අනුබද්ධිත ක්‍රිකට් සාමාජික රටවල ක්‍රිකට් ක්‍රීඩාව සංවර්ධනය සඳහා අඛණ්ඩව සහාය ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ, බහරේන් ක්‍රිකට් කණ්ඩායමට ශ්‍රී ලංකාවේදී පුහුණු කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය ක්‍රීඩා හා පුහුණු පහසුකම් මෙන්ම තරග සංවිධාන සහාය ලබාදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
ඒ අනුව, බහරේන් ක්‍රිකට් කණ්ඩායම 2026 සැප්තැම්බර් 15 වැනිදා සිට ඔක්තෝබර් 1 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටිමින් සිය පුහුණු කටයුතු සිදු කළ අතර, එම කාලය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන ලද විස්සයි20 පුහුණු තරග තුනකටද සහභාගි විය.
බහරේන් කණ්ඩායමේ පුහුණු වැඩසටහන සඳහා ක්‍රීඩාංගණ, ගෘහස්ථ දැල් පුහුණු, පන්දු යැවීමේ යන්ත්‍ර ඇතුළු විවිධ පුහුණු පහසුකම් මෙන්ම පුහුණු තරග පැවැත්වීමට අදාළ අවශ්‍ය පහසුකම් රැසක්ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සපයනු ලැබීය.
ශ්‍රී ලංකාවේ රැඳී සිටි කාලය තුළ බහරේන් කණ්ඩායමට ලබාදුන් සහාය පිළිබඳව සිය කෘතඥතාව පළ කිරීම සඳහා බහරේන් ක්‍රිකට් සම්මේලනයේ සභාපති මොහොමඩ් මන්සූර් මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ගරු සභාපති එරාන් වික්‍රමරත්න මහතා හමුවී සුහද හමුවකටද එක්විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජනාධිපති නීතිඥ සහ ගරු භාණ්ඩාගාරික ඩිනාල් ෆිලිප්ස් මහතා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාද සහභාගි වූහ.
ආශ්‍රිත සාමාජික රටවල ක්‍රිකට් ක්‍රීඩාවේ වර්ධනයට සහ ඔවුන්ගේ ජාතික කණ්ඩායම්වල තරගකාරීත්වය ඉහළ නැංවීමට අවශ්‍ය අවස්ථා සහ පහසුකම් ලබාදීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අඛණ්ඩ සහයෝගීතා වැඩපිළිවෙළේ වැදගත් අංගයක් වේ.
බහරේන් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේදී සිදුකළ මෙම පුහුණු වැඩසටහනද එම සහයෝගීතා වැඩපිළිවෙළේ තවත් එක් පියවරක් ලෙස සැලකේ.





