slc
logo
Home   |    News
නොවැම්බර් 1, 2026
කමිඳුගේ ශතකය අපතේ යවමින් තුන්කොන් ජය පාකිස්තානයට

sinhala editor

ෆකාර්ගේ ශතකය සහ අරෆත්ගේ ප්‍රහාරයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 3ක පරාජයක්

එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ අවසන් මහා තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹා ගොස් ජයග්‍රහණය කළ කණ්ඩායම් අතරට එක් වෙමින් පාකිස්තානය තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සමත් විය. ඒ ලාහෝර්හි ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (31) රාත්‍රියේ පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 3කින් පරාජය කරමිනි.

ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දෙමින් කඩුලු 8ක් දැවී ලකුණු 325ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානය පන්දු 9ක් ඉතිරිව තිබියදී කඩුලු 7ක් දැවී ලකුණු 331ක් ලබා ගනිමින් ජයග්‍රහණය තහවුරු කළේය.

මෙම ජයග්‍රහණයත් සමඟ එක්දින අවසන් මහා තරගයකදී ලකුණු 326ක ඉලක්කයක් හඹා ගොස් ජයග්‍රහණය කළ පාකිස්තානය, එම තරග ආකෘතියේ අවසන් තරගයකදී වාර්තා වූ ඉහළම සාර්ථක ලකුණු හඹා යෑමේ වාර්තාවට සම හිමිකාරීත්වය ලබා ගත්තේය.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ 2002 වසරේ ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී එංගලන්තය ලබා ගත් ලකුණු 325ක ඉලක්කය හඹා ගොස් කඩුලු 8කින් ජයගත් ඉන්දියාවයි.

කාසියේ වාසිය දිනා ගත් පාකිස්තාන නායක ෂහීන් ෂා අෆ්රිඩි පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා දුන්නේය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු සහ කමිඳු මෙන්ඩිස් පළමු කඩුල්ලට පන්දු 104කදී ලකුණු 87ක් එක් කරමින් සාර්ථක ආරම්භයක් ලබා දුන්හ.

අවිශ්ක පන්දු 49කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 38ක් ලබා සිටියදී දැවී ගියේය. අනතුරුව පිටියට පිවිසි නායක කුසල් මෙන්ඩිස්ට ලබා ගත හැකි වූයේ ලකුණු 8ක් පමණි. ඒ වන විට ශ්‍රී ලංකා ඉනිම කඩුලු 2ක් දැවී ලකුණු 109ක් ලෙස සටහන් විය.

එහෙත් කමිඳු මෙන්ඩිස් සහ පවන් රත්නායක එක්ව තෙවැනි කඩුල්ලට පන්දු 118කදී ලකුණු 146ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළහ.

එහිදී කමිඳු මෙන්ඩිස් සිය එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 37 වැනි තරගයේදී මංගල ශතකය වාර්තා කළේය. පන්දු 128කට මුහුණ දුන් ඔහු හතරේ පහර 12ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 131ක් ලබා ගත්තේය.

කමිඳුගේ ඉනිම නිමා වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 255ක් ලෙස සටහන් වූ අතර, එය පාකිස්තාන පන්දු යවන්නන්ට එරෙහිව ශ්‍රී ලංකාවට ශක්තිමත් ස්ථානයක් ලබා දුන්නේය.

අනෙක් අන්තයෙන් සිය පිතිකරණ දක්ෂතා ප්‍රදර්ශනය කළ පවන් රත්නායක පන්දු 65කදී හතරේ පහර 8ක් සමඟ ලකුණු 77ක් ලබා ගත්තේය. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ දෙවැනි අර්ධ ශතකයයි.

කමිඳු සහ පවන් ගොඩනැඟූ ශක්තිමත් සබඳතාවයෙන් පසුව ශ්‍රී ලංකා ඉනිමේ අවසන් පන්දුවාරවලදී පාකිස්තාන පන්දු යවන්නෝ යළි තරගයට අවතීර්ණ වූහ.

පසුපෙළින් දසුන් ශානක පන්දු 9කදී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 17ක් ලබා ගත් අතර, සහන් ආරච්චිගේ පන්දු 12කදී හතරේ පහර 2ක් සමඟ ලකුණු 15ක් රැස් කළේය.

ජනිත් ලියනගේ ලකුණු 6කට සහ දුනිත් වෙල්ලාලගේ ලකුණු 3කට සීමා වූ අතර, මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 9ක් සහ අසිත ප්‍රනාන්දු නොදැවී ලකුණු 6ක් ලබා ගත්හ.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට ලකුණු 325ක් රැස් කර තිබුණද, අවසන් පන්දුවාර කිහිපයේදී කඩුලු රැසක් අහිමි වීම නිසා තවත් ලකුණු ලබා ගැනීමේ අවස්ථාව ගිලිහී ගියේය.

පාකිස්තානය වෙනුවෙන් සල්මාන් අගා, ෂහීන් ෂා අෆ්රිඩි, හාරිස් රවුෆ් සහ නසීම් ෂා කඩුලු 2 බැගින් දවා ගත්හ.

ලකුණු 326ක ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි පාකිස්තාන කණ්ඩායමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ඉඩ නොදුන්හ.

ඩිල්ශාන් මදුශංක පළමු පන්දුවාර කිහිපයේදී මසා සදාකත් සහ බාබර් අසාම් දවා ගනිමින් පාකිස්තානය ලකුණු 14කට කඩුලු 2ක් බවට පත් කළේය.

එහෙත් එම අසීරු තත්ත්වයෙන් පාකිස්තානය ගලවා ගැනීමට ෆකාර් සමාන් සහ සාද් බේග් සමත් වූහ. ඔවුන් තෙවැනි කඩුල්ලට පන්දු 140කදී ලකුණු 149ක සබඳතාවක් ගොඩනැඟූහ.

සාද් බේග් පන්දු 75කදී හතරේ පහර 11ක් සමඟ ලකුණු 74ක් ලබා දැවී ගියේය. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ හොඳම ඉනිම විය.

අනෙක් අන්තයෙන් ප්‍රහාරාත්මක පිතිකරණයක නිරත වූ ෆකාර් සමාන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි පීඩනයක් එල්ල කළේය.

ඔහු පන්දු 99කදී හතරේ පහර 11ක් සහ හයේ පහර 6ක් සමඟ ලකුණු 127ක් රැස් කළේය. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 12 වැනි ශතකය වූ අතර, එම ඉනිමත් සමඟ ඔහු එක්දින ජාත්‍යන්තර ලකුණු 4000 සීමාව ද පසු කළේය.

සල්මාන් අගා සමඟ සිව්වැනි කඩුල්ලට පන්දු 29කදී ලකුණු 41ක් එක් කළ ෆකාර්ගේ දැවී යෑමෙන් පසුව පාකිස්තානයේ ජයග්‍රාහී ගමන තරමක් මන්දගාමී විය. සල්මාන් අගා ලකුණු 17කට දැවී ගියේය.

පාකිස්තානයේ ජයග්‍රහණය තහවුරු කිරීම සඳහා හසන් නවාස් සහ අරෆත් මින්හාස් එක්ව හයවැනි කඩුල්ලට පන්දු 65කදී ලකුණු 94ක සබඳතාවක් ගොඩනැඟූහ.

අරෆත් මින්හාස් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් පන්දු 31කදී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟ ලකුණු 61ක් ලබා ගත්තේය. එය ඔහුගේ එක්දින ජාත්‍යන්තර තරග දිවියේ හොඳම ඉනිම විය.

ජයග්‍රහණයට අවශ්‍ය ලකුණු සංඛ්‍යාව අඩු වෙද්දී අරෆත්ගේ දැවී යෑමෙන් තරගය යළිත් උණුසුම් විය. එහෙත් හසන් නවාස් නොදැවී ලකුණු 37ක් ලබා ගනිමින් පාකිස්තානය ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

අවසන් පන්දුවාර කිහිපයේදී පාකිස්තානයට තවත් කඩුලු කිහිපයක් අහිමි වූ නමුත්, ෂහීන් ෂා අෆ්රිඩිගේ ප්‍රහාරාත්මක අවසන් පහර සමඟින් ඔවුන් තරගය ජය ගත්තේ පන්දු 9ක් ඉතිරිව තිබියදීය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිල්ශාන් මදුශංක ලකුණු 63කට කඩුලු 3ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළේය. අසිත ප්‍රනාන්දු ලකුණු 72කට කඩුලු 2ක් දවා ගත් අතර, මහීෂ් තීක්ෂණ සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ල බැගින් දවා ගත්හ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව – කඩුලු 8ක් දැවී ලකුණු 325 (පන්දුවාර 50)

කමිඳු මෙන්ඩිස් 131, පවන් රත්නායක 77, අවිශ්ක ප්‍රනාන්දු 38, දසුන් ශානක 17, සහන් ආරච්චිගේ 15, මහීෂ් තීක්ෂණ නොදැවී 9, කුසල් මෙන්ඩිස් 8, අසිත ප්‍රනාන්දු නොදැවී 6, ජනිත් ලියනගේ 6, දුනිත් වෙල්ලාලගේ 03, ෂහීන් ෂා අෆ්රිඩි 50/2, නසීම් ෂා 80/2, සල්මාන් අගා 44/2, හාරිස් රවුෆ් 60/2.

පාකිස්තානය – කඩුලු 7ක් දැවී ලකුණු 331 (පන්දුවාර 48.3)

ෆකාර් සමාන් 127, සාද් බේග් 74, අරෆත් මින්හාස් 61, හසන් නවාස් නොදැවී 37, සල්මාන් අගා 17, ඩිල්ශාන් මදුශංක 63/3, අසිත ප්‍රනාන්දු 72/2.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee