slc
logo
Home   |    News
සැප්තැම්බර් 12, 2019
පාකිස්තානු සංචාරය සඳහා කණ්ඩායම් නම් කෙරෙයි

Sri Lanka Cricket

පාකිස්තානය සමඟ පැවැත්වීමට නියමිත එක්දින සහ විස්සයි-20 තරගාවලිය සඳහා නම් කරන ලද එක්දින කණ්ඩායමේ නායකත්ව ළහිරු තිරිමාන්නටත්, විස්සයි-20 කණ්ඩායමේ නායකත්වය දසුන් ශානකටත් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකා එක්දින පිලේ සහ විස්සයි-20 පිලේ නායකයන් වන දිමුත් කරුණාරත්න සහ ලසිත් මාලිංග ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් 10 දෙනෙකු පාකිස්තානු තරග සංචාරයට සහභාගිවීමට අකමැත්ත පළ කිරීමත් සමඟ ඉහත නම් සඳහන් ක්‍රීඩකයින් දෙපළගේ නායකත්වයෙන් යුතු කණ්ඩායම් 2 ක පාකිස්තානු සංචාරයට සහභාගි කරවීමට තේරීම් කමිටුව පියවර ගනු ලැබීය.

තවමත් ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කොට නැති මිනෝද් භානුක එක්දින සහ විස්සයි-20 කණ්ඩායම් දෙකටම කැඳවා තිබෙන අතර භානුක රාජපක්ෂ විස්සයි-20 කණ්ඩායමට නම් කර තිබේ. මොවුන් දෙදෙනාම දේශීය තරග පිටියේ සහ ඒ තරගාවලියන්හිදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත්ව ඇති ක්‍රීඩකයෝ වෙති.

කණ්ඩායමට 2 ට නම් කර ඇති නායකයින් අතර දසුන් ශානක පමණක් මීට පෙර ශ්‍රී ලංකා පිල මෙහෙයවා නොමැති නමුත් එක්දින තරග අංශයේ නායකත්වයට පත් ළහිරු තිරිමාන්න මීට පෙර එක්දින තරග 3 කදී ශ්‍රී ලංකාව මෙහෙයවා තිබේ. එම තරග 3 අතුරින් එක් තරගයක් ජයගැනීමට සමත්ව තිබෙන අතර අනෙක් තරග 2 පරාජයට පත්ව තිබේ. ඒ අනුව දසුන් ශානක ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 තරග අංශයේ නායකත්වයට පත් 10 වැනියා වන්නේය.

එක්දින තරග අංශයට ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ද විස්සයි-20 තරග අංශයට 16 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් නම් කර තිබේ. කෙසේ වෙතත් එක්දින තරග අංශයට නම් කොට විස්සයි-20 තරග අංශයට නම් කර නැති එකම ක්‍රීඩකයා වන්නේ ළහිරු තිරිමාන්න පමණි. ඒ අනුව විස්සයි-20 තරග අංශය සඳහා ළහිරු මධුශංක සහ භානුක රාජපක්ෂ දෙදෙනා කණ්ඩායමට ඇතුළත්ව සිටිති.

ශ්‍රී ලංකා එක්දින පිල – ළහිරු තිරිමාන්න (නායක), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, ඕෂධ ප්‍රනාන්දු, අවිශ්ක ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර.

ශ්‍රී ලංකා විස්සයි-20 පිල – දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, සධීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ෂෙහාන් ජයසූරිය, ඇන්ජලෝ පෙරේරා, භානුක රාජපක්ෂ, මිනෝද් භානුක, ළහිරු මධුශංක, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රජිත, ළහිරු කුමාර.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest