ලකුණු 52ක් වෙද්දී කලම්බු කැප්ස් කණ්ඩායමේ කඩුලු පහක් දවාගෙන තරගයේ සම්පූර්ණ වාසිය තමන් වෙත නතු කරගත් ගෝල් ගැලන්ට්ස්, අනතුරුව සෑම් හාපර් සහ චරිත් අසලංක ගොඩනැඟූ ලකුණු 126ක විශිෂ්ට සබඳතාව මත කඩුලු 6ක ජයක් වාර්තා කරමින් 2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (07) රාත්‍රියේදී පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයේදී මෙම ජයග්‍රහණය වාර්තා කළ ගෝල් ගැලන්ට්ස්, අගෝස්තු 08 වැනිදා රාත්‍රියේ පැවැත්වෙන අවසන් මහා තරගයේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමඟ ශූරතාව වෙනුවෙන් තරග වැදීමට නියමිතය. එමෙන්ම ගෝල් ගැලන්ට්ස් පිල පිට පිටම දෙවැනි වරටත් LPL අවසන් මහා තරගයට පිවිසීමද කැපී පෙනෙන සිදුවීමක් විය.
කාසියේ වාසිය දිනා මුලින්ම පන්දුවට පහර දීමට තීරණය කළ කලම්බු කැප්ස් කණ්ඩායමට සිහිනෙන්වත් බලාපොරොත්තු නොවූ අයුරින් ආරම්භය බිඳ වැටුණි. ගෝල් පන්දු යවන්නන්ගේ නිවැරදි රිද්මය හමුවේ පළමු පන්දුවාර හය අවසන් වන විට ලකුණු 52ක් පමණක් ලබා සිටියදී කඩුලු පහක්ම බිඳ වැටී කොළඹ ඉනිම දැඩි අර්බුදයකට ලක්විය.
එහෙත් එතැනින් ඉනිම යළි ගොඩනැගූ රවිඳු ප්‍රනාන්දු සහ රුබින් හර්මන් හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 43කින් ලකුණු 70ක සබඳතාවක් ගොඩනඟමින් කොළඹ ඉනිම නැවතත් තරගකාරී මට්ටමකට රැගෙන ආහ. රවිඳු පන්දු 27කින් හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමඟ වේගවත් ලකුණු 48ක් රැස් කළ අතර, හර්මන් පන්දු 33කින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟ ලකුණු 45ක් ලබා දුන්නේය. අංක 8 පිතිකරු ලෙස පිටියට පිවිසි මල්ෂ තරුපති පන්දු 17කින් වේගවත් ලකුණු 28ක් රැස් කිරීමත් සමඟ කොළඹ කැප්ස් පන්දුවාර 18.5කදී සියල්ලන් දැවී ලකුණු 176ක් රැස් කළේය.
ගෝල් ගැලන්ට්ස් වෙනුවෙන් සචින්දු කොළඹගේ සහ චරිත් අසලංක කඩුලු දෙක බැගින් දවා ගත් අතර, මුල් පන්දුවාර කිහිපයේම කොළඹ පිලට එල්ල කළ පීඩනය තරගයේ ප්‍රධාන හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්විය.
ලකුණු 177ක ඉලක්කයක් හඹා ගිය ගෝල් ගැලන්ට්ස් පිලට මුල් කඩුල්ල ඉක්මනින් අහිමි වුවද, ඉන් අනතුරුව සෑම් හාපර් සහ චරිත් අසලංක තරගයේ පාලනය සම්පූර්ණයෙන්ම තම කණ්ඩායම වෙත හරවා ගත්හ. දෙවැනි කඩුල්ල වෙනුවෙන් ඔවුන් පන්දු 85කින් ගොඩනැගූ ලකුණු 126ක සබඳතාව හමුවේ කොළඹ කැප්ස් පන්දු යවන්නන්ට නැවත තරගයට පැමිණීමට කිසිදු අවස්ථාවක් හිමි නොවීය.
තරගයේ වීරයා බවට පත්වූ සෑම් හාපර් පන්දු 51කින් හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමඟ අනර්ඝ ලකුණු 77ක් රැස් කළ අතර, චරිත් අසලංක පන්දු 42කින් හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟ නොදැවී ලකුණු 59ක් රැස් කළේය. අසලංක පිත්තෙන් පමණක් නොව පන්දුවෙන්ද කඩුලු දෙකක් දවා ගනිමින් තරගයේ සෑම අංශයකින්ම කැපී පෙනුණු දස්කම් දැක්වීය.
අවසානයේදී ගෝල් ගැලන්ට්ස් පන්දුවාර 18.4කදී කඩුලු 4ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගනිමින් පහසු ජයග්‍රහණයක් වාර්තා කළේ, ශූරතාවට තවත් එක් පියවරක් පමණක් ඉතිරි කරමිනි.
කෙටි ලකුණු සාරාංශය
කලම්බු කැප්ස් – 176 (පන්දුවාර 18.5)
රවිඳු ප්‍රනාන්දු 48, රුබින් හර්මන් 45, මල්ෂ තරුපති 28, ජනිත් ලියනගේ 23.
සචින්දු කොළඹගේ 34/2, චරිත් අසලංක 34/2
ගෝල් ගැලන්ට්ස් – 177/4 (පන්දුවාර 18.4)
සෑම් හාපර් 77, චරිත් අසලංක නොදැවී 59.
රවිඳු ප්‍රනාන්දු 44/2




