slc
Home   |    News
දෙසැම්බර් 9, 2019
දශකයක ටෙස්ට් ඉඩෝරය නිමා කිරීමට පැමිණි දිමුත් ඇතුළු නඩයට උණුසුම් පිළිගැනීමක්

Sri Lanka Cricket

Chamila Karawita reporting from Islamabad

දශකයකට අධික කාලයක් තිස්සේ ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමේ අවස්ථාව නොලද පාකිස්තානයට එම ඉඩෝ කාල සමය අවසන් කර දෙමින් ලබන 11 වැනිදා රාවල්පිණ්ඩිහි ආරම්භ වන තරග 2 කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම සඳහා දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද (09 දා) උදෑසන පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරට පැමිණියේය.

ඉස්ලාමාබාද් ජාත්‍යන්තර ගුවන් තොටින් පාකිස්තානයට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නූර්දීන් මොහොමඩ් සයිඩ් මහතා ඇතුළු පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

එක්දින සහ විස්සයි-20 තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන් ආරක්ෂාව හා සමානම රාජ්‍ය නායකයකුට ලබා දෙන ආකාරයේ ආරක්ෂාවක් ටෙස්ට් කණ්ඩායමට ලබා දීමටද එරට ආරක්ෂ අංශ කටයුතු කර තිබෙන අතර කණ්ඩායම නවා තැන් ගෙන සිටින ඉස්ලාමාබාද්හි හෝටල් පරිශ්‍රය දැඩි ආරක්ෂක කලාපයක් බවට පත් කර තිබෙන අයුරු දැක ගැනීමට හැකි විය.

ගුවන් තොටුපොළේ සිට ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හෝටල් ප්‍රදේශය සඳහා විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් දියත් කර තිබෙන අතර ඒ සඳහා 8000 කට ආසන්න ආරක්ෂක පිරිසක් සේවයේ යොදවීමට එරට ආරක්ෂක අංශ කටයුතු යොදා තිබේ.

ඩෙංගු උණ රෝගය වැළඳීම නිසා අද පැමිණි කණ්ඩායමට වේග පන්දු යවන සුරංග ලක්මාල් ඇතුළත් නොවුණු අතර ඒ සඳහා වේග පන්දු යවන අසිත ප්‍රනාන්දුව කැඳවීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ. අසිත ප්‍රනාන්දු මේ වන විට නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා කත්මන්දු නුවරට ගොස් සිටින නමුත් ටෙස්ට් තරගාවලිය අතරතුරදී ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමට එක්වීමට නියමිතය.

සත්කාරක කණ්ඩායමේ අභියෝගයට අමතරව ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව තිබෙන අනෙක් ප්‍රධානම අභියෝගය බවට පත්ව ඇත්තේ රාවල්පිණ්ඩි ප්‍රදේශයේ පවතින අධික ශීත දේශගුණය වේ. අද දහවල් වන විටත් එහි උණ්ෂත්වය සෙල්ෂියස් අංශක 12 ක තරම් අඩු අගයක් ගනු ලැබූ අතර දින 2 ක කාලයක් ඇතුළත එම තත්ත්වයට අනුගත වීම ශ්‍රී ලංකා පිල මුහුණ දෙනු ලබන ප්‍රධානම අභියෝගය බවට පත්ව තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනය ගමන් මහන්සිය සඳහා වෙන්වී තිබුණු නමුත් සවස් කාලයේදී ශූරතාව සඳහා පිදෙන කුසලානය නිරාවරණය කිරීම වෙනුවෙන් දෙපිළේම ක්‍රීඩකයින් නවාතැන් ගෙන සිටින හෝටල් පරිශ්‍රයේදී සහභාගිවීමට නියමිතව තිබේ.

Active filters

Recent Posts

LKR Sri Lankan rupee

Pin It on Pinterest