slc
logo
Home   |    News
අගෝස්තු 31, 2019
කන්ද උඩරටට සුන්දරත්වය ගෙන එන පල්ලේකැලේ ක්‍රීඩාංගණය

Sri Lanka Cricket

ශ්‍රී ලංකාවට 1982 ටෙස්ට් වරම් හිමිවීමෙන් පසුව මධ්‍යම පළාතේ ටෙස්ට් තරග පැවැත්වූයේ මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේය. ටෙස්ට් තත්ත්වය ලැබු අලුත ඕස්ට්‍රේලියා සහ ඉන්දියා කණ්ඩායම් මෙහි තරග වැදුණු අතර ඕස්ට්‍රේලියාව සමග තරගය ශ්‍රී ලංකාව පරාජයට පත්ව ඉන්දීය තරගය ජය පැරැදුමෙන් තොරව නිමා කළේය. අස්ගිරිය ක්‍රීඩාංගණය අස්ගිරිය රජමහා විහාරස්තානයට නුදුරින් මහනුවර ත්‍රිත්ව විදුහලට අයත්ව මහනුවර නගර මධ්‍යයේ  පිහිටියේය. මෙහි ක්‍රීඩාලෝලීන් විශාල පිරිසවකට තරග නැරැඹීමේ ඉඩකඩ අපහසුතාවත් රථවාහන විශාල ප්‍රමාණයක් ගාල් කිරීමේ අපහසුතාවත් වසරේ අඩකට වඩා මාස ගණනාවක් පාසල් ක්‍රිකට් තරග මෙහි සංවිධාන වීම මතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ජාත්‍යන්තර ක්‍රිකට් තරග පැවැත්වීමට පල්ලේකැලේ ක්‍රීඩාංගණය ඉදිකිරීමට තීරණය කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බලගොල්ල ප්‍රදේශයේ මෙම ක්‍රීඩාංගණය ඉදිකරන ලද්දේ 2011ලෝක කුසලාන ක්‍රිකට් තරග සංවිධානය කිරීමේ අරමුණිනි. 2009 නොවැම්බර් 27 වැනිදා විවෘත කැරුණු මේ ක්‍රීඩාංගණයේ ප්‍රධාන අන්ත දෙක හුන්නස්ගිරිය අන්තය සහ රිකිල්ලගස්කඩ අන්තය ලෙස නම් කැරිණි. මහනුවර නගරයේ සිට මිනිත්තු 20-30 ක් වැනි කාලයකින් වාහනයකින් මේ ක්‍රීඩාංගණයට ළගාවිය හැකි අතර නරඹන්නන් 22000කට පහසුවෙන් තරග නැරැඹීමට පහසුකම් ඇත.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ සිට අවට සිරි බලන අයෙකුට දිස්වන්නේ දර්ශනීය කඳුවැටි සමූහයක්ම සිසරා ඇති ආකාරයකි. හුන්නස්ගිරිය කඳුවැටිය, රිකිල්ලගස්කඩ කඳු සමූහය නුදුරකින්ද තවත් ඈතින් ඈතට හන්තාන, බහිරව කන්ද, බලන දුර්ගය වැනි කදුවැටියන්ගෙන් මනස්කාන්ත චිත්‍රයක් පෙනේ. මෙය විස්තර කරනවාට සියැසින් දැකීම ඉතා අගනේය.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකාව 20-20 තරග අටකට සහභාගිවී තරග දෙකක් ජයගෙන තරග හයක් පරාජය වී තිබේ. මෙහි ප්‍රථම 20-20 තරගය 2011 අගෝස්තු මස ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සමගත් අවසාන තරගයද (20-20) 2016 සැප්තැම්බරයේ මෙම කණ්ඩායම් දෙක අතරමද පැවැත්විණි. මෙහි ටෙස්ට් හා එක්දින තරග ද පවත්වා ඇත. ප්‍රථම ටෙස්ට් තරගය 2010 දෙසැම්බරයේ ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතරත් ප්‍රථම එක්දින තරගය 2011 මාර්තුවේ නවසීලන්තය හා පාකිස්තානය අතරත් ( ලෝක කුසලාන ) පැවැත්විණි.

ජගත් ක්‍රිකට් සමුළුව මෙහි 2012 වසරේ සංවිධානය කළ 20-20 ලෝක කුසලාන තරගාවලියේ තරග නවයක්ම පැවැත්වූයේ මේ ක්‍රීඩාංගණයේය. මෙහි 20-20 ශතක තුනක් රැස්කර ඇති අතර මෙවැනි තරගාවලියක ශතක තුනක් ලැබු එකම ක්‍රීඩාංගණය මෙයයි. තිලකරත්න දිල්ෂාන් (104) බ්‍රෙන්ඩන්  මැකලම් (123) ග්ලෙන් මැක්ස්වල් (145) මෙහි ශතක ලාභිහුවෙති. 2017 සැප්තැම්බර් 7  වැනිදා ඕස්ට්‍රේලියාව ශ්‍රී ලංකාව සමග කඩුලු තුනකට ලැබු ලකුණු 263 විස්සයි විස්ස තරගාවලියන්හි වැඩිම ලකුණු ලැබීමේ වාර්තාවයි. දිල්ෂාන් ටෙස්ට් එක්දින හා 20-20 ශතක ලැබු එකම ශ්‍රී ලංකා නායකයා වූයේ ද මෙහිදිය.

එක්දින තරගාවලියන්හි මෙහිදී තිලකරත්න දිල්ෂාන් සහ උපුල් තරංග සිම්බාබ්වේ සමග ලෝක කුසලාන තරගාවලියේ ප්‍රථම විකට්ටුව ලැබු ලකුණු 282 ද මුල් විකට්ටුවේ වාර්තාවයි. සුරංග ලක්මාල් 2010 ප්‍රථම ටෙස්ට් තරගයේ ප්‍රථම පන්දුවේදී ක්‍රිස්ගේල් දවා ලොව තෙවැන්නා විය. මීට කළින් ප්‍රථම පන්දුවේ දී කඩුල්ලක් දවා  ඇත්තේ කපිල්දේව් (ඉන්දියා) හා ඉම්රාන් ඛාන්ය (පාකිස්තානය) වේ.

දැනට ශ්‍රී ලංකාවේ සංචාරය කරන නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාව සමග 20-20 තරග තුනකට මේ මස 1,3 සහ 6 දිනවල සහභාගි වීමට නියමිතය.

බන්දුල මොල්ලිගොඩ

-The opinions expressed here are the views of the writer and do not necessarily reflect the views and opinions of Sri Lanka Cricket-

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest