slc
Home   |    News
දෙසැම්බර් 22, 2019
පිතිකරුවන්ගේ දුර්වලතාවය කණ්ඩායමේ කඩා වැටීමට වගකිව යුතුයි – නිරෝෂන් දික්වැල්ල

Sri Lanka Cricket

Chamila Karawita reporting from Karachi

පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හැරුණු කොට පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම පත්ව සිටින අසීරුතාවයට තණතීරුවේ කිසිදු වෙනසක් බලපා නොමැති බව කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අවධාරණය කරයි.

ජයග්‍රහණය සඳහා ලකුණු 476 ක ඉලක්කයක් හඹා යමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සිව්වැනි දින අවසනදී කඩුලු 7 කට ලකුණු 212 ක් ලබා පරාජයේ අභිමුවට පැමිණ සිටින අතර ඒ සඳහා තණතීරුවේ කිසියම් බලපෑමක් ඇතිවූයේද යන්න තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී නඟන ලද පැනයකට පිළිතුරු දෙමින් දික්වැල්ල ඉහත අදහස් පළ කර සිටියේය.

“මං හිතන්නේ තණතිල්ලේ කිසිම වෙනසක් තිබුණේ නෑ. අපේ දුර්වල පිතිහරඹය තමයි හේතු වුණේ. පාකිස්තානු කණ්ඩායමේ පළමු හතර දෙනාම තණතිල්ලට අනුකූලව පිතිහරඹයේ නිරත වුණා. නමුත් අපේ කණ්ඩායමේ පිතිකරුවන්ට මීට වැඩිය හොඳ දක්ෂතා පෙන්වන්න තිබ්බා” යි පවසන දික්වැල්ල පන්දුවට පහර දීමට පැමිණි මුල් පන්දු කීපයේදී තමන්ද දෙගිඩියාවකින් පන්දුවට පහර දුන් බව සඳහන් කර සිටියේය.

ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 5ම ලකුණු 97 ක් ඇතුළත බිඳ වැටී තිබියදී ඕෂධ ප්‍රනාන්දුට එක්වූ දික්වැල්ල හය වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 104 ක සාර්ථක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත්විය. ඒ අතරතුර තමන් වැඩිපුරම ප්‍රියකරන සහ එල්ල කරන රිවර් ස්වීප් පහරවලින් ලකුණු රැස් කළ මේ වමත් පිතිකරුවා, හැරිස් සොහේල්ගේ පන්දුවකට රිවර් ස්වීප් පහරක් එල්ල කිරීමට ගොස් තම වටිනා කඩුල්ල ලකුණු 65 කදී අහිමි කර ගත්තේය.

“කළින් කිව්වා වගේ අපි ඇත්තටම දෙගිඩියාවකින් පන්දුවට පහර දුන්නේ.ඒක වෙන්න ඇති. මමත් හිතාගෙන ගියේ ගිය ගමන් පන්දුව අතා අරිමින් කඩුල්ලේ රැඳී ඉන්න. ඒත් මුහුණ දුන්න පන්දු 2 දී මාව ටිකක් චකිතයට පත් වුණා. එතකොට තමයි මට තේරුනේ මෙහෙම වුණොත් මං කොයි වෙලාවක හරි දැවී යනවා කියන එක. ඊට පස්සේ තමයි මම ධනාත්මකව පන්දුවට පයහර එල්ල කරන්න ගත්තේ” යි දික්වැල්ල පවසයි. 

තවමත් 26 හැවිරිදි වියේ පසුවන දික්වැල්ල මේ ක්‍රීඩා කරනු ලබන්නේ සිය 35 වැනි ටෙස්ට් තරගයට වන අතර ක්‍රීඩා කරන ඉනිම 62 දීම එකම ශතකයක් හෝ ලබා ගැනීමට අපොහොසත්ව සිටියි. පාකිස්තානයට එරෙහිව අබුඩාබිහි පැවැති ටෙස්ට් තරගයේදී ලබා ගත් ලකුණු 83 දික්වැල්ලගේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් වන අතර ඉනිමක ලකුණු ලබා ගැනීම 30.95 ක් ලෙස සටහන් වේ.

“ඇත්තටම මම පන්දුවට පහර දෙන්න එනකොට අද සීයක් ගහනවා කියන මානසිකත්වයෙන් එන්නේ නෑ. මම බලන්නේ එන පන්දුවට හොඳට මුහුණ දෙන්න. ඒත් මට ඉදිරියේදී මම ශතක දෙකක් හෝ තුනක් වත් ලබාගන්න බලාපොරොත්තු වෙනවා” යැයිද මංගල ශතකය ලබා ගැනීමට තිබූ හොඳම අවස්ථාවක් අහිමිවීම පිළිබඳව දික්වැල්ල අදහස් දක්වා සිටියේය.

දිනය නිමා වන විට කඩුල්ලේ රැඳී සිටින බලාපොරොත්තු තැබිය හැකි එකම පිතිකරුවා වන්නේ ඕෂද ප්‍රනාන්දු පමණි. ඔහු ලකුණු 102 ක් ලබා කඩුල්ලේ රැඳී සිටියි. “ඔහු ඉතාම හොඳ පිතිකරුවෙක්. ඔහු දේශීය තරගාවලිවලදී ගොඩක් ලකුණු රැස් කරගෙන තියෙනවා” යි මිනිත්තු 266 ක් පුරා හතරේ පහර 13 කින් අලංකාර වුණු ඕෂධගේ ඉනිම ගැන දික්වැල්ල අදහස් දැක්වීය. 

“ඇත්තටම අපිට තවම එක ලොකු කඩුලු සම්බන්ධත්වයක් පවත්වන්න හැකි වුණා නම් මේ ටෙස්ට් තරගය අපිට බේරගන්න තිබුණා. ඒත් මේ වගේ ලොකු ලකුණු සංඛ්‍යාවක් හඹා යනකොට හොඳ අඩිතාලමක් දා ගත යුතුයි. ඒකට ආරම්භක පිතිකරුවන් ඇතුළු ඉදිරි පෙළ පිතිකරුවන් ලකුණු අතරට එන්න ඕන. ඒත් අපේ අයට ඒ දේ කරගන්න බැරි වුණා. ඒ හින්දා තමයි සිව්වැනි දවසේ අවසන් වන විට මේ වගේ තත්ත්වයකට අපි පත් වුණේ”යි දික්වැල්ල පවසයි.

මේ අතර තරගය පිළිබඳව අදහස් දක්වා සිටින පාකිස්තානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිස්බා උල්හක් පවසා ලකුණු 80 ක පළමු ඉනිමේ වාසියක් ශ්‍රී ලංකා කණ්ඩායම සතු වීම නිසා දෙවැනි ඉනිම ආරම්භයේදී තම කණ්ඩායම පීඩනයකට ලක්ව සිටි බවයි.

Recent Posts

  • 23 න් පහළ අවසන් සටන හෙට සහ අනිද්දා
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන අන්තර් සමාජ වයස අවුරුදු 23 න් පහළ ප්‍රධානතම නැගී ලීග් ක්‍රිකට් තරගාවලියේ මූවර්ස් ක්‍රීඩා සමාජය සහ රාගම ක්‍රීඩා සමාජය අතර අවසන් මහා […]
  • විශේෂඥ පුහුණුකරුවකු ලෙස කණ්ඩම්බිත් නවසීලන්තයට
    නවසීලන්තයට එරෙහිව පැවැත්ත්වෙන තරග 3 කින් සමන්විත තීරණාත්මක එක්දින ක්‍රිකට් තරගාවලියේදී විශේෂ පුහුණුකරුවකු ලෙස තිළිණ කණ්ඩම්බිව සහභාගිකරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ඒ අනුව එක්දින තරගාවලිය […]
  • පළමු ඉනිමේ වරදින් ශ්‍රී ලංකාව ‌අනපේක්ෂිත අවධානමක
    වෙලිංටන් නුවර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය වූ අද (19 දා) ශ්‍රී ලංකා පළමු ඉනිම ඉනිම ලකුණු 164 කට අවසන් කිරිමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්වීම නිසා නැවතත් […]
  • ශ්‍රී ලංකාව ලකුණු 554 ක් පිටුපසින්
    කෙන් විලියම්සන් සහ හෙන්රි නිකොලස්ගේ වාර්තාගත ද්විත්ව ශතක සම්බන්ධතාව හේතුවෙන් වෙලිංටන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේදී පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 580 ක දැවැන්ත ඉනිමක් ගොඩ […]
  • අෂේන් බණ්ඩාරගේ වෙහෙසකර ශතකය අපතේ යයි
    නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී කලම්බු පිල කඩුලු 7 කින් පරාජයට පත් කිරීමට ගෝල් කණ්ඩායම සමත්විය. මෙය මෙවර තරගාවලියේදී ගෝල් පිල වාර්තා […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest