බංග්ලාදේශයට එරෙහිව ලකුණු 63 ක විශිෂ්ට ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම, ආසියානු ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට අද (03 දා) උදෑසන සමත් විය. ශ්‍රී ලංකා ඉනිම අසීරු අවස්ථාවකින් ගොඩනැගූ තරිඳු රත්නායක පන්දු 32 කින් රැස් කළ වේගවත් ලකුණු 65 සහ පන්දු යැවීමෙන් දවාගත් කඩුලු දෙක, මෙම ජයග්‍රහණයේ කැපී පෙනෙන දායකත්වය බවට පත්විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායමට ආරම්භයේදීම දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවිය. සිව්වැනි පන්දුවාරය අවසන් වන විට ලකුණු 21 කට කඩුලු හතරක් අහිමිව තිබූ ශ්‍රී ලංකා ඉනිමට ජීවය ලබා දුන්නේ නායක සහන් ආරච්චිගේ සහ තරිඳු රත්නායක එක්ව ගොඩනැගූ ප්‍රහාරාත්මක පිතිහරඹයයි. ශ්‍රී ලංකාවේ මුල් පිතිකරුවන් සිව්දෙනාම තනි ඉලක්කමේ ලකුණු සංඛ්‍යාවලට දැවී ගොස් තිබූ අවස්ථාවක මෙම සබඳතාව කණ්ඩායමට මහත් අස්වැසිල්ලක් විය.
පස්වැනි කඩුල්ල වෙනුවෙන් අශේන් බණ්ඩාර සමඟ එක්ව ලකුණු 33 ක සබඳතාවක් ගොඩනැගූ ආරච්චිගේ, අනතුරුව රත්නායක සමඟ එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 46 කදී ලකුණු 93 ක වේගවත් සබඳතාවක් ගොඩනැගීය.
පන්දු 32 කට මුහුණදුන් රත්නායක හයේ පහර පහක් සහ හතරේ පහර හතක් සමඟ ලකුණු 65 ක් රැස් කළේය. ඔහුගේ ප්‍රහාරය හමුවේ බංග්ලාදේශ පන්දු යවන්නන්ට දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුවූ අතර, අවසන් පන්දුවාර පහ තුළ ශ්‍රී ලංකාව ලකුණු 64 ක් රැස් කිරීමට සමත් විය.
පිත්තට අමතරව පන්දුවෙන් ද ශ්‍රී ලංකාව වෙනුවෙන් දායකත්වය ලබාදුන් රත්නායක, බංග්ලාදේශ ඉනිමේ වැදගත් කඩුලු දෙකක් දවාගත්තේය. ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ දක්ෂතා හමුවේ බංග්ලාදේශ පිතිකරණය බිඳ වැටුණු අතර, ඔවුන්ට පන්දුවාර 17.3 කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 102 ක් පමණි.
නුවන් තුෂාර නව පන්දුවෙන් සාර්ථක ආරම්භයක් ලබාගනිමින් සයිෆ් හසන් දවාගත් අතර, රත්නායක තන්සිඩ් හසන් සහ තව්හිඩ් හ්රිදෝයි දවාගනිමින් බංග්ලාදේශයේ පිතිකරණයට තවදුරටත් පීඩනයක් එල්ල කළේය.
අනතුරුව ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ තරගයේ පාලනය සියතට ගත්හ. විජයකාන්ත් වියස්කාන්ත්, වනුජ සහන් සහ නායක සහන් ආරච්චිගේ කඩුලු දවාගනිමින් බංග්ලාදේශයේ අවසන් බලාපොරොත්තු ද බිඳ දැමූහ.
ඒ අනුව ලකුණු 63 ක පහසු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි ක්‍රිකට් ඉසව්වේ ලෝකඩ පදක්කම හිමි විය.
ශ්‍රී ලංකාව – 165/9 (පන්දුවාර 20) – ලසිත් කෲස්පුල්ලේ 02, සිනෙත් ජයවර්ධන 03, සොහාන් ද ලිවේරා 06, නුවනිඳු ප්‍රනාන්දු 01, සහන් ආරච්චිගේ 33, අෂේන් බණ්ඩාර 18, තරිඳු රත්නායක 65, දුෂාන් හේමන්ත 02, වනුජ සහන් 05*, විජයකාන්ත් වියස්කාන්ත් 06, නුවන් තුෂාර 02, මහේදි හසන් 19/2, අලිස් අල් ඉස්ලාම් 18/1, රිෂාද් හොසේන් 46/1, සයිෆ් හසන් 28/2, මුස්තෆිසූර් රහ්මාන් 43/2.
බංග්ලාදේශය – 102 (පන්දුවාර 17.3) – සයිෆ් හසන් 00, තන්සිඩ් හසන් 00, ලිටන් දාස් 00, පර්වේස් හොසේන් එමොන් 20, තව්හිඩ් රිදෝයි 11, යසීර් අලි 21, මහේදි හසන් 00, රිෂාද් හොසේන් 10, අලිස් අල් ඉස්ලාම් 04, නාසුම් අහමඩ් 26, මුස්තෆිසූර් රහ්මාන් 03*, නුවන් තුෂාර 18/2, තරිඳු රත්නායක 18/2, විජයකාන්ත් වියස්කාන්ත් 26/2, වනුජ සහන් 17/2, දුෂාන් හේමන්ත 11/1, සහන් ආරච්චිගේ 9/1.





