slc
logo
Home   |    News
නොවැම්බර් 13, 2026
විශ්මිගේ පිත්තෙන් ශ්‍රී ලංකාවට තවත් ජයක්

sinhala editor

විශ්මි ගුණරත්නගේ සටන්කාමී පිතිහරඹය හමුවේ ස්කොට්ලන්තය කඩුලු 4කින් පරාජය කළ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම, අයි.සී.සී. නැගී එන කාන්තා කුසලාන ක්‍රිකට් තරගාවලියේ පිට පිටම තවත් ජයග්‍රහණයක් අද (13 දා) වාර්තා කළේය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අජ්මාන්හිදී අද (13) පැවැති ‘ඒ’ කාණ්ඩයේ තරගයෙන් ජයග්‍රහණය සඳහා ලකුණු 112ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ පන්දුවාර 18.1කදී කඩුලු 6ක් දැවී ලකුණු 115ක් රැස් කරමින් තරගය ජය ගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභිනිය වූ විශ්මි ගුණරත්න පන්දු 41කදී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 49ක් රැස් කළාය. අර්ධ ශතකය පෙනි පෙනී දැවී ගියද, ශ්‍රී ලංකා ජයග්‍රහණයට අවශ්‍ය ශක්තිමත් පදනම දැමීමට ඇය සමත් වූවාය. ඇයගේ දක්ෂතාව වෙනුවෙන් තරගයේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය ද හිමි විය.

නායිකා හර්ෂිතා සමරවික්‍රම පන්දු 26කදී ලකුණු 24ක් රැස් කරමින් විශ්මිට අනගි සහායක් ලබා දුන්නාය. ඉමේෂා දුලානි ලකුණු 16ක් රැස් කළ අතර, නොදැවී ලකුණු 16ක් ලබාගත් කෞෂිනී නුත්‍යාංගනා ශ්‍රී ලංකා ජයග්‍රහණය තහවුරු කළාය.

පළමුවෙන් පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 111ක් පමණි. ස්කොට්ලන්ත ඉනිම වෙනුවෙන් ඩාර්සි කාටර් පන්දු 55කදී ලකුණු 62ක් රැස් කරමින් කැපී පෙනුණාය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී සත්‍යා සන්දීපනී ලකුණු 18කට කඩුලු 2ක් දවාගත් අතර, සුගන්ධිකා කුමාරි ලකුණු 15කට කඩුලු 2ක් දවාගනිමින් ස්කොට්ලන්ත පිතිකාරිණියන් පාලනය කළහ. නිමාෂා මීපගේ සහ චේතනා විමුක්ති එක් කඩුල්ල බැගින් බිඳ හෙළූහ.

ස්කොට්ලන්ත කාන්තා කණ්ඩායම – 111/8 (පන්දුවාර 20) – ඩාර්සි කාටර් 62, මේගන් මැකෝල් 16, ප්‍රියානාස් චැටර්ජි 9, සත්‍යා සන්දීපනී 18/2, සුගන්ධිකා කුමාරි 15/2, නිමාෂා මීපගේ 15/1

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම – 115/6 (පන්දුවාර 18.1) – විශ්මි ගුණරත්න 49, හර්ෂිතා සමරවික්‍රම 24, ඉමේෂා දුලානි 16, කෞෂිනී නුත්‍යාංගනා නොදැවී 16, අබ්තාහා මක්සූඩ් 18/3, කැතරින් ෆ්‍රේසර් 22/1, ක්ලෝයි ඒබල් 8/1

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee