slc
logo
Home   |    News
සැප්තැම්බර් 2, 2019
පළමු තරගයේ ජය ශ්‍රී ලංකාවෙන් ගිලිහෙයි

Sri Lanka Cricket

චමිල කරවිට පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ සිට

ක්‍රිකට් ලොව අද්විතීය වාර්තාවන් රැසකට හිමිකම් කියන ලසිත් මාලිංග විස්සයි/20 තරග ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියාගේ කිරුළට හිමිකම් කියද්දී පන්දු රකින්නන්ගෙන් ලැබිය යුතු දායකත්වය නිසියාකාරව නොලැබී යෑම මත නවසීලන්තය සමඟ පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති පළමු විස්සයි/20 තරගයෙන් අනපේක්ෂිත පරාජයක් අත්විඳීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (01 දා) සිදුවිය. සත්කාරකයින්ට  එරෙහිව කඩුලු 5 ක ජයක් ලෙසින් සටහන් වුණු මෙම ජයග්‍රහණයත් සමඟ තරග 3 කින් සමන්විත දෙරට අතර විස්සයි/20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද සංචාරකයින්ට අවස්ථාව උදාවිය.

දෙපිළේම නායකයින් වේගපන්දු යවන්නන් වීම පමණක් නොව ආරම්භක පන්දු යවන්නන් ලෙසින්ද කටයුතු කරන ලද මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 දී කඩුලු 4 ක් දැවී ලකුණු 175 ක ඉලක්කය සංචාරක පිල හමුවේ තැබීය. පන්දුවාරයකට ලකුණු 8.75 ක දළ වේගයක් රඳවා තබා ගැනීමේ අභියෝගය නවසීලන්ත පිල හමුවේ තිබුණද වඩාත් කල්පනා කාරීව පිති හැසිර වූ නවසීලන්ත පිතිකරුවෝ පන්දු 3 ක් ඉතිරිව තිබියදී එම ඉලක්කය පසු කර ගියේ කඩුලු 5 ක් පමණක් ප්‍රතිවාදීන් හමුවේ ලබා දෙමිනි.

එම හඹා යෑමේදී පළමු කඩුලු 3 ම ලකුණු 39 කදී බිඳ වැටුණු නමුත් සිව්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 38 කදී ලකුණු 79 ක සම්බන්ධතාවයක් ගොඩ නැවූ රොස් ටේලර් සහ කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් සත්කාරකයින් සතුව තිබූ තරගයේ වාසිය නවසීලන්ත පිල වෙත හරවා ගත්හ. ඒ අතරතුරදී දවා ගැනීම සඳහා රොස් ටේලර් අවස්ථා දෙකක්ම ලබා දුන් නමුත් දසුන් ශානක සහ ෂෙහාන් ජයසූරිය අතින් එය ගිලිහී ගියහ. අකිල ධනංජයගේ සහ කසුන් රජිතගේ පන්දු හමුවේ එම උඩ පන්දු 2 ටේලර් ලබා දෙන විට ඔහු පිළිවෙළින් ලකුණු ලකුණු 31 ක් සහ 40 ලබා සිටියේය.

කෙසේ වෙතත් ලසිත් මාලිංග විසින් ඩි ග්‍රෑන්ඩ්හෝම්වත් මංගල තරගයට ක්‍රීඩා කළ වනිදු හසරංග විසින් රොස් ටේලර් දවා ගැනීමත් සමඟ යළිත් තරගය දෙපිළටම විවෘත වූයේ අවසන් පන්දු 18 ඇතුළත ලකුණු 31 ක් ලබා ගැනීමේ අභියෝගය නවසීලන්තය හමුවේ ඉතිරි කරමිනි. උදාන විසින් ක්‍රියාත්මක කරන ලද 18 වැනි පන්දුවාරයේදීත් මාලිංග යවන ලද 19 වැනි පන්දුවාරයේදීත් ලකුණු 13 සහ 15 බැගින් ලබා ගැනීමට මිචලේ සැන්ට්නර් සහ ඩැරල් මිචෙල් සමත්වූහ.

විස්සයි/20 තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇති පන්දු යවන්නාගේ ලෝක වාර්තාවට ලසිත් මාලිංග හිමිකම් කීම පරාජිත තරගයේ ශ්‍රී ලංකාවට තිබූ එකම සැනසීම විය. ලකුණු 23 කට කඩුලු 2 ක් දවා ගත් මාලිංග අද බිඳ හෙළන ලද්දේ තරග 99 කදී කඩුලු 98 ක් දවා ගනිමින් පාකිස්තානු පිලේ ශහිඩ් අෆ්රිඩි තබා තිබූ ලෝක වාර්තාව විය. ක්‍රීඩා කරන 74 වැනි තරගයේදී වැඩිම කඩුලු ලාභියාබවට පත්වූ මාලිංගට විස්සයි/20 තරග පිටියේ කඩුලු 100 ක් දවා ගත් ලොව පළමු පන්දු යවන්නා බවට පත්වීමට අවශ්‍ය වන්නේ එක් කඩුල්ලක් පමණි.   මංගල තරගයට ක්‍රීඩා කළද ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන පන්දු යවන්නා වූයේ වනිඳු හසරංගයි. යවන ලද ඕවර 4 දී ලකුණු 21 ක් පමණක් ලබා දුන් හසරංග කඩුලු 2 ක් බිඳ හෙළීය.

තරගය නැරඹීමට පැමිණි 22,000 කට අධික ක්‍රීඩා ලෝලීන්ගේ හදවත් ඇඳ බැඳ ගනු ලැබූ ඉනිම බවට පත්වූයේ කුසල් මෙන්ඩිස්ගේ සුවිශේෂී ඉනිමයි. නවසීලන්ත පන්දු යවන්නන් හමුවේ අනුකම්පා විරහිත අයුරින් දියත් කරන ලද කුසල් මෙන්ඩිස් ගේ ලකුණු 79 කින් සමන්විත ඉනිම සඳහා ඔහු පන්දු 53 කට මුහුණ දුන්නේය. විස්සයි/20 තරග දිවියේ 5 වැනි අර්ධ ශතකය පන්දු 35 කදී වාර්තා කරගත් හුරුබුහුටි මේ දකුණත් පිතිකරුවා අනතුරුව ලබා ගත් ලකුණු 28 සදහා වැය කරන ලද්දේ පන්දු 18 ක් පමණි. විස්සයි/20 තරග දිවියේ වටිනාම ඉනිම බවට පත්වූ මෙම ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් 

කුසල් පෙරේරා සමග ඉනිම ඇරැඹි කුසල් මෙන්ඩිස් ආරම්භයේ සිටම මනා විශ්වාසයකින් යුතුව පන්දුවට පහර දුන්නේය. පළමු කඩුල්ල වෙනුවෙන් කුසල්ලා එක්ව රැස් කරන ලද ලකුණු 41 ක සම්බන්ධතාව සහ අවසන් පන්දුවාරයේදී දසුන් ශානක සහ ඉසුරු උදාන එක්ව රැස් කරන ලද ලකුණු 23 මෙතරම් ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට ශ්‍රී ලංකා පිලට ඉඩ ප්‍රස්ථාව විවර කර දුන්හ.

නවසීලන්ත පන්දු යවන්නන් අතරින් වැඩිම ප්‍රහාරයකට ලක් වූ පන්දු යවන්නා බවට පත්වූ සෙත් රාන්ස් විසින් තරගයේ ක්‍රියාත්මක කරන ලද සිව්වැනි පන්දු වාරයේදී හතරේ පහර 3 ක් සහ හයේ පහරක් සමගින් රැස් කරන ලද ලකුණු 19 ත් සමඟ පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 41 ක සම්බන්ධතාවක් එක් කිරීමට කුසල් ලා සමත්වූහ. ඒ සඳහා ඔවුහු වැය කරන ලද්දේ පන්දු 27 ක් පමණි. 

මෙන්ඩිස්ට සාපේක්ෂව කුසල් පෙරේරා සහ අවිශ්ක ප්‍රනාන්දු ට පිතිකරුවන් ලෙස විශ්වාසයක් ගොඩ නගා ගැනීමට නොහැකි විය. පෙරේරා සවුතිගේද අවිශ්ක සැන්ට්නර්ගේද ගොදුරු බවට පත්වෙමින් දැවී යන විට පිළිවෙලින් ලකුණු 11 ක් සහ 10 ක් බැගින් ලබා සිටියහ.

කුසල්ලාගේ සම්බන්ධතාවය ප්‍රධාන කොට පවර් ප්ලේ අවස්ථාවට හිමි පන්දුවාර 6 තුළදී ලකුණු පන්දුවාරයකට ලකුණු 10 ක දළ ලකුණු වේගයක් රඳවා ගනිමින් ලකුණු රැස් කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුවද ඒ අතරතුර මොවුන් දෙදෙනාම දැවී යෑම නිසා ශ්‍රී ලංකා ඉනිමේ හරි අඩක් හෙවත් පන්දුවාර 10 අවසනදී රැස් කරගත හැකි වූයේ ලකුණු 13 ක් පමණි. කෙසේ වෙතත් කුසල් මෙන්ඩිස්ට එක්වූ නිරෝෂන් දික්වැල්ල නැවතත් ශ්‍රී ලංකා පිල ඔසවා තබන ලද්දේ තෙවැනි කඩුල්ල වෙනුවෙන් ශ්‍රී ලංකා ඉනිමේ වාර්තා වුණු වැඩිම ලකුණු සම්බන්ධතාවයට හිමිකම් කියමිනි. ලකුණු 63 කින් සමන්විත වුණු එම සම්බන්ධතාවයට ඔවුන් වැය කර තිබුණේ පන්දු 42 ක් පමණි.

මනා පාලනයකින් යුතුව පන්දු යැවූ නායක ටිම් සවුතිට මිඩ් විකට් කළාපයට ඉහළින් පහරක් එල්ල කිරීමට යෑමේදී දැවී ගිය නමුත් විස්සයි/20 තරග දිවියේ වැඩිම ලකුණු සංඛ්‍යාව අද තරගයේදී වාර්තා කර ගැනීමට මෙන්ඩිස් සමත්විය. පන්දු 14 කදී පමණක් ලකුණු ලබා නොගත් මෙන්ඩිස් දැවී යන විට තම ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 8 කින් වර්ණවත් කරගෙන සිටියේය. මෙන්ඩිස්ට අනගි සහායක් දුන් දික්වැල්ල කඩුලු අතර දිව යෑමට යද්දී දැවී යන විට පන්දු 25 කදී ලකුණු 33 ක් ලබා සිටියේය. සෙත් රාන්ස් විසින් ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේ අවසන් පන්දු 3 ට මුහුණ දීම සඳහා පැමිණි ඉසුරු උදාන හයේ පහර 2 ක් සමගින් ලකුණු 15 ක් රැස් කරගත්තේය. ඉසුරු පැමිණීමට පෙර එම පන්දුවාරයේදීම හයේ පහරක් එල්ල කිරීමට දසුන් ශානක සමත්වී තිබුණ හෙයින් අවසන් පන්දුවාරයේදී ලකුණු 23 ක් උදුරා ගැනීමට දසුන් සහ උදාන යුගල සමත්වූහ.

වරින් වර බාධා ඇතිවීම මත මෙම තරගය මිනිත්තු 05 ක ප්‍රමාදයෙන් ඇරඹුණු නමුත් නියමිත පන්දුවාර සංඛ්‍යාවේ වෙනසක් නොවීය.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee