slc
logo
Home   |    News
ඔක්තෝබර් 19, 2026
ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 15 ක් ඇතුළත බිඳ වැටෙයි

sinhala editor

ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය එක්වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (18) රාත්‍රියේදී සමත් විය. රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ශ්‍රී ලංකාව ලකුණු 37කින් පරාජය කළ පාකිස්තානය, සිය ජයග්‍රහණය වෙනුවෙන් සල්මන් අගාගේ විශිෂ්ට ශතකයත්, අවසන් භාගයේදී ක්‍රියාත්මක වූ පන්දු යවන්නන්ගේ දක්ෂතාවත් කැපී පෙනිණ.

ලකුණු 306ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.1කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 268ක් පමණි. ජයග්‍රහණය වෙනුවෙන් මැදපෙළ පිතිකරුවන් වන පවන් රත්නායක සහ ජනිත් ලියනගේ දැඩි සටනක නිරත වුවද, අවසන් කඩුලු පහ ලකුණු 15ක් ඇතුළත බිඳ වැටීම ශ්‍රී ලංකාවට තරගයේ ජයග්‍රහණය අහිමි කළ තීරණාත්මක සාධකය විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට පාකිස්තානයට ආරාධනා කළ ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස්ගේ තීරණයට මුල් අවස්ථාවේදී සාධාරණයක් ඉටු කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ලකුණු 32ක් වන විට පාකිස්තාන මුල් කඩුලු දෙක බිඳ වැටුණ ද, බාබර් අසාම් සහ සිය මංගල එක්දින ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ 19 හැවිරිදි සාද් බායිග් තෙවැනි කඩුල්ලට ලකුණු 74ක් එක් කරමින් ඉනිම ගොඩනැඟීමේ කාර්යයට මුල පිරූහ.

බාබර් අසාම් ලකුණු 45කට දැවී ගිය අතර, සාද් බායිග් හතරේ පහර තුනක් සහ හයේ පහර දෙකක් සමඟින් ලකුණු 39ක් රැස් කළේය. අනතුරුව පාකිස්තාන ඉනිමේ බර කරට ගත් සල්මන් අගා, පන්දු 90කදී හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 107ක් ලබා ගනිමින් සිය සිව්වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළේය.

සල්මන් අගා සහ හසන් නවාස් පස්වැනි කඩුල්ලට ලකුණු 97ක් එක් කළ අතර, අරෆත් මිංහාස් සමඟ හයවැනි කඩුල්ලට තවත් ලකුණු 64ක සබඳතාවක් ගොඩනැඟීමට ඔහු සමත් විය. හසන් නවාස් ලකුණු 37ක් සහ අරෆත් මිංහාස් ලකුණු 18ක් ලබා ගත්හ. ඒ අනුව පාකිස්තාන ඉනිම පන්දුවාර 49.5කදී ලකුණු 305කින් අවසන් විය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් කැපීපෙනුණු එශාන් මාලිංග ලකුණු 46කට කඩුලු 4ක් දවා ගත්තේය. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ හොඳම පන්දු යැවීමයි. අසිත ප්‍රනාන්දු ලකුණු 59කට කඩුලු 3ක් දවා ගනිද්දී ඩිල්ශාන් මධුශංක කඩුලු දෙකක් බිඳ හෙළීය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට නොහැකි වූ අතර, ලකුණු 91ක් වන විට කඩුලු හතරක් අහිමි වී තිබිණි. එම අවස්ථාවේදී පිටියේ එක් වූ පවන් රත්නායක සහ ජනිත් ලියනගේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 107කදී ලකුණු 119ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තුවක් ඇති කළහ.

පවන් රත්නායක හතරේ පහර හයක් සහ හයේ පහර දෙකක් සමඟින් පන්දු 74කදී ලකුණු 79ක් රැස් කළ අතර, ජනිත් ලියනගේ පන්දු 74කදී ලකුණු 60ක් ලබා ගත්තේය. එය ජනිත්ගේ එක්දින ජාත්‍යන්තර දිවියේ හත්වැනි අර්ධ ශතකය විය. දසුන් ශානක ද පන්දු 18කදී ලකුණු 28ක් ලබා ගනිමින් ලකුණු වේගය ඉහළ නැංවීමට උත්සාහ කළේය.

එහෙත් පවන්ගේ සහ ජනිත්ගේ දැවී යෑම්වලින් පසුව ශ්‍රී ලංකා පිතිකරණ පෙළ බිඳ වැටුණේ වේගවත් ලෙසිනි. ශහීන් ෂා අෆ්රිඩි ලකුණු 55කට කඩුලු 3ක් දවා ගනිමින් පාකිස්තාන පන්දු යැවීම මෙහෙයවූ අතර, නසීම් ෂා, හාරිස් රවුෆ් සහ ෆහීම් අෂ්රෆ් කඩුලු දෙක බැගින් දවා ගත්හ. සල්මන් අගා තරගයේ වීරයා ලෙස නම් කෙරිණි.

පාකිස්තානය – 305යි (පන්දුවාර 49.5යි) – සල්මන් අගා 107, බාබර් අසාම් 45, සාද් බායිග් 39, හසන් නවාස් 37, එශාන් මාලිංග 46/4, අසිත ප්‍රනාන්දු 59/3, ඩිල්ශාන් මධුශංක 67/2.

ශ්‍රී ලංකාව – 268යි (පන්දුවාර 48.1යි) – පවන් රත්නායක 79, ජනිත් ලියනගේ 60, කමිඳු මෙන්ඩිස් 44, දසුන් ශානක 28, ශහීන් ෂා අෆ්රිඩි 55/3, නසීම් ෂා 43/2, හාරිස් රවුෆ් 48/2, ෆහීම් අෂ්රෆ් 49/2.

Active filters

Recent Posts

  • පාකිස්තාන යොවුන් පිල තරගාවලියේ පෙරමුණ ගනියි
    ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් කඩුලු 5ක ජයක් වාර්තා කළ සත්කාරක පාකිස්තාන […]
  • ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රීඩා සමාජ තරගාවලිය මෙවර සිව්දින තරගාවලියක් වෙයි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධානතම ක්‍රීඩා සමාජ සිවුදින ක්‍රිකට් තරගාවලිය 2026/27 තරග වාරයේදී පළමු වරට සිවුදින තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතය. ඒ අනුව, නොවැම්බර් 19 වැනිදා සිට […]
  • ශ්‍රී ලංකා ඉනිමේ අවසන් කඩුලු 5 ලකුණු 15 ක් ඇතුළත බිඳ වැටෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය එක්වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියට ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සත්කාරක පාකිස්තාන කණ්ඩායම අද (18) රාත්‍රියේදී සමත් විය. රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී […]
  • තුන්කොන් සටන හෙට ඇරඹෙයි
    ශ්‍රී ලංකාව, එංගලන්තය සහ සත්කාරක පාකිස්තානය සහභාගී වන තුන්කොන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 18 වැනිදා සිට 31 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පිණ්ඩි සහ ලාහෝර් නගර කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට […]
  • පාකිස්තානු යෞවනයෝ එකට එක කරති
    පාකිස්තාන වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයෙන් ලකුණු 151ක ජයක් වාර්තා කිරීමට සත්කාරක පාකිස්තාන […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee