slc
logo
Home   |    News
ඔක්තෝබර් 28, 2019
යොවුන් පිල කඩුලු 3 ට ලකුණු 155 යි

Sri Lanka Cricket

පළමු දින 2 ටම වර්ෂාවෙන් බාධා ඇතිවුණු ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායම සහ බංග්ලාදේශ යොවුන් කණ්ඩායම අතර බරිසාල්හි පැවැත්වෙන පළමු නිල නොවන සිව් දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (28 දා) දිනය අවසනදී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා යොවුන් පිල කඩුලු 3 කට ලකුණු 155 ක් ලබා සිටියි.

තෙවැනි දිනයේ ආරම්භයටද වර්ෂාවෙන් බාධා ඇතිවූ නමුත් දිවා ආහාරයෙන් පසු තරගය ආරම්භ වුණු අතර තෙවැනි දිනය පන්දුවාර 36 කට සීමා විය. දිනය අවසනදී පන්දුවට පහර දෙමින් සිටින සොනාල් දිනූෂ පන්දු 69 කදී ලකුණු 46 ක්ද නායක නිපුන් ධනංජය පන්දු 40 කදී ලකුණු 18 ක්ද ලබා සිව්වැනි දිනය වන හෙට (29 දා) දිනයේදීද පන්දුවට පහර දීමේ අවස්ථාව උදාකරගෙන සිටිති. තරගයේ එල්ල කරන ලද එකම හයේ පහරද හිමිකම් කී සොනාල් දිනූෂ පළමු දිනට තරගය හමාර කරන විට තවත් හතරේ පහර 5 කින් තම ඉනිම සරසාගෙන සිටියේය.

කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස තවීෂ අභිෂේක් (01) මුළු ලකුණු සංඛ්‍යාව 08 ක්ව තිබියදී දවා ගැනීමට අසාදුල්ලා ගලීබ් සමත් වුවත් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක් එක් කිරීමට චමිඳු වික්‍රමසිංහ සහ රවිඳු රසාන්ත දෙදෙනා සමත්වූහ.

දිනයේ දැවී ගිය කඩුලු 3 න් දෙකකම හිමිකරුවා බවට පත්වූ අසාදුල්ලා ගලීබ් සිය දෙවැනි කඩුල්ල ලෙසින් චමිඳු වික්‍රමසිංහ ලකුණු 45 කට දවා ගන්නා විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 74 ක් ලෙසින් සටහන් ව තිබිණ. අනතුරුවම පිටියට පිවිසි සොනාල් දිනූෂට එක්වූ රවිඳු රසාන්ත තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු රැස් කළද එම සම්බන්ධතාවය නෝමන් චෞද්‍රි විසින් බිඳ දමන ලද්දේ එම සම්බන්ධතාවයට ලකුණු 18 ක් එක්ව තිබියදීය. දැවී යන විට රවිඳු රසාන්ත පන්දු 54 කට මුහුණ දී ලකුණු 21 ක් ලබා සිටියේය.

තරගයේ පළමු දින 2 දීම වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා එකම හෝ පන්දුවක් යැවීමට නොහැකි විය. හෙට (29 දා) තරගයේ සිව්වැනි සහ අවසන් දිනයයි.

Active filters

Recent Posts

USD United States (US) dollar

Pin It on Pinterest