පන්දුවාර 41.5) — අසාන් අහමඩ් නොදැවී 63; අදීෂ ලක්ෂාන් 34/2.





