slc
logo
Home   |    News
නොවැම්බර් 6, 2026
ග්‍රැහැම් ලැබ්‍රෝයිගේ තරග තීරක දිවියේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක්

sinhala editor

ශ්‍රී ලංකාව නියෝජනය කළ හිටපු වේග පන්දු යවන්නකු වන ග්‍රැහැම් ලැබ්‍රෝයි ජාත්‍යන්තර ක්‍රිකට් තරග තීරකවරයකු ලෙස සිය වෘත්තීය දිවියේ තවත් වැදගත් සන්ධිස්ථානයකට පිවිස තිබේ. ඒ, ඇෆ්ගනිස්තානය සහ සිම්බාබ්වේ අතර නොවැම්බර් 5 වැනිදා සාජාහිදී ආරම්භ වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තරග තීරකවරයා ලෙස කටයුතු කිරීමත් සමඟිනි. 2026 නොවැම්බර් 05 සිට 09 දක්වා පැවැත්වෙන මෙම තරගය ඔහු ටෙස්ට් තරග තීරකවරයකු ලෙස කටයුතු කරන පළමු අවස්ථාව වේ.

1964 ජුනි 7 වැනිදා කොළඹදී උපත ලැබූ ලැබ්‍රෝයි මීගමුව මාරිස් ස්ටෙලා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට පිවිසි අතර, දකුණත් වේග පන්දු යවන්නකු ලෙස ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළේය. 1986 වසරේ ඉන්දියාවට එරෙහිව කාන්පූර්හිදී ටෙස්ට් වරම් දිනාගත් ඔහු 1992 වසර දක්වා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ රැඳී සිටියේය.

ඔහුගේ ජාත්‍යන්තර ක්‍රීඩා දිවිය තුළ ටෙස්ට් තරග 9කට සහ එක්දින ජාත්‍යන්තර තරග 44කට ක්‍රීඩා කරමින් පිළිවෙළින් කඩුලු 27ක් සහ 45ක් බිඳහෙළීමට සමත් විය. ටෙස්ට් පිටියේ ඔහුගේ හොඳම පන්දු යැවීම ලකුණු 133කට කඩුලු 5ක් වූ අතර, නවසීලන්තයට එරෙහිව 1991 වසරේ ඕක්ලන්ඩ්හිදී නොදැවී ලකුණු 70ක් රැස් කිරීම ද ඔහුගේ ක්‍රීඩා දිවියේ කැපී පෙනෙන දක්ෂතාවකි. විශේෂත්වය වන්නේ ඔහු ක්‍රීඩා කළ ටෙස්ට් තරග නවයම ශ්‍රී ලංකාවෙන් පිටතදී පැවැත්වීමයි.

ක්‍රීඩකයකු ලෙස සිය ජාත්‍යන්තර දිවිය නිමා කිරීමෙන් පසුව තරග තීරකවරයකු ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට එක්වූ ලැබ්‍රෝයි 2010 වසරේදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක මණ්ඩලයට එක්විය. එතැන් සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ විවිධ තරගාවලි රැසක තරග තීරකවරයකු ලෙස කටයුතු කර ඇති ඔහු, 2026 වසරේ ජනවාරි මාසය වන විට පිරිමි එක්දින හා විස්සයි-20 ජාත්‍යන්තර තරග 140කට සහ කාන්තා එක්දින හා විස්සයි-20 ජාත්‍යන්තර තරග 150කට තරග තීරකවරයකු ලෙස දායක වී තිබිණි.

මීට අමතරව, 2017 වසරේදී ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ද කටයුතු කළ ලැබ්‍රෝයි, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ පරිපාලනමය වශයෙන් ද වැදගත් භූමිකාවක් ඉටු කළ අයෙකි.

ක්‍රීඩකයකු, ජාත්‍යන්තර තරග තීරකවරයකු සහ ජාතික තේරීම් කමිටු ප්‍රධානියකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට දායකත්වය ලබාදුන් ග්‍රැහැම් ලැබ්‍රෝයිගේ මෙම නව සන්ධිස්ථානය ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයට ද ආඩම්බර විය හැකි අවස්ථාවකි.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar