slc
logo
Home   |    News
නොවැම්බර් 6, 2026
පවන් රත්නායක ලොව හොඳම එක්දින පිතිකරුවන් 16 දෙනා අතරට

sinhala editor

පාකිස්තාන තුන්කොන් තරගාවලියේ ලකුණු 427 ක් රැස්කරමින් දැක්වූ දක්ෂතා හේතුවෙන් ස්ථාන 20 ක් ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිකුත් කළ නවතම ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ නැගී එන පිතිකරු පවන් රත්නායක එක්දින ජාත්‍යන්තර පිතිකරුවන් අතර ස්ථාන 20 ක් ඉදිරියට පැමිණෙමින් ලොව හොඳම පිතිකරුවන් 16 දෙනා අතරට එක්වීමට සමත්ව සිටියි.

පාකිස්තානයේදී නිමාවට පත්වූ තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේදී පිත්තෙන් දැක්වූ විශිෂ්ට දක්ෂතා මෙම ඉදිරි ගමනට ප්‍රධාන වශයෙන් හේතු වී තිබේ. තරගාවලියේ තරග පහකට සහභාගි වූ පවන් ලකුණු 427 ක් රැස්කරමින් එහි වැඩිම ලකුණු ලාභියා බවට පත්වූයේ ශතක දෙකක් සහ අර්ධ ශතක දෙකක් ද සමඟිනි. ඔහුගේ ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 106.75 ක් වූ අතර ප්‍රහාරාත්මක වේගය 122.70 ක් ලෙස සටහන් විය.

එංගලන්තයට එරෙහිව රාවල්පිණ්ඩිහිදී පැවැති තරගයේදී පන්දු 106 කින් ලකුණු 130 ක් රැස්කළ පවන්, එම කණ්ඩායමට එරෙහිවම ලාහෝර්හිදී පැවැති තවත් තරගයකදී පන්දු 77 කින් ලකුණු 118 ක් රැස් කළේය. අනතුරුව පාකිස්තානයට එරෙහිව අවසන් මහා තරගයේදී ද පන්දු 65 කින් ලකුණු 77 ක් රැස්කරමින් සිය දක්ෂතා අඛණ්ඩව පවත්වා ගැනීමට ඔහු සමත් විය.

එමෙන්ම තරගාවලියේ ආරම්භක තරගයේදී පාකිස්තානයට එරෙහිව ලකුණු 79 ක් රැස්කළ පවන්, එංගලන්තයට එරෙහි තවත් තරගයකදී නොදැවී ලකුණු 23 ක් ලබාගත්තේය. ඒ අනුව තරගාවලියේ ඉනිම් පහේදීම ලකුණු අතර සිටීමට ඔහු සමත් වීම විශේෂත්වයකි.

මහනම විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි 24 හැවිරිදි දකුණත් පිතිකරුවකු වන පවන් රත්නායක පළමු පෙළ ක්‍රිකට් පිටියට පිවිසියේ 2019 වසරේදී ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමිනි. පසුව කොළඹ ක්‍රිකට් සමාජය නියෝජනය කළ ඔහු, දේශීය ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ජාතික කණ්ඩායමේ දොරටු විවෘත කරගත්තේය.

2025 නොවැම්බර් මාසයේදී පාකිස්තානයට එරෙහිව රාවල්පිණ්ඩිහිදී එක්දින ජාත්‍යන්තර වරම් දිනාගත් පවන්, 2026 ජනවාරි මාසයේදී එංගලන්තයට එරෙහිව සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළේය. එම තරගයේදී ලකුණු 121 ක් රැස්කළ ඔහු මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 14 කදී ලකුණු 724 ක් රැස්කරගෙන සිටින අතර, ශතක තුනක් සහ අර්ධ ශතක දෙකක් ඊට ඇතුළත්ය.

මේ අතර, එක්දින පිතිකරුවන් අතර එංගලන්තයේ බෙන් ඩකට් එක් ස්ථානයක් ඉදිරියට පැමිණ හයවැනි ස්ථානයට පත්ව ඇති අතර පාකිස්තානයේ ෆකාර් සමාන් ස්ථාන නවයක් ඉදිරියට පැමිණ 37 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.

ශ්‍රී ලංකාවට එරෙහිව තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගයේදී පන්දු 99 කින් ලකුණු 127 ක් රැස්කළ ෆකාර් සමාන්ගේ දක්ෂතාව ද මෙම ශ්‍රේණිගත කිරීම් ඉහළ යෑමට හේතු වී තිබේ.

මේ අතර, ටෙස්ට් පන්දු යවන්නන් අතර ඕස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටාක් යළිත් ලොව අංක එකේ ස්ථානයට පත්ව සිටින අතර, දකුණු අප්‍රිකාවේ මාර්කෝ යැන්සන් දෙවැනි ස්ථානයට ඇද වැටී තිබේ.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee