slc
logo
Home   |    News
ඔක්තෝබර් 2, 2026
එංගලන්ත සංචාරයෙන් පසු ශ්‍රී ලංකා විස්සයි-20 කණ්ඩායමේ වෙනස්කම් කීපයක්

sinhala editor

පාකිස්තානයට එරෙහිව පැවැත්වීමට නියමිත විස්සයි-20 තරග තුන සඳහා ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර ඇති අතර, එංගලන්තයට එරෙහිව පසුගියදා පැවැති විස්සයි-20 තරගාවලියට සාපේක්ෂව කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුකර තිබේ.

කපිල විජේගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව විසින් නම් කළ මෙම කණ්ඩායම සඳහා ක්‍රීඩා අමාත්‍යාංශයේ අනුමැතිය හිමිව ඇති අතර, ආබාධයක් හේතුවෙන් එංගලන්තයට එරෙහිව පැවැති විස්සයි-20 තරග 3 සඳහා ක්‍රීඩා නොකළ කුසල් මෙන්ඩිස් යළි කණ්ඩායමට පැමිණීමත් සමඟ නායකත්වයද ඔහුට හිමිව ඇත.

මෙන්ඩිස් නොසිටි බැවින් නායකත්වය දැරූ චරිත් අසලංක මෙවර කණ්ඩායමට ඇතුළත් නොවීම විශේෂත්වයකි. එමෙන්ම පැතුම් නිශ්ශංක, පවන් රත්නායක, වනිඳු හසරංග, ජනිත් ලියනගේ, තරිඳු රත්නායක සහ දිල්ෂාන් මධුශංක ද පාකිස්තාන තරගාවලිය සඳහා නම් කර නොමැත.

මේ අතර සිනෙත් ජයවර්ධන, සහන් ආරච්චිගේ, චමිඳු වික්‍රමසිංහ සහ විජයකාන්ත් වියස්කාන්ත් නවකයන් ලෙස කණ්ඩායමට එක්ව සිටිති. චමිඳු වික්‍රමසිංහ මෙවර කණ්ඩායමට නම් කර ඇත්තේ පිතිකරුවකු ලෙස පමණක්වීම කැපී පෙනෙයි.

අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර ඇති සිනෙත් ජයවර්ධන, පිතිකරණය මෙන්ම පන්දු යැවීමේ හැකියාවෙන්ද යුත් ක්‍රීඩකයෙකි. ඔහු 2023 අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයද දරා තිබේ.

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර විස්සයි-20 තරග තුනක් පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායම ඔක්තෝබර් 04 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යෑමට නියමිතය.

විස්සයි-20 තරග තුනම රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන අතර, පළමු තරගය ඔක්තෝබර් 9 වැනිදාත්, දෙවැනි තරගය ඔක්තෝබර් 11 වැනිදාත්, තෙවැනි තරගය ඔක්තෝබර් 13 වැනිදාත් පැවැත්වේ.

විස්සයි-20 සංචිතය – කුසල් මෙන්ඩිස් (නායක), කමිල් මිෂාර, සිනෙත් ජයවර්ධන, ලහිරු උදාර, සහන් ආරච්චිගේ, කමිඳු මෙන්ඩිස්, චමිඳු වික්‍රමසිංහ, දසුන් ශානක, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්, බිනුර ප්‍රනාන්දු, එෂාන් මාලිංග, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර.

දිනයතරගයක්‍රීඩාංගණය
විස්සයි-20 තරගාවලිය
ඔක්තෝම්බර් 09පළමු විස්සයි-20 තරගයරාවල්පිණ්ඩි
ඔක්තෝම්බර් 11දෙවැනි විස්සයි-20 තරගයරාවල්පිණ්ඩි
ඔක්තෝම්බර් 13තෙවැනි විස්සයි-20 තරගයරාවල්පිණ්ඩි

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee