slc
logo
Home   |    News
නොවැම්බර් 6, 2026
ශ්‍රී ලංකාව ලකුණු 193කින් ඉදිරියෙන්

sinhala editor

අංජල, මිලාන් සහ සොනාල් දෙවැනි ඉනිමේදීත් පිත්තෙන් දස්කම් දක්වති

පාකිස්තාන සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තුන් දින පුහුණු තරගයේ දෙවැනි දිනය (5) නිමා වන විට සත්කාරක පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුග්‍රාහක කණ්ඩායමට වඩා ලකුණු 193ක ඉදිරියක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත්ව සිටියහ.

ඉස්ලාමාබාද්හි ඉස්ලාමාබාද් ක්ලබ් ක්‍රිකට් ඕවල් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකාව කඩුලු 7ක් දැවී ලකුණු 223ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීය. ඊට පිළිතුරු ලෙස පාකිස්තාන කණ්ඩායමට සිය පළමු ඉනිමට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 8ක් දැවී ලකුණු 151ක් පමණි.

ඒ අනුව ලකුණු 72ක පළමු ඉනිමේ වාසියක් සමඟින් දෙවැනි ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 6ක් දැවී ලකුණු 121ක් ලබා සිටියේය.

පාකිස්තාන පළමු ඉනිමේදී අර්ධ ශතකයක් වාර්තා කළ අසාන් අවයිස් පන්දු 85කදී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 50ක් රැස් කළේය. මොහොමඩ් තහා ලකුණු 29ක් සහ තායබ් අරිෆ් ලකුණු 30ක් ලබා ගත්හ.

පන්දු යැවීමේදී ලහිරු කුමාර, මිලාන් රත්නායක සහ දිල්ෂාන් මදුශංක කඩුලු 2 බැගින් දවා ගත් අතර ප්‍රභාත් ජයසූරිය සහ කේසර නුවන්ත එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

දෙවැනි ඉනිම වෙනුවෙන් පිත්තෙන් දායකත්වය ලබා දුන් අංජල බණ්ඩාර පන්දු 56කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 34ක් රැස් කළේය. මිලාන් රත්නායක පන්දු 41කදී හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා සිටින අතර සොනාල් දිනූෂ පන්දු 58කදී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ලබා ගත්තේය.

ආරම්භක පිතිකරු ලහිරු උදාර ලකුණු 15ක් සහ පසිඳු සූරියබණ්ඩාර ලකුණු 14ක් ලබා ගත්හ. පළමු ඉනිමේ අර්ධ ශතකයක් වාර්තා කළ නායක කුසල් මෙන්ඩිස්ට දෙවැනි ඉනිමේදී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 3ක් පමණි. දිනේෂ් චන්දිමාල්ට මෙවර ද ලකුණු අතරට පැමිණීමට හැකි වූයේ නැත.

පාකිස්තානය වෙනුවෙන් පන්දු යැවීමේදී ෂොයිබ් අක්තාර් ලකුණු 22කට කඩුලු 3ක් දවා ගත් අතර උබයිඩ් ෂා සහ සකීබ් ඛාන් එක් කඩුල්ල බැගින් දවා ගත්හ.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකාව – පළමු ඉනිම කඩුලු 7ක් දැවී 223 (පන්දුවාර 58)
ලහිරු උදාර 65, කුසල් මෙන්ඩිස් 66, අංජල බණ්ඩාර නොදැවී 33, සකීබ් ඛාන් 2/28, මොහොමඩ් සල්මාන් 2/52, අලි ෂබීර් 2/28.

පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුග්‍රාහක කණ්ඩායම – පළමු ඉනිම කඩුලු 8ක් දැවී 151 (පන්දුවාර 47)
අසාන් අවයිස් 50, මොහොමඩ් තහා 29, තායබ් අරිෆ් 30, ලහිරු කුමාර 2/16, දිල්ෂාන් මදුශංක 2/32, මිලාන් රත්නායක 2/24.

ශ්‍රී ලංකාව – දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 121 (පන්දුවාර 38)
අංජල බණ්ඩාර 34, මිලාන් රත්නායක නොදැවී 27, සොනාල් දිනූෂ 22, ලහිරු උදාර 15, පසිඳු සූරියබණ්ඩාර 14, ෂොයිබ් අක්තාර් 3/22.

ශ්‍රී ලංකාව ලකුණු 193කින් ඉදිරියෙන්.

තරගයේ තෙවැනි සහ අවසන් දිනය හෙට (6) පැවැත්වීමට නියමිතය.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar