slc
Home   |    News
අගෝස්තු 24, 2019
“හිතන් හිටියේ ලොකු පහරක් ගහන්නමයි” ශතකය ගැන ‘අයිස්’ කියයි

Sri Lanka Cricket

නවසීලන්තයට එරෙහි සටනේදී පළමු ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව රැස් කරන ලද්දේ ලකුණු 244 ක් පමණි. ඉන් ලකුණු 109 ක්ම ධනංජය ද සිල්වාගේ පිත්තෙන් වාර්තා වූ ලකුණුය. හරියට බැළුවහොත් එය ශ්‍රී ලංකා ඉනිමෙන් හරි අඩක ලකුණු සංඛ්‍යාවට අඩුව ඇත්තේ ලකුණු 13 ක් පමණි. ඉන් ලකුණු 32 ක් ධනංජය රැස් කරන ලද්දේ දෙවැනි දවසේදීය. ඒ පන්දු 62 කට මුහුණ දෙමිනි. තෙවැනි දවසේ ශ්‍රී ලංකාව රැස් කරන ලද ලකුණු 100 න් ලකුණු 77 ක්ම රැස් කරන ලද්දේ ධනංජයයි. එම ලකුණු 77 ලබා ගැනීම සඳහා ඔහු පන්දු 86 කට පමණක් මුහුණ දුන්නේය. ශ්‍රී ලංකා ඉනිමේ මුළු මනින්ම බර කරට ගනිමින් ක්‍රීඩා කරන ලද ඒ ධෛර්යවන්ත වූත් සුවිශේෂී වූත් ඉනිම නොවන්නට ශ්‍රී ලංකා ඉනිමේ පළමු ඉනිම මීට හාත් පසින්ම වෙනස් කතාවක් වන්නට තිබුණි.

“මැද තිබුණ තත්ත්වයත් එක්ක ලොකු ගාණකට යන්න අමාරුයි. අපි කතා වුණේ කොහොම හරි ලකුණු 220 ක් හෝ 30 ක් ලබාගන්න. ඒ වෙනුවෙන් ඩිල්රුවන් මට සපෝර්ට් එක දුන්නා. ඒ වෙලාවේ මම විකට් එකට හුරු වුණා. ඊට පස්සේ මට පහර වල් වලට යන්න ලේසි වුණා” යි තරගයේ සැලසුම පිළිබඳව කතාවට මුල පිරීය.

ලකුණු 144 කට කඩුලු 6 ක්ව තිබියදී  දිනය ආරම්භ කළ ශ්‍රී ලංකා ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස ලසිත් ඇඹුල්දෙණිය පිටියෙන් ඉවත් වන විට ධනංජය ලබා සිටියේ ලකුණු 94 ක් පමණි. අවසන් පිතිකරු ලෙස පන්දුවට පහර දීමට පැමිණෙන ළහිරු කුමාරට බේරීමට නම් පන්දු 5 කට මුහුණ දීමට සිදුව තිබුණි. එම පන්දු 5 යැවීමට නියමිතව තිබුණේ පළමු ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වූ ටිම් සවුති බැවින් ශතකය කරා යෑම ධනංජයට අවධානමක් එක් කළේය.

“මං හිතන් හිටියේ පාරක් ගහන්නම තමයි. මොකද ළහිරු කුමාර තමයි අපේ ඉනිමේ අන්තිම පිතිකරු වෙලා හිටියේ. ඒ වුණාට එයා එතනට ඇවිල්ලා කිව්වේ මම ඕවරයක් ගහලා දෙන්නම් ඔයා හිමීට සීයට යන්න කියලා. මං හිතන්නේ ඒ ටික මට ඒක ලොකු හයියක් වුණා ශතකයට යන්න”යි එම අවස්ථාව පිළිබඳව ධනංජය විස්තර කළේය.

 “ඇත්තටම ගොඩක් සතුටුයි. මොකද පිතිකරණය පැත්තෙන් මට කාලෙකින් ලොකු දෙයක් කරන්න හම්බ වුණේ නෑ. ඒක නිසා මං හිතනවා මේ ශතකය ගොඩක් වටිනවා කියලා. මම පටන් ගත්තේ නොම්බර 7 ස්ථානයෙන්. එතන ලකුණු ගහලා මම දැන් නොම්බර 6 ස්ථානයේ ස්ථාවර වෙන්න හදන්නේ. මට කතා කරලා කිව්වෙත් මෙතන තමයි දිගටම ගහන්න කියලා. එක තැනක් දුන්නහම හරි ලේසියි ක්‍රීඩා කරන්න.  මං හිතනවා මම ඒකට සාධාරණයක් ඉටු කළා කියලා” යි ධනංජය කියයි.

ධනංජය ද සිල්වා යනු එතරම් කලබලයක් නැති ක්‍රීඩකයෙකි. ඔහු ප්‍රථමයෙන්ම ටෙස්ට් කණ්ඩායමට පැමිණෙන්නේ 2016 වසරේදීය. ඒ එවකට ලොව අංක 1 ටෙස්ට් කණ්ඩායම ලෙසින් මෙරටට පැමිණි ඔස්ට්‍රේලියාව සමඟ පැවැති තරගාවලියේදීය. දේශීය තරගාවලියන්හිදී පිතිකරුවකු ලෙස කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත්වන ධනංජය එම තරගාවලියේදී පිතිකරුවකු ලෙස සාර්ථක වෙමින් ලෝකයේම අවධානය තමා දෙසට හරවා ගැනීමට සමත්වෙයි.

ඔස්ට්‍රේලියාව කවදත් දක්ෂ වේග පන්දු යවන්නන්ගෙන් සමන්විත කණ්ඩායමකි. එම තරගාවලියේදීද එහි අංක එක මිචෙල් ස්ටාර්ක්ට හිමි වද්දී අනෙක් අන්තයෙන් ජොස් හෙසල්වුඩ් ද දඟ පන්දු යවන්නන් අතරින් නේතන් ලයන්ද පසුවිය. ධනංජයගේ කතාව ඇරඹෙන්නේ එම තෙවැනි ටෙස්ට් තරගයේදීය. එම තරගාවලියේ ඔහු පන්දුවට පහර දීමට පැමිණියේ අංක 7 ස්ථානයෙනි. පිටියට පිවිසෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වූයේ ලකුණු 26 කට කඩුලු 5 ක් වශයෙනි. මහා පතාකයින් හමුවේ පිත්ත හැසිර වූ මේ හුරුබුහුටි යෞවනයා තම ඉනිම හමාර කර ලද්දේ මංගල ශතකයෙන් එම ඉනිම සරසාගනිමිනි. දිනේෂ් චන්දිමාල් සමඟ ශතක සම්බන්ධතාවයක් පවත්වන ධනංජය ලකුණු 129 ක් ලබා ගනිමින් ලොව අංක 1 කණ්ඩායමට එරෙහිව 3-0 ක් ලෙස තරගාවලි ජයග්‍රහණය සදහා අඩිතාලම සකසා දෙන්නේය. එවකට කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු වූ ග්‍රැහැම් ෆෝඩ් මහතා විසින් ‘අයිස්’ යන අන්වර්ථ නාමයෙන් ධනංජයව හඳුන්වනු ලැබුවේද මේ සුවිශේෂී ඉනිම නිසාය.

ධනංජය අවසන් වරට ශතකයක් වාර්තා කර ඇත්තේ මීට ඉනිම 28 කට ප්‍රථමය. ඒ ඉකුත් 2018 වසරේදී බංග්ලාදේශය සමඟ චිතගොංහි පැවැති තරගයේදී වේ. ඒ අනුව නවසීලන්තයට රැස් කරන ලද මෙම ශතකය ධනංජයගේ ටෙස්ට් තරග දිවියේ 5 වැනි ශතකය ලෙසින් සටහන් වේ.

මෙම තරගයේ පළමු දින දෙක වැඩි හරියක්ම වර්ෂාවට හේදී ගියේය. වැසි වළාවකින් බරව පවතිද්දී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේ ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමෙහි 7 වැනි ස්ථානයේ සිටින ට්‍රෙන්ට් බෝල්ට් සහ 12 වැනි ස්ථානයේ සිටින ටිම් සවුති ප්‍රතිවාදී පිලේ සිටියදීය. මෙය ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වීමට ප්‍රධාන ලෙසින් බලපෑවේය. මන්ද යත් ශ්‍රී ලංකා පිලේ දැවී ගිය කඩුලු 10 න් 7 ක්ම මෙම වේග පන්දු යවන්නන් දෙදෙනා අතරේ බෙදී යෑම නිසාය.

“ඔව්. අඳුරු කාලගුණ තත්ත්වයක් තිබුණත් අපි හිතුවේ නෑ තණතීරුවේ ලොකු බලපෑමක් තියෙයි කියලා. අනික දවස් දෙකේම එහෙම වෙයි කියලා හිතුවෙත් නෑ. ලංකාවේ ගහනකොට ගොඩක් වෙලාවට අව්ව පායනවා. අපි හිතුවට වැඩිය වැස්ස නිසා තණතීරුවේ තෙතමනය තිබ්බා”.

“එයාලගේ වේග පන්දු යවන්නන් ගොඩක් හොඳට පන්දු යවන දෙන්නෙක්. එයාලා දන්නවා මේ කන්ඩිෂන් වලදී මොනවද කරන්න ඕන කියලා. මං හිතන්නේ ඒ වාසිය එයාලා උපරිමය ගත්තා”යි ධනංජය අදහස් දක්වයි.

Active filters

Recent Posts

  • දුශාන් සහ මතීෂට එක්දින වරම්!
    By Chamila Karawita ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර හෙට (02 දා) ආරම්භ වන එක්දින තරගාවලිය එක්දින ලෝක ශූරතාවට අයත් නොවන්නකි. එහෙත් මෙම තරගාවලියේදී ඇෆ්ගනිස්තානට කෙසේ වෙතත්ට ශ්‍රී ලංකාවට […]
  • ඒස් කැපිටල්-කෝල්ට්ස්-බ්ලූම්ෆීල්ඩ්-ටැමිල් යුනියන් ජය වාර්තා කරති 
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ මේජර් විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (ජුනි 01) පැවැති ඒස් කැපිටල් – බදුරලිය තරගයේදී ඒස් කැපිටල් නායක රොෂාන් ජයතිස්ස තුන් ඉරියව්වේදීම […]
  • සිංහ – ඇෆ්ගන් සටනේ ‘ටිකට්’ ස්ථාන 3 කින්
    ඇෆ්ගනිස්තානු ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය යටතේ පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ ප්‍රවේශ පත්‍ර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල වෙබ් අඩෙවියට (www.srilankacricket.lk) පිවිසි මිලදී […]
  • ඇෆ්ගන් – ශ්‍රී ලංකා සටනේ නිලධාරීන් නම් කරයි
    හෙට (02 දා) හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර එක්දින තරගාවලියේ තරග තීරකවරයා ලෙසින් ප්‍රවීන තරග තීරක රංජන් මඩුගල්ලේ මහතා කටයුතු කරනු ඇත. […]
  • යුද හමුදාවේ අසේල ගුණරත්න නැවත ලකුණු අතරට
     ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන මේජර් අන්තර් සමාජ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අද (31) පැවැති යුද හමුදාව සහ පොලීසිය අතර තරගයේදී යුද හමුදාව නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest