slc
logo
Home   |    News
නොවැම්බර් 13, 2026
ජයග්‍රහණය පෙනෙන මානයේදී රාවල්පිණ්ඩි අඳුරේ ගිලෙයි

sinhala editor

පාකිස්තානයේ රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදී පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනයේදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු ඇති කළද, අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් එම උත්සාහය ජයග්‍රහණයකින් කෙළවර කරගැනීමට නොහැකි විය. ඒ අනුව දෙරට අතර පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ අද (13) උදෑසන පාකිස්තාන දෙවැනි ඉනිමේ කඩුලු හතරක් බිඳ හෙළමින් තරගයට අවතීර්ණ වූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සත්කාරක කණ්ඩායම දැඩි පීඩනයකට හසු කළහ. මෙම තරගයේ පළමු දින හතරේදී දිනයේ යැවීමට නියමිත පන්දුවාර සංඛ්‍යාව අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් යැවීමට නොහැකිවීම තරගයේ ප්‍රතිඵලය කෙරෙහි සෘජවම බලපෑ සාධයක බවට පත්විය.

පෙර දිනයේ තරගය නතර කරන විට ලකුණු 57ක් ලබා සිටි පාකිස්තාන කණ්ඩායමේ අසාන් අවයිස් සහ මොහොමඩ් තහා ඉක්මනින්ම ක්‍රීඩාගාරයට හරවා යැවීමට ලහිරු කුමාර සහ අසිත ප්‍රනාන්දු සමත් වූහ.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවට තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම අත්පත් කරගැනීමට තිබූ අවස්ථාවක් කමීඳු මෙන්ඩිස් අතින් ගිලිහී ගියේය. අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට ලකුණු 22ක් ලබා සිටි බාබර් අසාම් ලබාදුන් පහසු උඩපන්දුවක් කමීඳු අතින් ගිලිහී යෑම ශ්‍රී ලංකාවට සිදුවූ අවාසනාවන්ත අතපසුවීමක් විය.

එම අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් බාබර් අසාම් ලකුණු 34ක් රැස් කළද, මිලාන් රත්නායකගේ පන්දු යැවීම හමුවේ කෙටි ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේය. අනතුරුව සල්මන් අගාගේ කඩුල්ලද දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. එම කඩුල්ල කෙටි හතරේ සීමාව අසලදී පසිඳු සූරියබණ්ඩාර රැකගත් විශිෂ්ට උඩපන්දුවකින් සනිටුහන් විය.

දිවා විවේකය වන විට පාකිස්තාන දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 151ක් වූ අතර, ඔවුන්ගේ සමස්ත ඉදිරිය ලකුණු 139කට සීමා වී තිබිණි. එම අවස්ථාවේදී තරගයේ ඉතිරි කාලය තුළ තවත් කඩුලු කිහිපයක් දවාගත හැකි නම් ශ්‍රී ලංකාවට ජයග්‍රහණයක් කරා යෑමේ අවස්ථාවක්ද නිර්මාණය වී තිබිණි.

එහෙත් සවුද් ශකීල් සහ ගාසි ගෝරි එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ උත්සාහයට දැඩි බාධාවක් එල්ල කළහ. ඔවුන් දෙදෙනා එක්ව හයවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92ක සම්බන්ධතාවක් ගොඩනැගීම පාකිස්තානයට තරගය බේරා ගැනීමට මහත් පිටිවහලක් විය.

ගාසි ගෝරි ලකුණු 35ක් ලබා සිටියදී මිලාන් රත්නායකගේ පන්දුවකට දැවී ගිය අතර, අරෆත් මින්හාස් ද සවුද් ශකීල් සමඟ එක්ව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තවදුරටත් අභියෝග කළේය.

සවුද් ශකීල් සිය ඉනිම පුරා දැක්වූ ඉවසීම සහ පිතිකරණයේ විනය හේතුවෙන් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය කරා යෑම තවදුරටත් අසීරු විය. පන්දු 210කට මුහුණ දෙමින් හතරේ පහර හතක් සමඟ ලකුණු 97ක් රැස් කළ ඔහුගේ ඉනිම ලහිරු කුමාරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් අවසන් විය. ඒ වන විට ඔහුට සිය ශතකය සඳහා අවශ්‍යව තිබුණේ තවත් ලකුණු තුනක් පමණි.

අරෆත් මින්හාස් ලකුණු 17කට දැවී යෑමෙන් පසුව පාකිස්තානයේ දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී ලකුණු 284ක් දක්වා ඉදිරියට ගියද, ඒ වන විටත් තරගයේ තීරණයක් ලබාගැනීමට තිබූ අවස්ථාව අයහපත් ආලෝක තත්ත්වය හමුවේ සීමා වී තිබිණි.

අවසානයේ දෙපිලේම ක්‍රීඩකයෝ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කිරීමට එකඟ වූහ.

මෙම තරගයේ විශේෂත්වය වූයේ පළමු ඉනිමේදී පාකිස්තානය ලකුණු 434කට සීමා කළ ශ්‍රී ලංකාව, ධනංජය ද සිල්වාගේ ලකුණු 167 සහ කුසල් මෙන්ඩිස්ගේ ලකුණු 119 මත ගොඩනැගුණු ලකුණු 446ක ඉනිම සමඟින් ලකුණු 12ක පළමු ඉනිමේ වාසියක්ද ලබාගැනීමයි.

දෙවැනි ඉනිමේදීද පාකිස්තානය දැඩි පීඩනයකට හසු කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වූහ. මිලාන් රත්නායක කඩුලු 3ක් දවාගත් අතර, අසිත ප්‍රනාන්දු සහ ලහිරු කුමාර කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.

පාකිස්තානය පළමු ඉනිම පන්දුවාර 106.3 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 434 යි – අසාන් අවයිස් 30, ටයියාබ් අරීෆ් 57, මොහොමඩ් තහා 51, බාබර් අසාම් 50, සෞද් ශඛීල් 93, සල්මන් අඝා 16, ගාසී ඝෝරී 48, අර්ෆට් මින්හාස් 52, රසාමුල්ලා 10, අසිත ප්‍රනාන්දු 107/3, ඩිල්ෂාන් මදුශංක 108/3, මිලාන් රත්නායක 72/1, සොනාල් දිනූෂ 23/1, ළහිරු කුමාර 104/1)

ශ්‍රී ලංකාව පළමු ඉනිම පන්දුවාර 117.2 කදී  ලකුණු 446 යි – ළහිරු උදාර 42, පසිඳු සූරියබණ්ඩාර 00, දිනේෂ් චන්දිමාල් 01, කමිඳු මෙන්ඩිස් 58, ධනංජය ද සිල්වා 167, කුසල් මෙන්ඩිස් 119*, සොනාල් දිනූෂ 20, මිලාන් රත්නායක 12, ළහිරු කුමාර 00, අසිත ප්‍රනාන්දු 04, ඩිල්ෂාන් මදුශංක 00*,  සඛීබ් ඛාන් 130/7, මොහොමඩ් අබ්බාස් 68/2, රාසාවුල්ලා 140/1)

පාකිස්තානය දෙවැනි ඉනිම පන්දුවාර 84ග5 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 284 යි – අසාන් අවයිස් 22, ටයියාබ් අරීෆ් 11, මොහොමඩ් ටහා 24, බාබර් අසාම් 34, සෞද් ශඛීල් 97, සල්මන් අඝා 13, ගාසි ඝෝරි 35, අර්ෆත් මින්හාස් 16, අසිත ප්‍රනාන්දු 35/2, ළහිරු කුමාර 65/2, මිලාන් රත්නායක 47/3, ධනංජය ද සිල්වා 25/1)

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar