slc
Home   |    News
නොවැම්බර් 9, 2019
අන්තර් පළාත් ප්‍රීමා ශූරතාව බස්නාහිර පළාත් උතුරට

Sri Lanka Cricket

By Chamila Karawita

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානත්වයෙන් සහ ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රාහකත්වයෙන් පැවැති අන්තර් පළාත් වයස අවුරුදු 15 න් පහළ ‘ප්‍රීමා චැම්පියන්ස් කප් 2019’ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ෂෙවෝන් ඩැනියෙල්ගේ නායකත්වයෙන් යුතු බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම අද (09 දා) සමත්විය.

චතුමාල් ප්‍රනාන්දුගේ නායකත්වයෙන් යුතු වයඹ පළාත් කණ්ඩායම සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති අදාළ අවසන් මහ තරගයේදී ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 69 ක ජයක් අත්කරගත් බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම 2019 වසරේ ප්‍රීමා ශූරයින් ලෙස කිරුළු පැළඳීය.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බස්නාහිර පළාත් උතුරු කණ්ඩායම පන්දුවාර 47 කදී සියලු ලකුණු 249 කට සීමා කිරීමට වයඹ පළාත් පන්දු යවන්නෝ සමත්වූහ. ඒ අනුව හඹා යෑම ඇරැඹි වයඹ පළාත් කණ්ඩායමේ 25 වැනි පන්දුවාරය වන විට තරගයට වර්ෂාවෙන් බාධා පැමිණි බැවින් තරගය නතර කිරීමට විනිසුරුවන්ට සිදුවිය. ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව එම අවස්ථාව වන විට වයඹ පළාත් කණ්ඩායමේ ජයග්‍රාහී ඉලක්කය ලකුණු 169 වුණු නමුත් තරගය නතර කර දමනා විට ඔවුන් රැස් කර ගැනීමට සමත්ව සිටියේ කඩුලු 6 ක් දැවී ලකුණු 100 ක් පමණි.

ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ප්‍රතිඵලයක් ලබා ගැනීමට පන්දුවාර 20 සම්පූර්ණ කළ යුතු වූ නමුත් ඒ අවස්ථාව වන විට තරගයේ වැඩි වාසි වයඹ පළාත් පිලට ලබා දීමට අංක 4 පිතිකරු ලෙසින් පිටියට පිවිසි ගයාන් වීරසිංහ සමත්විය. ලකුණු 41 කට කඩුලු 2 ක් බිඳ වැටී තිබියදී පිටියි පිවිසි ගයාන් පන්දු 34 කදී හයේ පහරක් සහ හතරේ පහර 3 ක් සමඟ වේගවත් ලකුණු 35 ක් රැස් කරමින් සිය කණ්ඩායමට අවශ්‍ය අඩිතාලම එක් කර දුන්නේය.

එහෙත් 20 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ සිතිජ විතානගේ විසින් සිව්වැනි සහ අවසන් පන්දුවලදී ගයාන් සහ විශ්ව රාජපක්ෂව දවා ගනිමින් එතෙක් වෙලා දෙපිළට ජයග්‍රහණය දෝලනය වුණු තරගයේ සියළු වාසි බස්නාහිර පළාත් උතුරු පිල වෙත නතු කර දීමට සමත්වූවේය. මෙම තරගයේදී බස්නාහිර පිලේ දැවී ගිය කඩුලු 6 න් 3 ක්ම ලකුණු 24 කදී දවා ගත් සජිත විතානගේ අවසන් මහ තරගයේ දක්ෂතම පන්දු යවන්නා සම්මානයෙන් පිදුම් ලැබීය.

වයඹ පළාත් නායකයාගේ ආරාධනයෙන් ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් බස්නාහිර පළාත් උතුර කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු රැස් කරන ලද්දේ නායක ෂෙවෝන් ඩැනියල් විසිනි. සමස්ත තරගය පුරා කැපී පෙනුණු ලකුණු 84 ක ෂෙවෝන්ගේ ඉනිම සඳහා ඔහු පන්දු 49 කට පමණක් මුහුණ දුන්නේය. වයස 15 න් පහළ තරග අංශයට මෙන් නොව ඕනෑම වයස් කාණ්ඩයක තරගයක් පවත්වද්දී එල්ල වන තරමේ දැවැන්ත හයේ පහර 7 කින් සිය ඉනිම සරසා ගත් මෙම හුරුබුහුටි වමත් කසකරුවා හතරේ පහර 8 කින්ද සිය ඉනිම වර්ණවත් කර ගත්තේය.

මුලු ලකුණු සංඛ්‍යාව 63 ක් වද්දී ආරම්භක පිතිකරුවන් දෙදෙනාම දැවී ගිය නමුත් දිනිග වනිගසේකරට එක්වූ ෂෙවෝන් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක් එක් කරන ලද්දේ පන්දු 74 ක් පමණක් වැය කරමිනි. එම සම්බන්ධතාවය වෙනුවෙන් ෂෙවෝන්ගේ දායකත්වය ලකුණු 61 ක් විය. උක්ත ඉනිම ප්‍රධාන කොට අවසන් මහ තරගයේ දක්ෂතම පිතිකරුවාට සහ තරගයේ වීරයාට හිමි සම්මාන ද්විත්වයම ෂෙවෝන් ඩැනියල්ට හිමිවීම කැපී පෙනුණි.

විශ්ව රාජපක්ෂගේ ගොදුරක් වෙමින් ෂෙවෝන්ගේ වටිනා ඉනිම නිමාවට පත්වූ නමුත් අනතුරුව පිටියට පිවිසි හිරාන් ජයසුන්දර එතෙක් වෙලා නායකයා ඉටු කළ කාර්ය භාරයේ වගකීම කරට ගනිමින් ලකුණු පුවරුව ඉහළ දැමීමට දායකත්වය දැක්වීය. පිටියට පැමිණි පළමු අවස්ථාවේ සිටම වඩා විශ්වාසයකින් පන්දුවට පහර දුන් හිරාන් සිය ඉනිම මනරම් කවර් ඩ්‍රයිව් සහ ඕන් ඩ්‍රයිව් පහර එල්ල කරමින් ලබා ගත් හතපෙහර 5 කින් අලංකාර කර ගත්තේය.

මුලු ලකුණු සංඛ්‍යාව 196 ක්ව තිබියදී හිරාන්ගේ ඉනිම ලකුණු 28 කදී නිමාවීමත් සමඟ බස්නාහිර පළාත් උතුරු පිළ  තරමක අසීරුතාවයකට මුහුණ දෙන ලද්දේ ලකුණු 17 ක් ඇතුළත පිතිකරුවන් තිදෙනකුම දැවී යෑම නිසාය. එහෙත් 9 වැනි කඩුල්ලට එක්වූ චමත් චතුර සහ හසංග නානායක්කාර එක්ව පන්දු 26 කදී ලකුණු 36 ක් එක් කිරීමට සමත්වීමත් සමඟ ලකුණු 250 සීමාව කරා පහසුවෙන් යෑමේ අවස්ථාව බස්නාහිර පළාත් උතුරු කණ්ඩායමට හිමිවිය. එම සම්බන්ධතාවය වෙනුවෙන් කැපී පෙනෙන පිති හරඹයක් දියත් කළ චමත් හයේ පහරක් සහ හතරේ පහර 5 ක් සමඟ ලකුණු 31 ක් ලබා ගන්නා ලද්දේ පන්දු 31 කට මුහුණ දෙමිනි.

ප්‍රීමා පළාත් තරගාවලියේදී සම්මාන වලින් පිදුම් ලද ක්‍රීඩකයන් මෙසේය.

  1. තරගාවලියේ දක්ෂතම පිතිකරුවා – අංජුල බණ්ඩාර (මධ්‍යම පළාත)
  2. තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – යසිරු ජයසිංහ (බස්නාහිර මධ්‍යම)
  3. තරගාවලියේ වීරයා – යුනෙත් සෙනෙවිරත්න (බස්නාහිර මධ්‍යම)
  4. අවසන් මහ තරගයේ දක්ෂතම පිතිකරුවා – ෂෙවෝන් ඩැනියල් (බස්නාහිර උතුර)
  5. අවසන් මහ තරගයේ දක්ෂතම පන්දු යවන්නා – සජිත විතානගේ (බස්නාහිර උතුර)
  6. අවසන් මහ තරගයේ දක්ෂතම ක්‍රීඩකයා – ෂෙවෝන් ඩැනියල් (බස්නාහිර උතුර)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest