පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැත්වීමට නියමිත තරග තුනකින් සමන්විත විස්සයි-20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සඳහා කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (09 දා) සූදානමින් පසුවෙයි. එංගලන්ත සංචාරයේදී පැවැති විස්සයි-20 තරග තුනම පරාජයට පත්වීමෙන් පසුව, කණ්ඩායමේ සංයුතිය හා ක්‍රීඩා රටාව යළි සකස් කරගැනීමේ වැදගත් අභියෝගයකට ශ්‍රී ලංකාව මෙහිදී මුහුණ දෙයි.
මෙම තරගාවලිය ශ්‍රී ලංකාවට තවත් ජාත්‍යන්තර තරගාවලියක් පමණක් නොවේ. නායකත්වයේ වගකීම දරන කුසල් මෙන්ඩිස් යටතේ කණ්ඩායමේ ස්ථාවරත්වය ගොඩනඟා ගැනීමටත්, ආබාධ හේතුවෙන් ප්‍රධාන ක්‍රීඩකයන් කිහිපදෙනකු නොමැති තත්ත්වයකදී සුදුසු කණ්ඩායම් සංයුතියක් සොයා ගැනීමටත් මෙය වැදගත් අවස්ථාවකි.
තරගාවලිය පිළිබඳව අද පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කුසල් මෙන්ඩිස් සදහන් කර සිටියේ මෙම තරගාවලියට හොඳින් ක්‍රීඩා කිරීමට තමන් ඇතුළු කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බවයි. “ඔවු. අපි ඊයේත් පුහුණුවීම්වල නිරතවුණා. විශේෂයෙන්ම පැය කීපයක්ම අපි දැල් තුළ පිතිකරණයේ යෙදුණා. මම හිතන්නේ අපේ පිතිකරුවන් හැමෝම දන්නවා පාකිස්තානයේදී විස්සයි-20 තරග ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා“ යි පැවැසූ කුසල්, “සාමාන්‍යෙයන් පාකිස්තානය ගත්තොත් ඔවුන් විස්සයි-20 තරග පමණක් නොවෙයි එක්දින තරගවලදීත් හොඳ කඩුලු ලබා දෙනවා. අපේ ක්‍රීඩකයින් ගොඩක් පාකිස්තානු සුපර් සුපර් ලීග් තරගාවලිය නියෝජනය කරනවා. ඒ වගේම පාකිස්තානයේ පැවැති පහුගිය තරගාවලියට සහසභාවූ ක්‍රීඩකයිනුත් මේ කණ්ඩායමේ සිටිනවා. මම හිතනවා හැම කෙනෙක්ම දන්නවා පාකිස්තානයේ ක්‍රීඩා කරන්නේ කොහොමද කියලා“ යනුවෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ආබාධයක් හේතුවෙන් එංගලන්තයට එරෙහි විස්සයි-20 තරගාවලියෙන් ඉවත් සිටි කුසල් මෙන්ඩිස් යළි කණ්ඩායමට පැමිණීම ශ්‍රී ලංකාවට වැදගත් ශක්තියකි. මෙවර ඔහු කණ්ඩායමේ නායකත්වය දරන අතර, පිතිකරණ අංශයේ වගකීම මෙන්ම කණ්ඩායමට ස්ථාවර ආරම්භයක් ලබාදීමේ අභියෝගය ද ඔහු ඉදිරියේ පවතී.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා සංචිතයේ වෙනස්කම් කිහිපයක්ම සිදුව තිබේ. හිටපු නායක චරිත් අසලංක මෙවර සංචිතයට ඇතුළත් නොවන අතර, ප්‍රධාන තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග ආබාධයක් හේතුවෙන් තරගාවලියට එක් නොවේ. වනිඳු වෙනුවට විජයකාන්ත් වියස්කාන්ත් සංචිතයට කැඳවා තිබේ.
වනිඳුගේ නොමැතිවීම ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ සැලසුම්වලට මෙන්ම මැද පෙළ පිතිකරණයට ද බලපාන කරුණක් වුවත් එම අපහසුතාවය මඟ හරවා ගනිමින් සිය උපරිමයෙන් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා පිල වග බලා ගත යුතුය. එබැවින් ඔහු වෙනුවට කණ්ඩායමට එක්වන ක්‍රීඩකයන්ගේ දායකත්වයත්, දඟ පන්දු යැවීමේ වගකීම් කණ්ඩායම තුළ බෙදී යන ආකාරයත් හෙටින් ආරම්භ වන තරගාවලියේදී අවධානයට ලක්වනු ඇත.
දේශීය ක්‍රිකට් පිටියේ දස්කම් දැක්වීමෙන් පසුව සිනෙත් ජයවර්ධන ශ්‍රී ලංකා විස්සයි-20 සංචිතයට ඇතුළත් කර තිබීම ද විශේෂත්වයකි. ටැමිල් යූනියන් කණ්ඩායම නියෝජනය කරමින් දේශීය තරගවලදී දැක්වූ දස්කම් ඔහුට මෙම අවස්ථාව හිමිකර දීමට හේතු වී තිබේ.
ශ්‍රී ලංකා පිතිකරණයේදී කුසල් මෙන්ඩිස්ට අමතරව කමිඳු මෙන්ඩිස්, කමිල් මිෂාර, සහන් ආරච්චිගේ සහ දසුන් ශානක වැනි ක්‍රීඩකයන්ගේ දායකත්වය ද වැදගත් වනු ඇත. කෙසේ වෙතත්, අවසන් ක්‍රීඩා කරන එකොළොස් දෙනාගේ සංයුතිය සහ පිතිකරණ අනුපිළිවෙළ තරගය ආසන්නයේදී තීරණය වනු ඇත.
වේග පන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීරට ද මෙම තරගාවලිය පෞද්ගලික සන්ධිස්ථානයක් කරගැනීමේ අවස්ථාව තිබේ. විස්සයි-20 ජාත්‍යන්තර කඩුලු 100 සීමාව පසු කිරීමට ඔහුට අවශ්‍යව ඇත්තේ තවත් එක් කඩුල්ලක් පමණි.
එම කඩඉම පසු කිරීමට චමීර සමත් වුවහොත්, විස්සයි-20 ජාත්‍යන්තර තරගවලදී කඩුලු 100ක් ලබාගත් ශ්‍රී ලාංකික පන්දු යවන්නන් අතර ලසිත් මාලිංග සහ වනිඳු හසරංග සමඟ එක්වීමට ඔහුට හැකි වනු ඇත. එහෙත් චමීරගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව අවසන් තීරණය තරගයට පෙර ගනු ඇති බැවින්, ඔහුගේ සහභාගිත්වය ද ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ සැලසුම්වලදී වැදගත් සාධකයකි.
චමීරට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත්, එෂාන් මාලිංග වැනි විකල්ප වේග පන්දු යවන්නකුට අවස්ථාව හිමිවිය හැකිය. මහීෂ් තීක්ෂණ සහ නුවන් තුෂාර ද ශ්‍රී ලංකාවේ පන්දු යැවීමේ සැලසුම්වල වැදගත් භූමිකාවක් ඉටු කරනු ඇත.
සත්කාරක පාකිස්තානය ද මෙවර තරගාවලියට පිවිසෙන්නේ නව නායකත්වයක් යටතේය. සහිබ්සාදා ෆර්හාන් පාකිස්තාන විස්සයි-20 කණ්ඩායමේ නායකත්වයට පත්කර ඇති අතර, සල්මාන් අගා සංචිතයෙන් ඉවත් කර තිබේ.
ෆර්හාන් සමඟ සයිම් අයුබ්, ෆකාර් සමාන්, ශඩාබ් ඛාන් සහ නසීම් ෂා වැනි ක්‍රීඩකයන් ඇතුළත් පාකිස්තාන කණ්ඩායමට පිතිකරණයෙන් මෙන්ම පන්දු යැවීමෙන් ද ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් එල්ල කළ හැකිය. කෙසේ වෙතත්, නායකත්වයේ වෙනසත් සමඟ කණ්ඩායමේ වගකීම් බෙදී යන ආකාරය සහ ක්‍රීඩා සැලසුම් ක්‍රියාත්මක වන ආකාරය තරගාවලියේදී පැහැදිලි වනු ඇත.
මෙම තරගාවලිය පාකිස්තානයට ද විශේෂ වැදගත්කමක් උසුලයි. මේ වසරේදී පාකිස්තානයට ක්‍රීඩා කිරීමට ස්ථීර වී ඇති විස්සයි-20 ජාත්‍යන්තර තරගාවලි අතර මෙය ප්‍රධාන අවස්ථාවක් වන අතර, ඉන් අනතුරුව එරට කණ්ඩායමට එක්දින සහ ටෙස්ට් තරගාවලි සඳහා අවධානය යොමු කිරීමට සිදුවනු ඇත.
පාකිස්තානයේදී ශ්‍රී ලංකාවට සුවිශේෂී මතකයක් ඉතිරි කළ අවස්ථාවක් වන්නේ 2019 වසරේ පැවැති විස්සයි-20 තරගාවලියයි. එහිදී ප්‍රධාන ක්‍රීඩකයන් කිහිපදෙනකු නොමැති දෙවැනි පෙළ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයට එරෙහිව තරග තුනම ජයගනිමින් තරගාවලිය 3-0ක් ලෙස ජයගත්තේය.
එම පරාජය පාකිස්තානයට තම මව්බිමේදී විස්සයි-20 තරගාවලියක් සම්පූර්ණයෙන්ම පරාජයට පත්වූ සුවිශේෂී අවස්ථාවක් ලෙස සැලකේ. එම ඉතිහාසය මෙවර ශ්‍රී ලංකාවට මානසික ශක්තියක් විය හැකි නමුත්, වත්මන් කණ්ඩායම් සංයුතිය, ක්‍රීඩකයන්ගේ යෝග්‍යතාව සහ තරග තත්ත්වයන් අනුව තරගාවලිය වෙනස්ම අභියෝගයක් වනු ඇත.
රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණය සාමාන්‍යයෙන් ඉහළ ලකුණු සංඛ්‍යා වාර්තා විය හැකි පිටියක් ලෙස සැලකෙන බැවින්, දෙපිලේම පිතිකරුවන්ට ආරම්භයේ සිටම ලකුණු වේගය පවත්වා ගැනීමට සිදුවනු ඇත. එවැනි තත්ත්වයකදී පවර්ප්ලේ පන්දුවාරවල ලකුණු ලබාගැනීම, මැද පන්දුවාරවල කඩුලු ආරක්ෂා කරගැනීම සහ අවසන් පන්දුවාරවලදී ලකුණු වේගය වැඩි කිරීම තරග ප්‍රතිඵලයට තීරණාත්මක වනු ඇත.
එමෙන්ම ඉහළ ලකුණු සංඛ්‍යා වාර්තා වන තරගවලදී පන්දු යවන්නන්ට පීඩනය යටතේ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ද වැදගත් වේ. ඒ අනුව, ශ්‍රී ලංකාවට පාකිස්තාන පිතිකරුවන් පාලනය කිරීමට නම් ආරම්භක පන්දුවාරවලදී කඩුලු ලබාගැනීමත්, අවසන් පන්දුවාරවලදී ලකුණු ලබාදීම සීමා කිරීමත් අත්‍යවශ්‍ය වනු ඇත.
එංගලන්තයේදී ලැබූ පරාජයන්ගෙන් පසුව කණ්ඩායමේ විශ්වාසය යළි ගොඩනඟා ගැනීම, නවක ක්‍රීඩකයන්ගේ දායකත්වය පරීක්ෂා කිරීම සහ ප්‍රධාන ක්‍රීඩකයන් නොමැති තත්ත්වයකදී විකල්ප සංයුතියක් සොයා ගැනීම යන අරමුණු රැසක් සමඟ ශ්‍රී ලංකාව මෙම තරගාවලියට පිවිසෙයි. ඒ අනුව, රාවල්පිණ්ඩිහිදී පැවැත්වෙන තරග තුන කණ්ඩායමේ වත්මන් තත්ත්වය මැන බැලීමටත්, ඉදිරි විස්සයි-20 තරග සඳහා අවශ්‍ය සංයුතිය හා ක්‍රීඩා සැලසුම් තවදුරටත් ශක්තිමත් කරගැනීමටත් වැදගත් වනු ඇත.
මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 6.30 ට ආරම්භවීමට නියමිතය.
ශ්‍රී ලංකා සංචිතය – කුසල් මෙන්ඩිස් (නායක), කමිල් මිශාර , සිනෙත් ජයවර්ධන, ලහිරු උදාර, සහන් ආරච්චිගේ, කමිඳු මෙන්ඩිස්, දසුන් ශානක, චමිඳු වික්‍රමසිංහ, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, විජයකාන්ත් වියස්කාන්ත්, දුෂ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු, නුවන් තුෂාර, එෂාන් මාලිංග.
පාකිස්තානු සංචිතය – සහිබ්සාදා ෆර්හාන් (නායක), අබ්දුල් සමද්, අබ්රාර් අහමඩ් , අරාෆත් මිංහාස්, ෆකාර් සමාන්, හසන් නවාස්, මුහම්මද් ඉම්රාන් රන්දාවා, ක්වාජා නෆේ , මාස් සදාකාත්, නසීම් ෂා, රසාඋල්ලා, සයිම් අයුබ්, මුහම්මද් සල්මාන් මිර්සා, ශඩාබ් ඛාන්, සුෆියාන් මොකීම්.





