ගෙවුණු වසර කීපයෙදි ක්‍රිකට් වල තිබුණු ලොකුම අඩුපාඩුවක් තමයි පාසල් මට්ටමේදි දක්ෂතා තියෙන ක්‍රීඩකයින් බිහිවීමේ අඩුව. අන්න ඒ නිසාම තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න පියවර ගත්තේ. ඒ ගත්ත පියවර අතර පළාත් මට්ටමින් පවත්වන තීරණය කරපු සුපිරි පළාත් තරගාවලිය හඳුන්වන්න පුළුවන්. මුලින්ම දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වුණු මේ තරගාවලියේ වැඩිම දක්ෂතා දක්වපු ක්‍රීඩකයන් 60 දෙනෙක් තමයි පළාත් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා සුදුසුකම් ලැබුවේ. කොළඹ, ගාල්ල, මහනුවර සහ දඹුල්ල කියන ක්‍රිකට් පළාත් අතර පැවැත් වුණු මේ තරගාවලියේදී ශූරතාව දිනා ගැනීමට සමත් වුණේ කමිල් මිශාරගේ නායකත්වයෙන් යුතු කොළඹ කණ්ඩායම.
ලීග් ක්‍රමයට පළමු වටයේ පැවැති තරග 6 න් වැඩිම ජයග්‍රහණය සංඛ්‍යාවක් වාර්තා කරපු කණ්ඩායම් දෙක අවසන් මහ තරග වරම උදා කරගත් අතර ඉතිරි කණ්ඩායම් දෙක තෙවැනි ස්ථානය සඳහා තරග වැදුණා. තරගාවලියේ ආරම්භයේ ඉඳලම ඉතා හොඳින් තරග වැදුණු කොළඹ කණ්ඩායම පළමු වටයේ තරග වැදුණු තරග 3 ම ජයග්‍රහණය කරමින් අපරාජිතව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සමත් වුණා. ඉන් නොනැවතුණු ඔවුන් නිපුන් ධනංජයගේ නායකත්වයෙන් යුතු දඹුල්ල කණ්ඩායම පරාජයට පත් කරමින් තරගාවලියේ ශූරතාවට උරුමකම් කීමට සමත් වුණා.
සමස්ථයක් විදියට ගත්තහම කොළඹ කණ්ඩායම තරග වැදුණු සියළුම තරග විශිෂ්ඨ අයුරින් තරග වැදුණා කිව්වොත් හරි. ඔවුන් තරග වැදුණු සෑම තරගයකදීම ලකුණු 270 කට වැඩියෙන් ලකුණු ලබා ගැනීමට සමත් වුණ හින්දා. දඹුල්ල එක්ක තිබුණ පළමු තරගයෙදි ලකුණු 283 ක් රැස් කරපු කොළඹ කණ්ඩායම ඊට පස්සේ මහනුවරත් එක්ක තිබුණ තරගයෙදි ලකුණු 269 ක් ලබා ගත්තා. ඒ තරග 2 ම මුලින් පන්දුවට පහර දුන්න කොළඹ කණ්ඩායමේ හොඳම ඉනිම විදියට හඳුන්වන්න පුළුවන් වුණේ ගාල්ල කණ්ඩායමට එරෙහිව පැවැති තරගය. එහෙම කියන්න හේතුව වුණේ එම තරගයේදි කොළඹ කණ්ඩායම හඹා ගොස් ජය ලබපු හින්දා. ප්‍රතිවාදී ගාල්ල කණ්ඩායම ලකුණු 283 ක අභියෝගයක් ලබා දුන්නත් ඒ ඉලක්කය කඩුලු 4 ක් ඉතිරිව ජය ගන්න කොළඹ කණ්ඩායම සමත් වුණා.
කොළඹ කණ්ඩායම මෙතරම් දක්ෂතා දැක්වීමට එක් හේතුවක් විදියට කණ්ඩායමේ නායකයා වුණු කමිල් මිශාර පිතිකරුවකු විදියට දක්වපු සුවිශේෂී දක්ෂතා නිසා කිව්වොත් නිවැරදියි. ඔහු මේ තරගාවලියේදී ක්‍රීඩා කළ තරග 4 දී මුලු ලකුණු 377 ක් රැස් කිරීමට සමත් වුණා. ඒ අතර ශතක දෙකක් සහ අර්ධ ශතකයක් ඇතුළත් වුණු අතර වැඩිම ලකුණු විදියට මහනුවර පිලට එරෙහිව රැස් කරන ලද ලකුණු 152 හඳුන්වන්න පුලුවන්.
මේ සටහනේ ආරම්භයේදී කිව්වා වගේ පාසල් මට්ටමෙන් කාලෙකින් බිහිවුණු දක්ෂ පිතිකරුවෙක් විදියට කමිල්ව හඳුන්වන්න පුළුවන්. කමිල්ට අමතරව අපිට හඳුනගන්න පුළුවන් වුණු තවත් තරුවක් තමයි අහන් වික්‍රමසිංහ. කොළඹ කණ්ඩායම නියෝජනය කරපු අහන්, මේ තරගාවලියෙදි වැඩිම ලකුණු ලද පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පත්වුණා. ඔහු ලකුණු 290 ක් රැස් කරගන්න සමත්වුණේ අවසන් මහ තරගයෙදි රැස් කරගත්ත ලකුණු 127 ක සුපිරි ශතකයත් එක්ක. කමිල් මේ තරගාවලියේ වැඩිම ලකුණු ලාභියා වුණත් ඔහු සහ අහන් අතර තියෙන විශේෂත්වය වන්නේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය අතින් අහන් ඉදිරියෙන් සිටීම. මිශාරගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 94.25 ක් ලෙස සටහන් වන අතර ශතකයක් සහ අර්ධ ශතක 2 ක් රැස් කරපු අහන්ගේ ඉනිමක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 145 ක් වශයෙන් සටහන් වෙලා තියෙනවා.

පිතිකරුවන් අතර ඔවුන් දෙපළ ඉදිරියෙන්ම සිටින අතර අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ආරම්භක පිතිකරුවා විදියට කටයුතු කරන නවෝද් පරණ විතාන සහ අවිශ්ක තරිඳු දෙන්නම ලකුණු 189 බැගින් ලබාගැනීමට සමත්ව සිටින අතර ඔවුන් දෙදෙනාගේම සාමාන්‍ය 47.25 ක් ලෙස සටහන් වෙනවා.
පන්දු යවන්නන් අතරින් සඳුන් මෙන්ඩිස් කඩුලු 11 ක් දවා ගනිමින් පෙරමුණේ ඉන්නවා. ඊට අමතරව නිමේෂ් ද සිල්වා, සුධීර තිලකරත්න, රොහාන් සංජය සහ අෂේන් ඩැනියෙල් කඩුලු 9 බැගින් දවා ගැනීමට සමත්ව සිටින පන්දු යවන්නන්. තරග 2 කට සහභාගි වුණු ලොහාන් ද සොයිසත් මේ තරගාවලියෙදි පන්දු යවන්නෙක් ලෙස කැපී පෙනුණු ක්‍රීඩකයෙක්. මේ තරගාවලියේදී කඩුලු ත්‍රිත්වයක් ලබපු එකම පන්දු යවන්නා ඔහුයි. මහනුවර පිල නියෝජනය කරපු ලොහාන් ගාල්ලට එරෙහිව පැවැති ඒ තරගයේදී එම කඩුලු ත්‍රිත්වයට හිමිකම් කිව්වා විතරක් නොවෙයි ඒ තරගයේදී ලකුණු 48 කට කඩුලු 5 ක් දවා ගැනීමටත් සමත් වුණා. ඔහු දක්වන ලද ඒ දක්ෂතාවය මෙම තරගාවලියේදී පන්දු යවන්නකු වාර්තා කළ හොඳම පන්දු යැවීම ලෙසින්ද සටහන් වූවා.
පිතිකරුවෙක් විදියට මේ තරගාවලියේදී දක්වපු දක්ෂතා හේතුවෙන් තරග 2 ක වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා. ඒ විතරක් නොවෙයි තරගාවලියේ වීරයා සම්මානයත් දක්ෂතම පිතිකරුවා සම්මානයත් කියන සම්මාන දෙකම හිමිවුණේ කමිල් මිශාරට.
මෙරට ක්‍රිකට් අනාගතයට පායන තරුවක් බවට ඉඟි පළ කර සිටින කමිල්ගේ මුල්ම පාසල පානදුර මහානාම විදුහල. වයස අවුරුදු 10 ක් විතර කාලෙ ඉඳන් ක්‍රිකට් ක්‍රීඩා කරපු කමිල්ගේ නායකත්වය යටතේ වයස අවුරුදු 13 න් සහ 15 න් පහළ වයස් කාණ්ඩ දෙකේම ශූරතාව මහානාම විදුහල විසින් දිනා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වයස් කාණ්ඩවල දක්වන ලද දක්ෂතා මත පදනම්ව කොළඹ රාජකීය විදුහලට එන්න කමිල්ට අවස්ථාව උදා වෙනවා.
මීට වසර 2 ක පමණ කාලයක සිට අවුරුදු 19 න් පහළ ජාතික කණ්ඩායමට ඒමට වරම් ලබන කමිල්, ඔස්ට්‍රේලියාව, පාකිස්තානයට සහ බංග්ලදේශ යොවුන් කණ්ඩායම් සමඟ පැවැති තරගාවලි නියෝජනය කිරීමට වරම් ලබනවා. ඒ අතරෙදි ඔස්ට්‍රේලියාවට එරෙහිව ශතක 2 ක් වාර්තා කරන කමිල්, පාකිස්තානයට එරෙහිව පැවැති තරගාවලියේදී අර්ධ ශතක 3 ක් වාර්තා කිරීමට සමත් වෙනවා. බංග්ලාදේශයත් එක්ක තිබුණ ටෙස්ට් සහ එක්දින තරගාවලියේදී අර්ධ ශතක 2 බැගින් වාර්තා කිරීමට සමත් වෙලා තියෙනවා.
පාසල් වයසෙදි මේ තරම් දක්ෂතාවයක් දක්වන්න සමත්වුණු කමිල්, අවසන් වුණු පළාත් තරගාවලියෙදි දක්වපු දක්ෂතා පිළිබඳව අපිත් එක්ක කිව්වේ මෙන්න මේ වගේ කතාවක්. “ඇත්තටම කිව්වොත් පිතිකරුවකු විදියට ගොඩක් විශ්වාසය ගොඩ නැගුණු තරගාවලියක් කියලා මේ තරගාවලිය හඳුන්වන්න පුළුවන්. පළවැනි තරගෙදි අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියාම මම මටම කියලා සැලසුමක් හදාගත්තා ලකුණු අතරට එන්න. විශේෂයෙන්ම තරග තිබුණු තණතීරුවට නිසියාකාරව අනුගත වෙන්න. ඒ ඔක්කොම මගේ සැලසුම ඇතුළට දාගත්තා. ඒ කියන්නේ මේ තණතීරුවෙදි ලකුණු ගන්න නම් මොනවද මට ගහන්න පුළුවන් පාරවල් වගේ කියන එක ගැන. මගේ තියෙන ලොකුම බලාපොරොත්තුව තමයි මේ දක්ෂතා එක දිගටම පවත්වාගෙන යමින් ඉදිරියට එන එක”. කමිල් තවමත් පොඩියි. පාසල් යන ළමයෙක්. ක්‍රීඩකයෙක් විදියට ඉදිරියට යන්න ඔහු සතුව උවමනාවටත් වඩා අධිෂ්ඨානය තියෙන බව ඔහු සමඟ කතා කරද්දී දැනුණා. ඇත්තටම විය යුත්තේද එයමයි. කරන දේ උපරිම කැපවීමෙන් කළොත් ඒ තැනට එන එක මිශාර අමාරු නෑ. මොකද ඔහු දැනටත් ඒ සඳහා වන හොඳ අඩිතාලමක් දාගන්න සමත්වෙලා සිටින නිසා.