ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් ක්‍රිකට් තරගාවලියේ (Asia Cup Rising Stars) ‘ඒ’ කාණ්ඩය යටතේ හොං කොං කණ්ඩායමට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 24ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අද (21) සමත් විය. දෝහාහිදී පැවැති මෙම තරගයේදී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 284ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හොං කොං කණ්ඩායමට පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 260ක් පමණි.
ශ්‍රී ලංකා ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් ලසිත් කෲස්පුල්ලේ පන්දු 70කදී හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 75ක් රැස් කළේය. නිශාන් මදුෂ්ක පන්දු 83කදී ලකුණු 64ක් ලබාගත් අතර, නායක පවන් රත්නායක පන්දු 50කදී ලකුණු 51ක් රැස් කළේය. ඉනිමේ අවසන් භාගයේදී වේගවත් පිතිහරඹයක නිරත වූ ජනිත් ලියනගේ පන්දු 33කින් ලකුණු 52ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ඉහළ නැංවීමට දායක විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය.
ලකුණු 285ක ඉලක්කයක් හඹා ගිය හොං කොං කණ්ඩායම වෙනුවෙන් බාබර් හයාත් ලකුණු 86ක් සහ අන්ෂි රත් ලකුණු 75ක් ලබාගනිමින් සටනක් දියත් කළහ. එහෙත් ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ අවශ්‍ය වේගය පවත්වා ගැනීමට නොහැකි වූ හොං කොං කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 260ක් පමණි.
ශ්‍රී ලංකා පන්දු යැවීමේදී දුලාජ් සමදිත් කඩුලු 3ක් දවාගත් අතර, විජයකාන්ත් වියස්කාන්ත් සහ වනුජ සහන් කඩුලු 2 බැගින් බිඳහෙළූහ. මෙම දක්ෂතා හමුවේ තරගයේ වීරයා සම්මානය ලසිත් කෲස්පුල්ලේට හිමිවිය.
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම – 284/9 (පන්දුවාර 50) – ලසිත් කෲස්පුල්ලේ 75, නිශාන් මදුෂ්ක 64, ජනිත් ලියනගේ 52, පවන් රත්නායක 51, නිපුන් ධනංජය 27, අයිසාස් ඛාන් 61/3, එහ්සාන් ඛාන් 41/2
හොං කොං කණ්ඩායම – 260/9 (පන්දුවාර 50) – බාබර් හයාත් 86, අන්ෂි රත් 75, අයිසාස් ඛාන් 29, අබ්දුල් සමද් 21, දුලාජ් සමදිත් 33/3, විජයකාන්ත් වියස්කාන්ත් 43/2, වනුජ සහන් 44/2





