ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ වයස අවුරුදු 23න් පහළ දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (05 දා) කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී ආරම්භ වූ අතර, තරුශ්ක ආශෙල්ගේ අගනා ශතකය මත පළමු දිනය නිමාවන විට බී.ආර්.සී. කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 5ක් දැවී ලකුණු 340ක් රැස් කර ප්‍රබල ස්ථානයකට පැමිණීමට සමත්විය.
බ්ලූම්ෆීල්ඩ් පිලේ නායක තරින්ද ගුරුගේ කාසියේ වාසිය දිනාගෙන පළමුවෙන් පන්දුවට පහර දීමට බී.ආර්.සී. කණ්ඩායමට ආරාධනා කළ අතර, එම තීරණයට දැඩි පිළිතුරක් ලබා දීමට ආරම්භක පිතිකරුවන් වූ ඉසුරු ප්‍රනාන්දු සහ තරුශ්ක ආශෙල් සමත් වූහ.
මෙම යුගලය පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 104කදී ලකුණු 81ක සබඳතාවක් ගොඩනඟමින් කණ්ඩායමට ශක්තිමත් ආරම්භයක් ලබා දුන්හ. ඉසුරු ප්‍රනාන්දු පන්දු 55කදී හතරේ පහර 8ක් සමඟින් ලකුණු 39ක් රැස් කර දැවී ගියද, තරුශ්ක ආශෙල් ඉනිමේ වගකීම භාර ගනිමින් දැවැන්ත ඉනිමක් ගොඩනැගීය.
ආශෙල් සිය ශතකය වාර්තා කරමින් පන්දු 182කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 8ක් සමඟින් ලකුණු 144ක් රැස් කළේය. ඔහු කුසල් විජේතුංග සමඟ දෙවැනි කඩුල්ලට ලකුණු 49ක සබඳතාවක් එක් කළ අතර, යසිරු රොද්‍රිගෝ සමඟ සිව්වැනි කඩුල්ලට පන්දු 162කදී ලකුණු 93ක වටිනා සබඳතාවක්ද ගොඩනැගීය.
කුසල් විජේතුංග පන්දු 38කදී ලකුණු 25ක් ලබා සිටියදී දැවී ගිය අතර, පළමු දිනය අවසන් වන විට යසිරු රොද්‍රිගෝ පන්දු 154කදී හතරේ පහර 10ක් සමඟින් නොදැවී ලකුණු 71ක් ලබා සිටියේය. ඔහුට අනෙක් අන්තයෙන් හොඳ සහායක් ලබා දුන් ලිත්ම පෙරේරා පන්දු 48කදී ලකුණු 32ක් නොදැවී රැස් කළේය.
මෙම යුගලය හයවැනි කඩුල්ල සඳහා පන්දු 104කදී නොදැවුණු ලකුණු 63ක සබඳතාවක් ගොඩනඟා තිබීම බී.ආර්.සී. කණ්ඩායමට දෙවැනි දිනයේදී තවත් විශාල ලකුණු සංඛ්‍යාවක් කරා යාමේ අවස්ථාවක් නිර්මාණය කර ඇත.
බ්ලූම්ෆීල්ඩ් පිල වෙනුවෙන් පන්දුවෙන් කැපී පෙනුණු කවීෂ පියුමාල් ලකුණු 61කට කඩුලු 2ක් දවා ගත් අතර, නායක තරින්ද ගුරුගේ ලකුණු 109කට කඩුලු 2ක් බිඳ හෙළීය. නිසල අබේරත්න ද එක් කඩුල්ලක් හිමි කර ගත්තේය.
කෙටි ලකුණු පුවරුව
බී.ආර්.සී. – පළමු ඉනිම 340/5 (පන්දුවාර 87)
තරුශ්ක ආශෙල් 144, යසිරු රොද්‍රිගෝ නොදැවී 71, ඉසුරු ප්‍රනාන්දු 39, ලිත්ම පෙරේරා නොදැවී 32, කුසල් විජේතුංග 25, තරින්ද ගුරුගේ 109/2, කවීෂ පියුමාල් 61/2






