slc
logo
Home   |    News
ජූලි 28, 2019
සමුදුන් තරගයේදී මාලිංග ළහිරු කුමාරට කිව්ව රහස

Sri Lanka Cricket

තම එක්දින ක්‍රිකට් තරග දිවියේ සමුගැනීම සනිටුහන් කරන තරගයේදී යවන ලද අවසන් පන්දුවාරයේදීත් කඩුල්ලක් දවා ගත් ලසිත් මාලිංග තවදුරටත් තමා කඩුලු දවා ගැනීමට හැකි පන්දු යවන්නකු බව පසක් කරමින් වසර 15 ක එක්දින ක්‍රිකට් තරග දිවියට ඊයේ (26 දා) රාත්‍රියේදී සමුදුන්නනේය. මාලිංගගේ සමුදීම දැක බලා ගැනීම සඳහා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට රැස්වූ දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලීන්ට සාධාරණයක් ඉටු කළ මාලිංග යවන ලද පන්දුවාර 9.4 දී නිලකුණු පන්දුවාර 2 ක් ද සමගින් ලකුණු 38 කට කඩුලු 3 ක් දවා ගත්තේය.

සිය සමුගැනීමේ සාදය ජයග්‍රාහීව අවසන් කළ මාලිංග, සිය සමුගැන්ම මෙන්ම ඉදිරි බලාපොරොත්තු පිළිබඳව සිය අදහස ප්‍රකාශ කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදීද පවසා සිටියේ සිය සමුගැනීම පිළිබඳව තමා දැඩි සතුටට පත්ව සිටින බවයි.

“මට මාරම සතුටුයි” යනුවෙන් පවසා මාධ්‍ය හමුව ආරම්භ කළ මාලිංග වැඩිදුරටත්, “ විශේෂයෙන්ම කියන්න ඕන කඩුලු ගත්තටත් වඩා මගේ අන්තිම තරගය බලන්න ආපු හැම දෙනාටම ස්තූතියි. ග්‍රවුන්ඩ් එක පිරෙන්නම සෙනග හිටියා. ඒ පිළිබඳව මම සැබැවින්ම සතුටට පත් වෙනවා” යිද පැවැසීය.

පන්දුවට පහර දීමේදීද නොදැවී කඩුල්ලේ රැඳී සිටි මාලිංග සිය එක්දින දිවියට සමු දුන්නේ තරග 226 කදී කඩුලු 338 ක් තම නම ඉදිරියෙන් ලියා ගනිමිනි.  වසර 15 ක් තිස්සේ පිතිකරුවන්ගේ භීතිකාවක් බවට පත්වූ ලසිත් මාලිංග සිය එක්දින දිවිය නිමා කරන්නේ ලොව වැඩිම එක්දින කඩුලු ලාභීන්ගේ 9 වැනි ස්ථානය තමාගේ නමින් ලියා ගනිමිනි.

මාලිංගගේ අවසන් තරගයේදී මුලින්ම දැවී ගිය පිතිකරුවා බවට පත්වූ බංග්ලාදේශ නායක ටමීම් ඉක්බාල් ද මාලිංග පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “ඔහු නිතරම යෝකර් පන්දු යැවීමට උත්සාහ දරන පන්දු යවන්නෙක් කියලා හැමෝම දන්නවා. නමුත් ඔහු යොමු කරන සමහර පන්දුවලට මුහුණ දෙන්න හරිම අපහසුයි. ඔබ දැක්ක නම් මගේ දැවී යෑම, එය අවසන් මොහොතේදී තමයි දෝලනය වූයේ. ඒ වගේ පන්දුවකට මොකද්ද කරන්න පුලුවන්…? මම මගේ උපරිමය යෙදෙව්ව. මම ඇත්තටම හිතනවා ඔහු යොමු කරපු තුන්වැනි පන්දුවට මම හොඳින් මුහුණ දුන්නා කියලා. නමුත් මම හිතනවා ඒකට වඩා දැවී ගිය පන්දුව හොඳ එකක් කියලා” යනුවෙනි.  තම කණ්ඩායමේ සාමාජිකයකු නොවුණද ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ සංකේතයක් බවට පත්ව සිටින මේ සුවිශේෂී වූ ක්‍රීඩකයා සිය ක්‍රිකට් දිවියට සමුදෙමින් ක්‍රීඩා ගාරය වෙත පිය මනිද්දී සියළු දෙනාම දෙපසට වී මාලිංගට ආචාර කිරීමට පැමිණීමද ඊයේ දිනයේදී කැපී පෙනුණු තවත් සිදුවීමක් බවට පත්විය.

මාලිංගගේ සමුගැනීමේ තරගය දැක බලා ගැනීම සඳහා පැමිණි ක්‍රිකට් ලෝලීන් අතර සුවිශේෂී පුද්ගලයින්ද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයට පැමිණ සිටි අතර ඒ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ යන මහත්වරුද සිටීම විශේෂත්වයක් විය.

“අපි නිතරම බලන්නේ පළවැනි පන්දුවාර 10 ඇතුළත කඩුලු 2 ක් දවාගන්න. මොකද අපිට ස්ථාවර තැනකට ඒකෙන් එන්න පුලුවන් කම ලැබෙන නිසා. මම මෙච්චර කාලයක්ම උත්සාහ කළේ ඒ දේ කරන්න. සමහර දාට හරි ගියා. නැත්නම් වැරදුණා. මගේ අවසන් තරගයෙදි කඩුලු 3 ක් අරගෙන තරගය ජයග්‍රාහීව අවසන් කරන්න ලැබීම ගැන හරිම සතුටුයි. ඒක නිසා මම හිතනවා මට එක්දින පිටියෙන් සතුටින් සමුගන්න හම්බ වුණා කියලා” යැයි සිය සමුගැනීමේ තරගයේ දක්වන ලද දක්ෂතා පිළිබඳ මාලිංග අදහස් දැක්වීය.

මහමුදුල්ලාගේ කඩුල්ල දවා ගැනීමට ප්‍රථම පන්දු යැවූ ළහිරු කුමාර ලසිත් මාලිංග යම් දෙයක් පවසනු දැක ගැනීමට හැකි වූ අතර කඩුල්ල දවා ගැනීමෙන් පසු ළහිරු එය සමරන ලද්දේ ලසිත් මාලිංග වෙත දිව එමිනි. ඒ අවස්ථාවේදී සිදුවූ දේ පිළිබඳවද මෙම මාධ්‍ය හමුවේදී විශේෂ අවධානයක් යොමු විය.

“එයා තාම ළාබාල ක්‍රීඩකයෙක්. හැකියාව තිබුණට සමහර අවස්ථාවල එයා දන්නෙත් නෑ එයා කවුද කියන එක. ගොඩක් ක්‍රිකට් ගහපු නිසා අපිට තේරෙනවා සමහර පිතිකරුවන් පන්දුවට පහර දෙන කොට කරන්න හදන්න මොකද්ද කියන එක. මං ඒකයි තර්ඩ්මෑන් ඉඳලා වනිඳු (හසරංග) හිටපු මිඩ් ඕව් වලට ආවේ. එයා අලුත් ක්‍රීඩකයෙක්. වැඩි තරග ක්‍රීඩා කරලා නෑ. එයාට උදව් කරන එක වටින නිසා මම ඇවිල්ලා එයාට තේරුම් කරලා දුන්න පන්දු යවන ආකාරය ගැන. මම කිපයු දේ ඔහු උත්සාහ කළා. ඒක සාර්ථක වුණා. ඒක නිසයි එයා මගේ දිහා බලල සෙලිබ්‍රෙට් කළේ. මම මෙච්චර කලක් ගහපු දේ මම කාට හරි දීලා යන්න ඕන. මේ වගේ දේවල් දකිනකොට සාර්ථකයි සතුටු කියලා හිතනවා” යනුවෙන් මාලිංග පවසයි.

එක්දින දිවියෙන් සමුගැනීමෙන් පසු සිය ඉදිරි ජීවිතයේදී සිදුකිරීමට බලාපොරොත්තු වන දේ පිළිබඳවද මාලිංග මෙම මාධ්‍ය හමුවේදී අනාවරණයක් සිදු කළේය.

“මං හිත්නනේ මම දැන් වයසයි. කළින් වගේ පන්දුවේ වේගයක් නෑ. වේගය නැති නිසා මගේ තියෙන දක්ෂතාවලින් සෑහෙන ප්‍රමාණයක් අඩු වෙලා අද වෙන කොට. නමුත් මට කඩුල්ලක් දවා ගන්න තියෙන්නේ හැකියාව තියෙන්නේ එක විදියකට. ඒක සන්ත ජයසූරියද, එහෙම නැත්නම් අද ක්‍රීඩා කරපු ක්‍රීඩකයන් දෙන්නද, වමත් පිතිකරුද, කවුරු හෝ වේවා මට ගන්න පුලුවන් ක්‍රමේ තියෙන්නේ එකයි. ඉතිං ඒක තමයි මම උත්සාහ කරන්නේ. මොකද මම වීඩියෝ දැක්කත් එයාලා එක එක විදියට අවුට් වුණත් මට තියෙන්නේ එක දෙයයි. මම කරන්නේ මට තියෙන දේ. ඒක මම කරා. සාර්ථක වුණා”.

“මම එක්දින ක්‍රිකට් වලින් සමුගත්තා. අපිට යම් කිසි තැනකදී දේවල් අතපසු වෙලා තියෙනවා. ඕනම කෙනෙක්ට දක්ෂතාවය කියන එක තියෙනවා. හැබැයි ඒ දක්ෂතාව ආපසු ආපසු කරන්නේ කොහොමද කියන එක  ගොඩක් ක්‍රීඩකයින් දන්නේ නෑ. මම මේ කතා කරන්නේ පන්දු යැවීම ගැන. දක්ෂතාවය තිබුණත් ඒකේ කුසලතාව දක්වා ඉදිරියට යන්නේ නෑ. දක්ෂතාවය ඕන කෙනෙක්ට තියෙනවා. ඒක ආපසු ආපසු කරන්න පුලුවන් නම් ඒක නිපුණත්වයක්. ඒ දෙකම තියෙනවා නම් එයාට වීඩියෝ බලලා ඇනලයිස් කරලා සිටුවේෂන් එක හඳුනගන්න පුලුවන්. එහෙමත් නැත්නම් කණ්ඩායම තුළ සීනියර් ක්‍රීඩකයින් සිටිනවා නම් ඔවුන් හරහා ඒ දේ කරගන්න ඒ ක්‍රීඩකයාට හැකියාව තියෙනවා. හැබැයි ඒ මොනව කිව්වත් ඒ දේ කරන්න දක්ෂතාවයේ නිපුණත්වය නැත්නම් එයා ෆේල්. ඉතිං මම දැකපු දේ තමයි අන්තිම අවුරුදු 6 ක 7 ක කාලය ක් තුළම ඒ දේ ලැබිලා නෑ. ජාතික කණ්ඩායමේදී ඒ වගේ දෙයක් ක්‍රීඩකයෙක්ට දෙන්න බෑ. අපි අවුරුදු 15 දි 17 දි වගේ ක්‍රීඩකයින් හඳුනගත්තොත් අපි ඔවුන් වෙනුවෙන් ස්කිල් ට්‍රේනිං (නිපුණත්වයේ පුහුණුවක්) එකක් ලබා දෙන්න ඕන. ජාත්‍යන්තරයෙිදි අපි පන්දුව එක නියමිත රේඛාවේ සහ ස්ථානයේ පන්දුව පතිත කරන්න ඕන. ඒ වගේම තමයි පීඩනය ආවාම ඒක හසුරුවගන්න. පීඩනය කියන්නේ ඒකයි”.

“පීඩනය කියන්නේ කරන්න ඕන දේත් දන්නවා. කරන්න ඕන දේත් දන්නවා. හැබැයි මට චකිතයක් තියෙනවා ඒ ක කරන්න පුළුවන් වෙයිද කියන එක ගැන. ඒක තමයි ප්‍රෙෂර් එක කියන්නේ. ඉතිං තමන් නිපුණත්වයේ ඉහළින් ඉන්නවා නම් එක දේ හැම තිස්සෙම කරන්න පුළුවන් දක්ෂතාවයක් තියෙනවා නම් පීඩනය කියන දෙයක් එන්නේ නෑ. ඉතිං මගේ බලාපොරොත්තුව මේ වසර 15 තුළ ලබාගත්ත අත්දැකීම් කාට හරි දෙන්න.පුහුණුකරුවකුට වඩා ලණුව ඇතුලේ, ඒ කියන්නේ  වෙන්න ඕන මොනවද, තරගයක් හඳුනගන්නේ පිතිකරුවෙක් දවා ගන්නේ කොහොමද, තමන්ට තියෙන දක්ෂතාවය වැඩි දියුණු කරන්නේ කොහොමද කියන එක දේවල් උගන්වන්න. මට ශක්තියක් තියෙනවා මට ඒ දේ කියලා දෙන්න පුළුවන් කියලා. ඒ වගේ දේයක් බලාපොරොත්තු වෙනවා නම් ඒකම අඩුපාඩුව නම් බලාපොරොත්තු වන තැනකට මගේ සහයෝගය මම ලබා දෙන්න සූදානම්. ඒක ශ්‍රී ලංකා ක්‍රිකට් වෙන්න පුලුවන් වෙන රටක වෙන්න පුලුවන්. බලාපොරොත්තු වෙන තැනට මම ඒක ලබා දෙනවා. මගේ ක්‍රිකට් මං මගෙන් ඉල්ලන ඕන එක්කෙනෙක්ට ලබා දෙනවා. මට මේක තියාගෙන හිටියට වැඩක් නෑ” යැයි දීර්ඝ ලෙස සිය බලාපොරොත්තු පිළිබඳව අදහස් ඉදිරිපත් කර සිටියේය.

Active filters

Recent Posts

  • චන්දිමාල්ගෙන් අගනා ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ගෝල් හා කොළඹ අතර අද (20) ආරම්භවූ තරගයේදී ගෝල් පිලේ දිනේෂ් චන්දිමාල් ලකුණු 132ක් ලබා ගත්තේය. […]
  • රවිඳු – ඇන්ජලෝ ජැෆ්නා ප්‍රබල තත්ත්වයකට රැගෙන යති
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන නැෂනල් සුපර් ලීග් සිව්දින ක්‍රිකට් තරගාවලියේ ජැෆ්නා හා දඹුල්ල අතර තරගයේ මුලින් පන්දුවට පහර‍දෙන ජැෆ්නා පිල අද (20) පළමු දිනයේ තරගය නතර […]
  • පිට පිට තෙවැනි ජය සමඟින් ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම අවසන් සටනට
    ‘ඒ‘ කණ්ඩායම්වල සහභාගිත්වයෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ‘එ‘ කණ්ඩායම සහභාගිවුණු තෙවැනි තරගයෙන්ද අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 6 ක පහසු යක් වාර්තා කරමින් ලබන 25 […]
  • යොවුන් පිලේ නායකත්වය විමත් දින්සරට
    බංග්ලාදේශ යොවුන් කණ්ඩායමට එරෙහිව අප්‍රේල් මසදී පැවැත්වෙන තරග 6 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ නායකයා ලෙස කොළඹ […]
  • සදීරගේ ශතකයෙන් ශ්‍රී ලංකා ‘ඒ‘ දෙවැනි ජයත් ලබයි
    නායක සදීර සමරවික්‍රමගේ අගනා ශතකය හේතුවෙන් අබුඩාබි නුවර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලිය යටතේ ඇෆ්ගනිස්තානු ‘ඒ‘ පිලට එරෙහිව පැවැති තරගයෙන්ද කඩුලු 6 ක පහසු ජයක් වාර්තා කර ගැනීමට ශ්‍රී ලංකා […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee