හොංකොංහිදී පැවැති හොංකොං සික්සස් ක්‍රිකට් තරගාවලියේ සිය අවසන් තරගයට එක් වූ ශ්‍රී ලංකා කණ්ඩායමට සත් වැනි සහ අට වැනි ස්ථාන තීරණය කිරීමේ තරගයේදී සත්කාරක හොංකොං කණ්ඩායම හමුවේ ලකුණු 1ක තියුණු පරාජයක් අත්විඳීමට අද (01 දා) සිදු විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 120ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 6 අවසානයේ කඩුලු 4ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 118ක් පමණි.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමේදී මුදිත ලක්ෂාන් පන්දු 17කින් නොදැවී ලකුණු 58ක් රැස්කරමින් විශිෂ්ට පිතිහරඹයක නිරත විය. හයේ පහර 6ක් සහ හතරේ පහර 4ක් ඇතුළත් වූ ඔහුගේ ඉනිමට සංගීත් කුරේගෙන් ද නොදැවී ලකුණු 24ක දායකත්වයක් හිමි විය. සචිත ජයතිලක පන්දු 5කින් ලකුණු 18ක් රැස් කළේය.
ඊට පෙර පළමුව පන්දුවට පහර දුන් හොංකොං කණ්ඩායම පන්දුවාර 6 අවසානයේ කඩුල්ලක් දැවී ලකුණු 119ක් රැස් කළේය. එහිදී අන්ෂුමන් රත් පන්දු 17කින් ලකුණු 51ක් ද, බාබර් හයාත් පන්දු 16කින් නොදැවී ලකුණු 44ක් ද රැස් කළහ.
මේ අතර තරගාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට ඇෆ්ගනිස්තාන කණ්ඩායම සමත් වූයේ අවසන් මහා තරගයේදී ඕස්ට්‍රේලියාව කඩුලු 4කින් පරාජය කරමිනි. පළමුව පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව පන්දුවාර 6 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 115ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඇෆ්ගනිස්තානය පන්දුවාර 5.1කදී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රහණය සම්පූර්ණ කළේය. එහිදී ඉම්රාන් මිර් පන්දු 14කින් නොදැවී ලකුණු 53ක් රැස්කරමින් ඇෆ්ගනිස්තාන ජයග්‍රහණයේ ප්‍රධාන නියමුවා විය.
තරගාවලියේ සෙසු ශූරතා අතරින් පාකිස්තානය ඕමානය ලකුණු 18කින් පරාජය කරමින් ප්ලේට් ශූරතාව දිනාගත් අතර, දකුණු අප්‍රිකාව එංගලන්තය කඩුලු 5කින් පරාජය කරමින් බෝල් ශූරතාව හිමිකර ගත්තේය. තුන්වැනි ස්ථානය සඳහා පැවැති තරගයේදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය ලකුණු 45කින් පරාජය කළ ස්කොට්ලන්තය එම ස්ථානය දිනාගත්තේය.
ඒ අනුව තරගාවලියේ අවසන් දිනයේ පැවැති ස්ථාන තීරණය කිරීමේ තරගයෙන් ද පරාජයට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට මෙවර හොංකොං සික්සස් තරගාවලිය අටවැනි ස්ථානයෙන් අවසන් කිරීමට සිදු විය.
හොංකොං – 119/1 (පන්දුවාර 6යි) – අන්ෂුමන් රත් 51, බාබර් හයාත් නොදැවී 44.
ශ්‍රී ලංකාව – 118/4 (පන්දුවාර 6යි) – මුදිත ලක්ෂාන් නොදැවී 58, සංගීත් කුරේ නොදැවී 24, සචිත ජයතිලක 18.




