slc
logo
Home   |    News
ඔක්තෝබර් 6, 2019
විස්සයි-20 ප්‍රභලයින් බිංදුවට දැමූ ඒ ජයග්‍රහණය..

Sri Lanka Cricket

ජයග්‍රහණය ගැන ලොකු විශ්වාසයක් තිබ්බා – දසුන් ශානක

විස්සයි-20 රටරවල් ශ්‍රේණිගත කිරීමේ අංක 1 ස්ථානයේ වැජඹීමේ සිට සියළු වාසි පාකිස්තානු පිල සතුව පවතිද්දී විස්සයි-20 තරගාවලිය ආරම්භ කරමින් පැවැති පළමු තරගයේදීම සත්කාරකයින්ට එරෙහිව ලකුණු 64 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්වීම සැබැවින්ම ප්‍රශංසනීයය.

එක්දින තරගාවලිය ජයග්‍රහණය කිරීමෙන් ලද ජයග්‍රාහී මානසිකත්වය, අවසන් වරට තරග වැදි විස්සයි-20 තරග 6 ම ශ්‍රී ලංකාවට එරෙහිව ජය ලබා තිබීම, ජ්‍යෙෂ්ඨයින් රහිත කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කිරීම, සත්කාරකත්වයේ වාසිය මෙන්ම කාසියේ වාසිය ආදී ජයග්‍රහණය කෙරෙහි සෘජුවම බලපාන කරුණු සියල්ලම පැවැතියේ පාකිස්තානු පිලේ වාසියටය. තරගයක ජයග්‍රහණයක් කෙරෙහි බලපෑ හැකි සියළුම තුරුම්පු පාකිස්තානු පිල සතු වුවද එදින පාකිස්තානයේ දිනය නොවුණේ එම ක්‍රීඩකයින්ගේ දක්ෂතා වලට වඩා වැඩි දක්ෂතාවයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විදහා දැක්වීම නිසාය.

පාකිස්තානය එසේ පරාජයට පත් වන්නේ ඉහත කී සියළ තුරුම්පු අත තබා ගෙනය. එපමණක් නොව 19 හැවිරිදි මොහොමඩ් හස්නේන් විසින් ලබා ගන්නා ලද කඩුලු ත්‍රිත්වයේ වාසියද පාකිස්තානු පිල සතු විය. එහෙත් ශ්‍රී ලංකා පිලේ විස්සයි-20 නායකත්වයට පත් දසුන් ශානක ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම කණ්ඩායමක් ලෙස තමන් වෙත තබා තිබූ විශ්වාසයට ඉහත කරුණු සියල්ල පරාජය විය.

ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින් නොමැති වුවද කලකට පසු කණ්ඩායමේ සියළුම ක්‍රීඩකයින් ජයග්‍රහණය සඳහා දායක වූ තරගයක් ලෙස මෙම තරගය හැඳින්විය හැක. පන්දුවට පහර දීම, පන්දු යැවීම සහ පන්දු රැකීම යන තුන් ඉරියව්වේ දක්ෂතා ඉතා ඉහළ මට්ටමක පැවැතීම ලොව අංක 1 විස්සයි-20 කණ්ඩායම පරාජය කිරීමේ රහස බවට පත්විය.

ලද ජයග්‍රහණය පිළිබඳව තරගයෙන් පසු පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා විස්සයි-20 නායක දසුන් ශානක, සැලසුම් කළ සියල්ල ඒ අයුරින්ම ක්‍රියාත්මක වීම නිසා තරගය ජය ගනිමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් අත්කර දීමට තමන් ඇතුළු කණ්ඩායමට හැකි වූ බව පවසා සිටියේය.

“ඇත්තටම තරගයට එන්න කළින්ම මගේ කණ්ඩායම ගැන මට ලොකු විශ්වාසයක් තිබ්බා. ඒ විශ්වාසයත් එක්ක තමයි අපි තරගය සැලසුම් කළේ. මම හිතනවා මම ගොඩක් සාර්ථක වුණා කියලා මේ තරගයේදී. විශේෂයෙන්ම තරගය ගැන විශ්ලේෂණය කරලා කතා බහ කරපු දේවල් ඒ විදිහටම වුණා. ඉතිං ඉස්සරහටත් මේ විදියට සැලසුම් කරමින් ඉතුරු තරග 2 ත් හොඳින් ක්‍රීඩා කරලා ශ්‍රී ලංකාවට ගෞරවයක් ලබා දෙන්න තමයි අපේ බලාපොරොත්තුව වෙලා තියෙන්නේ”යි ශානක අදහස් දැක්වීය.

පිතිකරණය පැත්තෙන් ධනුෂ්ක ගුණතිලක සහ අවිශ්ක ප්‍රනාන්දු එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 58 කදී රැස් කරන ලද ලකුණු 84 ක සම්බන්ධතාවය පෙරටු කොට ලකුණු 166 ක ඉලක්කයක් පාකිස්තානය හමුවේ තැබීමට ශ්‍රී ලංකා පිලට හැකියාව ලැබිණ.  මෙම සම්බන්ධතාවය සටහන් වූයේ 2019 වසර තුළ මේ දක්වා ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලක් ගොඩ නගන ලද හොඳම සම්බන්ධථාවය ලෙසිනි.

මොවුන් දෙදෙනාට අමතරව කැපී පෙනෙස ඉනිමක් ක්‍රීඩා කරන ලද්දේ කෝඩුකාර භානුක රාජපක්ෂය. මංගල තරගය වුවද භානුක පහර දුන්නේ පරිණත පිතිකරුවකුගේ ලක්ෂණ විදහා පාමිනි. පන්දු 22 කදී වාර්තා වුණු ලකුණු 32 ක ඉනිම සඳහා හේ හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් කළේය. භානුක විසින් එල්ල කරන ලද 6 පහර දෙකෙන් එකක් කඩුලු ත්‍රිත්වට හිමිකම් කී මොහොමඩ් හස්නේන්ට එරෙහිව එල්ල කළ එකකි. එක්ස්ට්‍රා කවර් සහ ලෝන් ඕෆ් කළාපයට ඉහළින් එල්ල කරන ලද එම පහර පරිණත පිතිකරුවකුගෙන් එල්ල වුණු පහරක් ලෙසින් දිස්විය.

පූර්විකාවේ සඳහන් කළ පරිදි සියල්ල තමන්ගේ වාසියට තිබියදී හඹා යෑම ඇරැඹි පාකිස්තානු පිල පන්දුවාර 17 කුත් පන්දු 4 කදී ලකුණු 101 ක් සීමා කරමින් නොසිතූ ආගාධයකට පාකිස්තානය ඇද දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වූහ.

“ඇත්තටම මේ තරගයේදී අපේ හොද සූදානමක් තිබුණා. එක්දින තරග දෙකත් අපි හොඳට කරලා දෙවැනි තරගය පරාජයට පත් වුණේ ජයග්‍රහණය ආසන්නයටම ඇවිල්ලා. මම කළින් කිව්වා වගේ අපේ දඟ පන්දු යවන්නන්ට එන කඩුලු අඩු හින්දා තමයි අපිට මෙතෙක් තරගයක් ජයග්‍රහණය කරන්න නොහැකි වුණේ. නමුත් මේ තරගයෙදි අපේ පන්දු යවන්නෝ හොඳින් පන්දු යැව්වා”.

“අංක එකේ පන්දු කණ්ඩායම මේ වගේ අඩු ලකුණු සංඛ්‍යාවකට තියාගන්න පුළුවන් වුණේ අපේ තරුණ ක්‍රීඩකයෝ තරගය ගැන හොඳට විශ්ලේෂණය කරලා තරගයට ආපු නිසයි” යි දසුන් ශානක වැඩිදුරටත් අදහස් දැක්වීය.

පන්දු යැවීමේදී නුවන් ප්‍රදීප් සහ ඉසුරු උදාන පාකිස්තානු පිලේ කඩුලු 3 බැගින් දවා ගත්තේ පිළිවෙළින් ලකුණු 21 ක් සහ 20 ක් පමණක් ලබා දෙමිනි. දඟ පන්දු යවන්නකු වශයෙන් වනිඳු හසරංග පන්දුවාර 4 ක් යවා ලකුණු 20 කදී කඩුලු 2 ක් දවා ගනිද්දී ලක්ෂාන් සඳකැන් සිය පන්දුවාර 4 ලකුණු 24 කදී නිමා කිරීමට සමත්විය. සමස්ථයක් ලෙස ගත් විට අතිරේක ලකුණු ලබා දීමේදීද ශ්‍රී ලංකා පිල සිටියේ පාකිස්තානයට ඉදිරියෙනි. පාකිස්තානය පන්දු රැකීමේදී අතිරේක ලකුණු 12 ක් දෙන අතර වාරයේ ශ්‍රී ලංකා පිල ලබා දෙන ලද්දේ ලකුණු 07 ක් පමණි.

පාකිස්තානු ඉනිම වේලාසනින්ම නිමා කිරීම සඳහා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණේ පන්දු රකින්නන්ගෙන් ලැබුණු සහයෝගය නිසාය. මෙහිදී බාබර් අසාම්ව දවා ගැනීම වෙනුවෙන් කඩුලු රැකි මිනෝද් භානුක පළමු ස්ලිප් ස්ථානය වෙත ගුවනේ පියාඹා ගොස් දකුණතින් රැක ගන්නා ලද උඩ පන්දුව සැබැවින්ම විශිෂ්ඨ ගණයේ විය. මිනෝද්ගේ එම උඩ පන්දු රැකීමෙන් පසු කැපී පෙනෙන දවා ගැනීමකට හවුල් වූයේ දසුන් ශානකය. ඒ හයේ පහර 2 ක් සමඟ පන්දු 24 කදී ලකුණු 25 ක් ලබා ගනිමින් සාර්ථක ලෙස පන්දුවට පහර දෙමින් සිටි ඉෆ්තිකාර් අහමඩ්ව දුවද්දී දවා ගැනීමට හසුකර ගැනීමෙනි.

මිඩ් ඕන් කළාපයට පන්දුව තල්ලු කරමින් ලකුණක් සඳහා පැති මාරුකරගැනීමට යෑමේදී එක්ස්ට්‍රා කවර් කළාපයේ සිට වේගයෙන් පන්දුවට පැමිණි දසුන් එය තනි අතින් රැගෙන පන්දු යවන කඩුල්ලේ සිටි ඉසුරු උදානට වෙත සුරක්ෂිතව භාර දුන්නේය. ඒ අවස්ථාවේදී පිතිකරුවන් දෙපළම කඩුලු රකින්නාගේ අන්තය වෙත දිව යමින් සිටි බැවින් දැවී ගියේ කවුරුන්ද යන්න දැන ගැනීම සඳහා පිතිකරුවන් යුගල මිනිත්තු කීපයක්ම පිටියේ රැඳී සිටියහ.

“ඇත්තටම මුලින්ම මම හිතුවේ බැට් කරලා ඉවර වුණාම ලකුණු 10 ක් 15 ක් විතර මදි වෙයි කියල. නමුත් පන්දු යවන්න ආවහම පන්දුව පොඩ්ඩක් පල්ලෙහායින් යන ගතියක් තිබ්බා විකට් එකේ. එතැනදි මට තේරුණො අපි හිතනවට වැඩිය විකට් එකේ පන්දුවට පහර දෙන්න අමාරුයි කියලා”.

“ඇත්තටම ධනුෂ්ක සහ අවිශ්ක කඩුල්ලක් ලබා නොදී ඉතා හොඳින් ක්‍රීඩා කළා. ඒකෙන් තමයි අපිට තරගයේ වාසිය ඇති වුණේ. ඊට පස්සේ භානුක රාජපක්ෂ. එය ඔහුගේ පළමු තරගය. පළමු තරගය වුවත් ඔහු ක්‍රීඩා කළේ ඇත්තටම පරිණත ක්‍රීඩකයෙක් විදියට. ඉතිං මම මේ තරගයටත් කළින් කිව්වා වගේ අපිට දක්ෂ ක්‍රීඩකයෝ ඉන්නවා. එයාට හරි වෙලාවෙදි හරි අවස්ථාව හම්බ වුණා නම් මීට වඩා හොඳ දේවල් වෙන්න තිබුණා කියලා මම විශ්වාස කරනවා. මම හිතනවා මේ විදියට ක්‍රීඩා කළොත් අපේ අනාගතය මීට වඩා සුබ දායක වෙයි කියලා”යි දසුන් පවසයි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි විස්සයි-20 තරගය හෙට (07 දා) ලාහෝර් හි ගඩාෆි ක්‍රීඩාංගණයේ පැවැත්වෙනු ඇත.

Active filters

Recent Posts

  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]
  • චමරි අතපත්තු ලොව අංක 1ට ශ්‍රේණිගත වේ
    ජාත්‍යන්තර ක්‍රිකට් සමුළුවේ ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව එක්දින තරග පිතිකාරිණියන් අතුරින් ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු ප්‍රථම ස්ථානයට පත්ව සිටී. ශ්‍රී ලංකා පිතිකාරිණියක ක්‍රිකට් ශ්‍රේණිගත කිරීමේදී […]
  • චමරිගෙන් විශිෂ්ට ලකුණු 195ක්. අවසාන තරගය ශ්‍රී ලංකාව පහසුවෙන් ජය ගනී
    දකුණු අප්‍රිකාවේ ක්‍රිකට් සංචාරයක යෙදෙන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව චමරි අතපත්තු එහි පැවැති තෙවැනි හා අවසාන එක්දින තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නියැළෙමින් නොදැවී රැස් කළ ලකුණු 195ක […]

Pin It on Pinterest

USD United States (US) dollar