slc
logo
Home   |    News
සැප්තැම්බර් 30, 2019
දැඩි ආරක්ෂවක රැකවල් මධ්‍යයේ සත්කාරකයින්ගේ අභියෝගයට සිංහයෝ සැරසෙති

Sri Lanka Cricket

අනපේක්ෂිත ලෙස ඇද හැළුණු ධාරානිපාත වර්ෂාව නිසා පළමු තරගය ඇත හැර දැමුණු ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක්දින තරගාවලියේ දෙවැනි තරගයට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකාවත් සත්කාරක පාකිස්තානයත්  හෙට (30 දා) කරච්චි ජාතික ක්‍රීඩංගණයට පිවිසෙති. දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙන මෙම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30 ට ආරම්භ වනු ඇත.

දෙරට අතර පළමු තරගය ඉකුත් 27 වැනිදා පැවැත්වීමට නියමිතව වුවත් ඇද හැළුණු වර්ෂාව හේතුවෙන් තරගය පැවැත්වීමට නොහැකි වූවා පමණක් නොව දෙපිළේම කැමැත්ත ඇතිව දෙවැනි තරගයද දිනකින් කල් දැමීමට සිදුවිය. ඇද හැළුණු වර්ෂාව කෙතරම් ක්‍රීඩාංගණයට බලපෑම් කළේද කිවහොත් ක්‍රීඩාංගණය තුළට රැස් වුණු ජලය ඉවත් කිරීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරීමට ක්‍රීඩාංගණ සේවක පිරිසට සිදුවිය. මෙම තත්ත්වය මත පළමු තරගයට පසු දෙපිළම පළමු වරට එළිමහන් පුහුණු සැසියකට සහභාගි වූයේ අද (29 දා) දිනයේදීය.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ප.ව. 2 සිට 5 දක්වාත් පාකිස්තානු කණ්ඩායම ආලෝක ධාරා මධ්‍යයේත් සිය පුහුණුවීම් වලල නිරත විය. අදාළ පුහුණුවීම් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණීමේදී ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් 8000 කට අධික ආරක්ෂක හමුදා බල ඇණි කටයුතු කිරීම කැපී පෙනුණි. ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුවීම් කටයුතු සිදු කරන අවස්ථාවේදී මෙන්ම ඔවුන් රැදී සිටින හෝටල් පරිශ්‍රයද දැඩි ආරක්ෂිත කළාපයක් ලෙස නම් කරමින් දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා තිබීම, ආරක්ෂාව සම්බන්ධ වූ සැකය තුරන් කිරීමට ප්‍රධාන ලෙසින් ඉවහල් විය.

එපමණක් නොව ශ්‍රී ලංකා පිල ගමන් ගන්නා මාර්ගයන්හිදීද එම ආරක්ෂක විධි විධාන නිසියාකාරව ක්‍රියාත්මක වනු දැක ගැනීමට හැකි වූ අතර ශ්‍රී ලංකා ධජය සහ ශ්‍රී ලංකා කණ්ඩායම සාදරයෙන් පිළිගැනීම වෙනුවෙන් සකසා තිබෙන පුවරුද කරච්චි නගරය පුරා, හෙවත් වට රවුම් සහිත ස්ථාන මෙන්ම සියළුම මාර්ගවල ප්‍රදර්ශනය කර තිබීමද කැපී පෙනෙන සිදුවීම් විය.

ක්‍රීඩකයින් කිහිප දෙනෙකු හැරුණු කොට නවක ක්‍රීඩකයින් බහුතරයකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායම සිය පුහුණු සැසි වලදි ඉතා උද්‍යෝගයෙන් නිරතව සිටිනු දැක ගැනීමට හැකි විය. නවකයින්ගෙන් සමන්විත වුවද මෙම තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම භාර ගෙන සිටින ළහිරු තිරිමාන්න පවසන්නේ පාකිස්තානයට එරෙහිව තරගයක් දීමේ හැකියාව තමන් ඇතුළු කණ්ඩායමට තිබෙන බවයි.

“ඇත්තටම තරුණ ක්‍රීඩකයින්ට මේ තරගාවලිය හොඳ අවස්ථාවක්. ඒත් හරි දේ කළ යුතුයි. එහෙම වුණොත් අපිට මේ තරගාවලිය ජය ගන්න පුලුවන්” යි පවසන ශ්‍රී ලංකා පිලේ එක්දින නායකයා, “කණ්ඩායමට එකතුවී සිටින නවකයින්ට කණ්ඩායමේ ස්ථීර ස්ථානයක් දිනා ගැනීමට මේ තරගාවලිය හොඳ අවස්ථාවක්. මම හිතන විදියට විවිධත්වයකින් යුතු පන්දු යවන්නන් කණ්ඩායම තුළ සිටින එකත් වාසියක්. කණ්ඩායමේ 11 දෙනාගෙන් හත් දෙනෙකුට විතර පන්දු යැවීමේ හැකියාව තියෙනවා. ඒ නිසා පිතිකරුවන් ලෙස ක්‍රීඩා කරන්නන් හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා යෑම තමයි වැදගත් වෙන්නේ”යි වැඩිදුරටත් පවසයි.

ශ්‍රී ලංකාව

තිරිමාන්නගේ නායකත්වයෙන් යුතු එක්දින කණ්ඩායමේ ඉනිම ආරම්භ කිරීම වමත් සහ දකුණතු පිතිකරණ සංකලනයක් වන ධනුෂ්ක ගුණතිලක සහ සධීර සමරවික්‍රම විසින් සිදු කරන අතර අංක 3 ස්ථානයේ සුපුරුදු ලෙස 21 වැනි වියේ පසුවන අවිශ්ක ප්‍රනාන්දු ක්‍රීඩා කරනු ඇත. ශ්‍රී ලංකා පිලේ දකුණු අප්‍රිකානු සංචාරයේදී පිතිකරුවකු ලෙස කැපී පෙනුණු ඕෂධ ප්‍රනාන්දු අංක 4 පිතිකරණ ස්ථානයෙන්ද නායක තිරිමාන්න පස්වැනි ස්ථානයෙන්ද ශ්‍රී ලංකා පිලේ මැද පෙළ ශක්තිමත් කිරීමේ බලාපොරොත්තුවෙන් පසු වෙති.

කණ්ඩායමේ සිටින වටිනාම තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත්ව සිටින දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය කණ්ඩායමේ අවශ්‍යතාවය අනුව පන්දුවට පහර දීමේ කටයුත්තේ නියැළෙන නමුත් දෙදෙනාටම වේගයෙන් පන්දුවට පහර දීමේ හැකියාව පවතිනු ඇත. ඕනෑම අවස්ථාවක පන්දුවෙන් මෙන්ම පිතිකරණයෙන් දක්ෂතා දැක්විය හැකි ඉසුරු උදානට මෙම කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් හිමිවී තිබෙන අතර ලබා දුන් අවස්ථාවන් වලදී දක්ෂතා දැක්වීමට සමත්ව සිටින වනිඳු හසරංගද අමතක කර දැමිය නොහැකි ක්‍රීඩකයින්ගේ ලැයිස්තුවේ ඉදිරියෙන්ම සිටියි.

කවදත් පිතිකරුවන්ට හිතකර තණතීරුවක් ලෙසින් සැලකෙන කරච්චි තණතීරුවේදී වේග පන්දු යැවීමේ ප්‍රධාන වගකීම නුවන් ප්‍රදීප්ට සහ ළහිරු කුමාරට හිමිව තිබෙන නමුත් කණ්ඩායමේ අවශ්‍යතාවයන් අනුව සෙසු ක්‍රීඩකයින්ටද අවසන් 11 දෙනා අතරට පැමිණීමේ අවස්ථාව පවතිනු ඇත.

පාකිස්තානය

මේ වන විට පාකිස්තානු පිලේ ප්‍රලම අවි බවට පත්ව සිටින්නේ ආරම්භක පිතිකරු ෆකර් සමාන් සහ අංක 3 ස්ථානයේ ක්‍රීඩා කරන බාබර් අසාම්ය. ගෙවී ගිය වසර කීපයේදී පිතිකරුවන් ලෙස මොවුන් දෙදෙනා පාකිස්තානු පිල වෙනුවෙන් දැවැන්ත මෙහෙයකු ඉටු කර තිබෙන පිතිකරුවන් වෙති. ඒ අතරින් වඩාත් කැපී පෙනෙන්නේ බාබර් අසාම්ය. පාකිස්තානය වෙනුවෙන් එක්දින තරග 72 කට ක්‍රීඩා කොට ඇති අසාම් මුලු ලකුණු 3213 ක් රැස් කර ගැනීමට සමත්ව සිටින්නේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 53.55 ක් ලෙස රඳවා තබාගනිමිනි. ක්‍රීඩා කරන ලද කාලයේදී ශතක 10 කට හිමිකම් කියා සිටින මෙම හැඩකාර දකුණත් පිතිකරුවා අර්ධ ශතකද 15 ක් රැස් කර ගැනීමට සමත්ව තිබේ.

ඔහුට වඩා අඩු තරග සංඛ්‍යාවක් හෙවත් තරග 44 කට ක්‍රීඩා කර ඇති වමත් පිතිකරු ෆකාර් සමාන් එක්දින ජාත්‍යන්තර තරගයකදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් පිතිකරුවාගේ වාර්තාවට හිමිකම් කියයි. ඔහු සිම්බාබ්වේට එරෙහිව 2018 වසරේදී නොදැවී රැස් කරන ලද ලකුණු 210 ක ඉනිම එම වාර්තාව වේ.

එමෙන්ම පැයට කිලෝ මීටර 145 ට වැඩියෙන් පන්දු යැවීමට හැකි වේග පන්දු යවන්නන් කීප පළක්ම සංචිතයේ පසුවන අතර ඉන් මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන මොහොමඩ් ආමර්, ශ්‍රී ලංකා පිතිකරුවන් වැඩිම අවධානයක් යොමු කළ පන්දු යවන්නා බවට පත්ව සිටියි. ඕනෑම අවස්ථාවක කඩුල්ලක් ලබා ගැනීමේ හැකියාව පවතින පන්දු යවන්නකු වන ආමර්ට පන්දුව දෙපසටම හොඳින් දෝලනය කිරීම කඩුලු දවා ගැනීමේ ප්‍රධානතම උපක්‍රමය ලෙස භාවිත කරයි.

තණතීරුවේ වාසිය කාටද…?

රාත්‍රි කාලයේදී කරච්චි තණතීරුවේ පැවැත්වෙන තරගවලදී ජයග්‍රහණයට සෘජුවම බලපෑම් කරනු ලබන සාධකයක් බවට පින්න හැඳින් විය හැක. දිවා කාලයේදී තරමක උෂ්ණ කාලගුණ තත්ත්වයක් පැවැතුණිද රාත්‍රි කාලයේදී දැඩි පිනි සහිත තත්ත්වයක් ඇතිවීම නිසා මෙම තරගයේ කාසියේ වාසිය ඉතාමත් තීරණාත්මක සාධකයක් ලෙසින් සැලකෙයි. ඒ අනුව කාසියේ වාසිය දිනුවහොත් ප්‍රථමයෙන් පන්දු යැවීමට වඩා පන්දු රැකීම කාලෝචිත වන්නේ රාත්‍රී කාලයේදී පන්දු යැවීමේදී පින්නෙන් පන්දුව තෙත බරිත තත්ත්වයකට පත්වන බැවිනි. එසේ වුවහොත් පන්දු යැවීමේදී පන්දුව නිසියාකාරවම ග්‍රහණය කර ගැනීම පන්දු යවන්නන්ට අභියෝගයකි.

“මම කරච්චිවල මීට කළින් ක්‍රීඩා කරලා නෑ. ඒත් මම අහලා තියෙන විදියට මේ විකට් එක බැට් කරන්න ලේසියි. පන්දු යවන්නන්ටත් මේ තණතීරුවේ ලොකු දෙයක් කරන්න පුලුවන් වෙයි කියලා හිතනවා. ඒකනිසා මෙහි දෙපැත්තටම වාසියක් තියෙන තණතීරුවක් විදියට සලකන්න පුළුවන්. කොහොම වුණත් කළින් කිව්වා වගේ අපේ පන්දු යවන්නන් හොඳින් පන්දු යැව්වත් අපිට හොඳ තරගයක් දීමේ හැකියාව පවතිනවා”යි තිරිමාන්න අදහස් දක්වයි.

අපේක්ෂිත කණ්ඩායම්

ශ්‍රී ලංකා පිල – ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ළහිරු තිරිමාන්න (නායක) ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, ඉසුරු උදාන, වනිඳු හසරංග, නුවන් ප්‍රදීප්, ළහිරු කුමාර.

පාකිස්තානු පිල – ෆකාර් සමාන්, ඉමාම් උල්හක්, බාබර් අසාම්, හැරිස් සොහෙල්, ශෆ්‍රාස් අහමඩ් (නායක), අසීෆ් අලී, ඉමාඩ් වසීම්, ශාදාබ් ඛාන්, වහාබ් රියාස්, මොහොමඩ් ආමර්, උස්මාන් ශින්වරි.

වර්ෂාවෙන් බාධා ඇතිවිය හැකිද…?

පාකිස්තානය යනු වර්ෂාව අවම වශයෙන් ඇද හැළෙන රටකි. වසරක් ගත් විට බොහෝ විට දින 20 ක් හෝ වර්ෂාව ඇද හැළෙනුයේ එහෙමමත් වසරකදීය. එහෙත් මෙම තරගය පැවැත්වෙන දිනයේදී වර්ෂාවෙන් බාධා ඇතිවීමේ ප්‍රවණතාවයක් කාලගුණ වාර්තාවල පෙන්නුම් කරයි. ප්‍රතිශතකයක් ගත්විට එය 10% ක තරම් වන නමුත්, කෙටි වර්ෂාවකදී වුවද පතිත වන ජලය බැස යෑමේ නිසි කාණු පද්ධති එරට තුළ නොමැති බැවින් ජලය බැස යෑම තරමක ගැටලුකාරී තත්ත්වයකි. මෙය පළමු තරගයට පෙර පැය 2 ක කාලයක් ඇද හැළුණු වර්ෂාව දෙස අවධානය යොමු කිරීමේදී පැහැදිළිවම පෙනී ගිය කරුණකි.

Active filters

Recent Posts

Pin It on Pinterest

USD United States (US) dollar