slc
logo
Home   |    News
දෙසැම්බර් 9, 2019
පළමු ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාවෙන් එන අමුත්තා කවුද…?

Sri Lanka Cricket

වසර 10 කට අධික කාලයකින් පසු ලබන 11 වැනිදා සිට 15 වැනිදා දක්වා රාවල්පිණ්ඩිහි ‘පිණ්ඩි’ ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිත සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තානය අතර ටෙස්ට් තරගයට විශේෂ අමුත්තෙකු ලෙස පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ශ්‍රී ලංකාවේ පළමු ටෙස්ට් නායකයා වන බන්දුල වර්ණපුර මහතාට ආරාධනා කර තිබේ.

මේ පිළිබඳව නිල වශයෙන් නිවේදනයක් නිකුත් කර සිටින පාකිස්තානු ක්‍රිකට් මාධ්‍ය අංශය, බන්දුල වර්ණපුර මහතා සමඟ දෙරට මුණ ගැසුණු පළමු ටෙස්ට් තරගයේදී පාකිස්තානු කණ්ඩායම මෙහෙයවන ලද ජාවෙඩ් මියැන්ඩාඩ් මහතාටද ආරාධනා කර තිබෙන බව සඳහන් කර තිබේ. 

දශක 8 කට ආසන්න කාලයක් පුරා විහිදී තිබෙන දෙරට අතර ටෙස්ට් තරග ඉතිහාසයේ පළමු තරගය 1982 වසරේ මාර්තු මසදී කරච්චි ජාතික ක්‍රීඩාංගණයේදී පවත්වා තිබෙන අතර එම තරගයේදී ශ්‍රී ලංකා පිල බන්දුල වර්ණපුර මහතා විසින්ද පාකිස්තානු පිල ජාවෙඩ් මියැන්ඩාඩ් ප්‍රතිවරුද්ධ නායකයින් ලෙස කටයුතු කළහ. ලකුණු 204 ක ජයග්‍රහණයකින් එම පළමු ටෙස්ට් තරගයේ ජය පාකිස්තානුවන් සමරද්දී පාකිස්තානු පිල පළමු ඉනිම ඉනිම වෙනුවෙන් ලකුණු 396 ක් සහ දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 කට ලකුණු 301 ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකා පිල පළමු සහ දෙවැනි ඉනිමේදී පිළිවෙළින් ලකුණු 344 සහ 149 බැගින් රැස් කිරීමට සමත්විය. 

එදින පටන් ආරම්භ වුණු වසර 30 කට ආසන්න දෙරට අතර මිත්‍රත්වයට මෙම ටෙස්ට් තරගය විශේෂ සංධිස්ථානයක් වන බැවින් හිටපු නායකයින් දෙදෙනා ක්‍රීඩාවට කළ සේවය ඇගැයීමට ලක් කිරීමේ අරමුණින් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම තීරණයට එළැඹ තිබේ. 

දෙරටට කීර්තියක් අත්කර දුන් මෙම කීර්තිමත් සහ ගෞරවනීය ක්‍රිකට් නායකයින් දෙදෙනා තරගයට පෙර දින හෙවත් දෙසැම්බර් 10 වැනි දින තරගාවලියේ ශූරතාව වෙනුවෙන් ලබා දෙනු ලබන කුසලාන නිරාවරණයේ ඡායාරූප ගැනීම වෙනුවෙන් සිය දායකත්වය ලබා දීමට නියමිතය. එමෙන්ම 11 වැනිදා ආරම්භ වන දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ දිවා භෝජනය අතරතුරදී මෙම අග්‍රගන්‍ය වූ නායකයින් දෙපළට විශේෂ සමරු තිළිණයක් ප්‍රධානය කිරීමටද පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය බලාපොරොත්තු වන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ. 

මේ පිළිබඳව අදහස් දක්වා සිටින පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානී එෂාන් මානි මහතා, කාර්ය බහුලත්වය අතරින් වුවද අප කරන ලද ආරාධනය පිළිගනිමින් පාකිස්තානයට පැමිණීමෙන් ලෝකයට පෙන්වා දෙනු ලබනුයේ පාකිස්තානු ක්‍රීඩාවට ලොකු වටිනාකමක් එක් කර දෙන්නක් ලෙසින් බවයි. 

“දෙසැම්බර් 11 වැනි දින පාකිස්තානු ක්‍රිකට් ඉතිහාසය අති සුවිශේෂී දිනයක් වනු ඇති බව මා විශ්වාස කරනවා. ඒ අවස්ථාව බන්දුල වර්ණපුර සහ ජාවෙඩ් මියැන්ඩාඩ් සමඟ සැමරීම කාලෝචිතයි කියා මා හිතනවා” යැයි පවසන පාකිස්තානු ක්‍රිකට් ප්‍රධානියා, “මේ විශේෂ ඇගැයීම ඔවුන්ට කරන ඇගැයීමක් වේවි. එමෙන්ම පාකිස්තානු ක්‍රිකට් ආයතනය ප්‍රතිවාදී රටවල ක්‍රීඩකයින්ට ගරු කරනවා මෙන්ම ඔවුන්ගේ වටිනාකම අවබෝධ කරගනිමින් කටයුතු කරන අවස්ථාවක් ලෙසින්ද මෙය ගත හැකියි”යැයි වැඩිදුරටත් සඳහන් කර සිටියි.   

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee