slc
logo
Home   |    News
ජූලි 26, 2019
ලසිත්ගේ හැගීම්බර සමුගැනීම

Sri Lanka Cricket

ප්‍රීති ඝෝෂා අත්පොළොසන් ඔල්වරසන් සහ දුක්සුසුම් මධ්‍යයේ ලසිත් මාලිංග එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගත් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේ එම හෝරා කිහිපය හැගුම් බරය.

ස්තූතියි මාලිංග, අපේ ස්ලින්ගර් පන්දු යවන්නා අපට ආඩම්බරයක්, අංක 99 ඔබට ස්තූතියි (ටී ෂර්ටයේ ඔහු පළදින අංකය) සහ වීරයෝ විශ්‍රාමයන්නේ නැත. ඔබට ආයුබෝවන් මාලියනුවෙන් පුවරු පිටිය පුරාත් ක්‍රීඩාලෝලීන් ඔසවාගෙන සිටින අයුරුත් දක්නට ලැබිණි. වත්මන් ක්‍රීඩකයන් පමණක් නොව ආදී ක්‍රිකට් ක්‍රීඩකයෝ ද මාලිංග සිප වැලදගෙන සුබ පතන ආකාරයද සිත් ගන්නා සුළු දර්ශණයන්ය.

 සිකුරාදා (26) බංග්ලාදේශය සමග සමුගන්නා තරගයේ දී මාලිංග ක්‍රීඩාංගණයට පිවිසෙන හා පන්දු යවන අවස්ථාවන් හි දීත් සියළු ක්‍රියාකාරීකම් වලදි රැස්ව සිටි විසිදහසක අධික ජනතාව ඔහුට කෘතඥතාව පළ කළේ ඔල්වරසන් හඩ පතුරුවමිනි. ක්‍රිකට් කණ්ඩායමේ මාලිංගගේ මිතුරෝ ඔහු කරපින්නාගෙන එක්දින පිටියෙන් ඔහුට සමුදුන්නේ මාලි මාලි මාලි යනුවෙන් ප්‍රීතිඝෝෂා නගමිනි. මාලිංග තම දැන් ඔසවා පිටිය පුරා දහස් සංඛ්‍යාත  ප්‍රේක්ෂකයන්ටත් සහෝදර ක්‍රීඩකයන්ටත් කෘතවේදිතාව පිරිනමමින් සමුගත්තේ සුපුරුදු සිනහවෙන්ම මුව සරසාගෙනය.

          කෙතරම් බාධා කම්කටොලු පැමිණියත් ඔහු ඒවා ජයගත්තේ ක්‍රීඩා පිටියේ දී දස්කම් දක්වමිනි. ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක සූරතා දිනා ඇත්තේ දෙවරකි. 2014 වසරේ 20-20 ලෝක සූරතාව අපට හිමිවූයේ ලසිත් මාලිංගගේ නායකත්වයෙනි. ඔහු ලොව පුරාම නමක් දිනා සිටියේ ප්‍රථම හා අවසාන එක්දින ඕවර කිහිපයේ දී පිතිකරුවන් බැද තබමින් මෙල්ල කරන ලොව විශිෂ්ට පන්දු යවන්නා ලෙසය. ලොව යෝකර් රජු ලෙසත් මාලිංග නමක් දිනා සිටියේය.

මාලිංගට සුබ පැතීමට පැමිණි පිරිස අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතා හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන් වන මුත්තයියා මුරලිදරන්, රංගන හේරත්,නුවන් කුලසේකර හා අජන්ත මෙන්ඩිස් ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ සිට ක්‍රීඩාලෝලීන් සමග ලංකා ක්‍රීඩකයන් දිරිමත් කරනු දක්නට ලැබිණි.

 මෙදින ලසිත් මාලිංගගේ ජය ගැනීම ලංකා පිල සැමරුවේ ලකුණු 91කින් බංග්ලාදේශය පරාජය කරමිනි. මාලිංග මෙදිනද ලකුණු 38කට කඩුලු 03ක් දවාලීමට සමත්විය.

 1983 අගෝස්තු 28 දකුණේ රත්ගම දී උපත ලද ලසිත් මාලිංග විද්‍යාලෝක හා ගාල්ල මහින්ද විද්‍යාලයන්හි අධ්‍යාපනය ලැබීය. 2004 ජූලි මස එක්දින පිටියට පිවිසි ලසිත් මේ දක්වා තරග 226කදි කඩුලු 338ක් ලබා ලොව නවවැනි ස්ථානයේ පසුවේ. ලෝක කුසලාන තරගාවලියන්හිදී හැට්රික් (පිට පිටම කඩුලු ත්‍රිත්වය) තෙවරක් ලැබූ ලොව එකම පන්දු යවන්නාය. 2007 දී පිට පිටම කඩුලු 4ක් 2011 දී ඕස්ට්‍රේලියාව හා කෙන්යාව සමග කඩුලු තුන බැගින්ද ලබා ඔහු මේ දක්ෂතා පෙන්වීය.

2007,2011,2015 හා 2019 ලෝක කුසලානයන්හි සෑම විටම ඔහු කඩුලු 12 ඉක්මවා ලැබීය. ලසිත් මාලිංග 2010 වසරේ ටාන්යා පෙරේරා සමග විවාහ විය. 2007 කොදෙව් දූපත් හි පැවැති ලෝක කුසලාන තරගාවලියේ ගයානා හි දකුණු අප්‍රිකාව සමග පිට පිටම පන්දු හතරකදී ලබා ගත් කඩුලු හතරේ වාර්තාව බිද දැමීමට පන්දු යවන්නකු කඩුලු පහක් දවාලිය යුතුය. එය කණ්ඩායමෙන් භාගයක් වන අසීරු කරුණකි. ඔහු ලැබූ කඩුලු හතර දවාලීමේ දුර්ලභ අවස්ථාව සියැසින් දැක ගැනීමට එහි සිටි මා හට අවස්ථාව ලැබීම භාග්‍යයක් ලෙස සළකමි. මාලිංග තම අවසාන තරගය සමුගත්තේ ප්‍රථම ඕවරයේදීම බංග්ලාදේශ නායක ටමීම් ඉක්බාල් (0) දවාලමිනි. මුළු ක්‍රීඩාංගණයේම ප්‍රේක්ෂයෝ තම ජංගම දුරකතනවල විදුලි පහන් දල්වමින් මෙදින මාලිංගට සුබ පැතූහ.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest