slc
logo
Home   |    News
නොවැම්බර් 6, 2026
ශ්‍රී ලංකා පොඩ්ඩෝ මැලේසියාව පරදා ජයග්‍රාහීව ආසියානු කුසලාන ගමන අරඹති

sinhala editor

කෞෂිකගෙන් කඩුලු 5ක් – රෙහාන්ගෙන් නොදැවී අර්ධ ශතකයක්

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ජයග්‍රාහීව ආරම්භ කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ අද (5) සමත් වූහ. ඕමානයේ පැවැත්වෙන තරගාවලියේ ආරම්භක තරගයේදී මැලේසියානු කණ්ඩායම කඩුලු 9කින් පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තරගයේ තවත් පන්දු 217ක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය වාර්තා කළහ.

අල් අමරත් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට ශ්‍රී ලංකා නායක විරාන් චමුදිත තීරණය කළේය. ඒ අනුව පිටියට පිවිසි මැලේසියානු යොවුන් කණ්ඩායමට පන්දුවාර 28.1කදී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 88ක් පමණි.

මැලේසියානු ඉනිම අඩපණ කළ දකුණතින් මඳ වේග පන්දු යවන කෞෂික කුමාරසිංහ ලකුණු 30කට කඩුලු 5ක් දවා ගනිමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත විය. ඔහුට අනගි සහායක් ලබා දුන් විග්නේශ්වරන් ආකාශ් ලකුණු 7කට කඩුලු 3ක් බිඳ හෙළීය. චනිරු සේනාරත්න ද එක් කඩුල්ලක් දවා ගත්තේය.

මැලේසියානු ඉනිමේ කැපී පෙනුණු එකම පිතිකරු වූයේ ආරම්භක පිතිකරු සයමිල් අකිල්ය. ඔහු පන්දු 50කදී හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් රැස් කළේය. දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55කදී ලකුණු 52ක සබඳතාවක් ගොඩනැගීමට සයමිල් අකිල් සහ ෆිරාෂ් තකියුදීන් සමත් වූ නමුත්, ඉන් අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ මැලේසියානු ඉනිම වේගයෙන් බිඳ වැටුණි. අවසන් කඩුලු 8 ලකුණු 19ක් තුළ දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

ලකුණු 89ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයන්ට ආරම්භයේදීම නායක විරාන් චමුදිතගේ කඩුල්ල අහිමි වුවද, එය ජයග්‍රහණයට බාධාවක් වූයේ නැත.

දෙවැනි කඩුල්ල වෙනුවෙන් එක් වූ රෙහාන් පීරිස් සහ සෙනුජ වැකුණගොඩ නොදැවුණු ලකුණු 91ක සබඳතාවක් ගොඩනඟමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා රැගෙන ගියහ.

එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ රෙහාන් පීරිස් පන්දු 45කදී හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 54ක් රැස් කළේය. ඔහුට අනගි සහායක් ලබා දුන් සෙනුජ වැකුණගොඩ පන්දු 35කදී හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා ගත්තේය.

මෙම ජයග්‍රහණයත් සමඟින් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායමට තරගාවලියේ සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වූ අතර, ඔවුන්ගේ මීළඟ අවධානය යොමු වනුයේ ඉදිරි තරගවලදී ද මෙම දක්ෂතා අඛණ්ඩව පවත්වා ගැනීම කෙරෙහිය.

ලකුණු සාරාංශය

මැලේසියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලු දෙනා දැවී 88 (පන්දුවාර 28.1)
සයමිල් අකිල් 51, කෞෂික කුමාරසිංහ 5/30, විග්නේශ්වරන් ආකාශ් 3/7.

ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුල්ලක් දැවී 91 (පන්දුවාර 13.5)
රෙහාන් පීරිස් නොදැවී 54, සෙනුජ වැකුණගොඩ නොදැවී 30.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee