Chamila Karawita reporting from Rawalpindi
එදින අගෝස්තු 26 වැනිදාය. ටෙස්ට් ලෝක ශූරතාව යටතේ නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේ පස්වැනි සහ අවසන් දිනය වූ එදින පරාජයෙන් ගැලවීමට ශ්‍රී ලංකාවට තිබුණේ අවස්ථා දෙකකි. එනම් පුරා දිනය තුළ යැවීමට නියමිතව තිබූ පන්දුවාර 91 තුළ සිය කඩුලු රැක ගැනීම හෝ ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලබාගත යුතුව තිබූ ලකුණු 187 ක සීමාව ඉක්මාලමින් නවසීලන්ත පිලට හඹා යා නොහැකි ඉලක්කයක් ලබා දීමය.
තරගය පැවැති දින 5 න් දින 3 කදීම වර්ෂාවෙන් බාධා ඇතිවීම නිසා පස්වැනි දිනටද වර්ෂාවෙන් බාධා ඇතිවීමට තිබුණේ වැඩි ඉඩකඩකි. බලාපොරොත්තු වූ පරිදිම අළුයම් කාලයේ සිට ආරම්භ වුණු ධාරානිපාත වර්ෂාව උදෑසන හතහමාර වන තෙක් පැවැතියේය. සිද්ධවන්නට යන දේ කුමක්ද යන්න නවා තැන් ගෙන සිටි හෝටලයේ සිට බලා සිටි නවසීලන්ත පිලට ඉතිරිව තිබුණේ අතපොවන මායිමේ තිබුණේ ජයග්‍රහණය අහිමිව යෑම පිළිබඳව සුසුම් හෙළීම පමණි.
තරගය පැවැති කොළඹ සරා ඕවල් පිටියට පෙ.ව. 8 වන විට පැමිණි නවසීලන්ත පිලට දැක ගැනීමට තිබුණේ දැවැන්ත පොකුණක ආකාරයේ සිරි ගත් වැසි ජලයෙන් යටවුණු ක්‍රීඩාංගණය පමණි. ගාල්ලේ පැවැති පළමු ටෙස්ට් තරගය පරාජයට පත්වීමත් සමඟ තරගාවලිය 1-0 ක් ලෙස පසුපසින් සිටි නවසීලන්ත පිලට ටෙස්ට් ලෝක ශූරතාව යටතේ ලබාගත යුතු ප්‍රසාද ලකුණු 60 ලබා ගැනීමට නම් මෙම තරගයේ ජය අනිවාර්යව තිබුණි. එහෙත් ක්‍රීඩාංගණයේ තත්ත්වය අනුව නියමිත වේලාවට තරගය ආරම්භ කරනවා තබා දිවා ආහාරයෙන් පසුවවත් ආරම්භ කළ නොහැකි තත්ත්වයේ පසුවීම නවසීලන්ත නායකයාගේ නළලත රැළි ගන්වන්වන සිදුවීමක් විය.
සිහින් වැහි පොද වැටුණු බැවින් ක්‍රීඩාංගණය භාර නිලධාරීන් සහ කාර්ය මණ්ඩලයට වැසි ආවරණ වලට අත තැබීමේ අවස්ථාව අහිමි විය. ක්‍රමයෙන් වරුසාව නතර වූයෙන් පෙ.ව. 8.15 වන විට ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය සිය කාර්යයට අත ගැසීය. වර්ෂාවෙන් බාධා පැමිණීමේදී වැසි ආවරණ භාවිතා කිරීම පිළිබඳව ඉතා ඉහළ දැනුමක් ඇති අප ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය එය ඉවත් කළ යුතු නියමිතව ක්‍රමවේදය භාවිතා කරමින් වැසි ආවරණ ඉවත් කරමින් ක්‍රීඩාංගණය තුළ වූ ජලය ඉවත් කිරීමේ කාර්යෙහි නිරත විය.
වෙනත් රටවල මෙන් නොව වැසි ආවරණ එළිම සහ ඉවත් කිරීම සම්බන්ධව ලොව පුරා නමක් දිනා සිටින ශ්‍රී ලංකා කාර්යය මණ්ඩලයට එම ජල කඳ ඉවත් කරන ලද්දේ විනිසුරුවරුන්ට තරගය නියමිත වේලාවට ආරම්භ කිරීමට ඉඩ පහස සලසා දුන්නේ සංචාරක නවසීලන්ත කණ්ඩායම පවා පුදුම කරවමිනි. අනපේක්ෂිත ලෙස ලද අවස්ථාවෙන් උපරිම ප්‍රයෝයෝජන ලබා ගත් නවසීලන්ත ක්‍රීඩකයෝ එදින ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිමක සහ ලකුණු 65 ක ජයක් වාර්තා කිරීමට සමත් වූ නමුත්, 200 කට අධික පිරිසකගෙන් සමන්විත ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය එදා සිදුකරන ලද ක්‍රියාව මුළු ලෝකයම මහ ඉහළින් වර්ණනා කරන ලද්දේ සත්කාරක කණ්ඩායම පරාජයේ අභිමුව සිටියදී තරගය පැවැත්වීම වෙනුවෙන් ඉඩ පහස සලසාලීමට ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය කටයුතු යෙදූ හෙයිනි.
එම තරගයෙන් මාස 3 ක කාලයකට පසු එම සිදුවීම මතකයට එක් කර ගන්නා ලද්දේ දස වසරකට පසුව පාකිස්තානයේ රාවල්පිණ්ඩිහි පැවැත්වෙන ටෙස්ට් තරගය වෙනුවෙන් ක්‍රීඩාංගණයට යොදවා තිබෙන කාර්යය මණ්ඩලයේ ක්‍රියාකාරීත්වය දෙස අවධානය යොමු කිරීමෙන් පසුවය. ඉකුත් දෙසැම්බර් මස 11 වැනිදා ආරම්භ වුණු මෙම තරගයේ පළමු දිනයේ ක්‍රීඩා කරන ලද පන්දුවාර 68.1 ක හැරුණු විට දෙවැනි සහ තෙවැනි දිනයන්හිදී යැවීමට හැකි වූයේ පන්දුවාර 18.2 ක් සහ පන්දු 32 ක් පමණි. මෙහි පළමු දින දෙක අත හැර දැමුවද තෙවැනි දිනය වුණු අද (13 දා) දිනයේදී ක්‍රීඩාංගණ කාර්යය මණ්ඩලය සිය වගකීම අකුරටම ඉටු කළේ නම් පන්දුවාර 5.2 කට වඩා වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමේ අවස්ථාව හොඳින්ම තිබිණ.
ප්‍රමාණවත් වැසි ආවරණ ක්‍රීඩාංගණය සතු නොවීමත්, අඩු සේවක සංඛ්‍යාවක් ක්‍රීඩාංගණයේ සේවයට යොදවා තිබීම එකී අවාසනාවන්ත තත්ත්වයට හේතු විය. අළුයම සිට ඇද හැළුණු වර්ෂාවෙන් ක්‍රීඩාංගණය තෙත බරිත වුවත් එවැනි තත්ත්වයකදී ශ්‍රී ලංකාව කටයුතු කරන ආකාරයෙන් රාවල්පිණ්ඩි කාර්යය මණ්ඩලය කටයුතු කළේ නම් කිසිදු අපහසුවකින් තොරව නියමිත වේලාවට ආරම්භ කිරීමේ අවස්ථාව තිබිණ.
උද්ගත වූ තත්ත්වය පිළිබඳව අදහස් දක්වා සිටි ජාත්‍යන්තර විස්තර විචාක රොෂාන් අබේසිංහ මහතාද පවසා සිටියේ ශ්‍රී ලංකාවේ මෙන් පාකිස්තානු කාර්යය මණ්ඩලය ඒ පිළිබඳව අත්දැකීම් මඳ බව එම තත්ත්වයට හේතු වී තිබෙන බවයි. ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන ටෙස්ට් තරගයේ විකාශන අයිතිය හිමි සෝනි ආයතනයේ විස්තර විචාරකයකු ලෙස කටයුතු කිරීම සඳහා පාකිස්තානයට පැමිණ සිටින අබේසිංහ මහතා ඒ පිළිබඳව වැඩිදුරටත් මෙසේ අදහස් පළ කර සිටියේය.
“වර්ෂාවෙන් තරගයට බාධා එන්න පුලුවන්. නමුත් වර්ෂාව නිමා වුණු විගසම තරගය ආරම්භ කිරීම සඳහා නිසි ක්‍රමවේදයක් ඔවුන් සකස් කර ගත යුතුයි. ඇත්තටම වර්ෂාවකදී ක්‍රීඩාංගණයක් ආවරණය කිරීම සහ ජලය ඉවත් කිරීම ගැන ශ්‍රී ලංකාව ලෝකයටම යම් ආදර්ශයක් ලබා දීලා තියෙනවා. වර්ෂාවෙන් බාධා ඇති වුණත් ඉක්මනින්ම ආරම්භ කිරීමේ හැකියාව තියෙන එකම රට ශ්‍රී ලංකාව” යැයි අබේසිංහ මහතා පවසයි.
වර්ෂාව පැමිණීමේදී වැසි ආවරණ එළීම බැලූ බැල්මට සාමාන්‍ය කටයුත්තක් වුවත් එය කළාවකට සිදු කළ යුත්තකි. ප්‍රථමයෙන්ම ප්‍රධාන තණතීරුව වසා දැමීම එම කාර්යය මණ්ඩලයේ පළමු කටයුත්ත වන අතර අනතුරුව එළනු ලබන සෑම ආවරණයක්ම එකක් උඩ එකක් සිටින සේ සිදු කරනු ලබයි. එහි වැඩිම වාසිය හිමි වන්නේ වැසි ආවරණ ඉවත් කිරීමේදීය. ආවරණයක් උඩ ආවරණයක් වැටෙන සේ එළා තිබීම නිසා ආවරණ මත ඇති ජල කඳ එම ආවරණ මතින් හතරේ සීමාවෙන් පිටතට රැගෙන යන්නේ ක්‍රීඩාංගණය තුළ එකම ජල බිංදුවක් හෝ පතිත නොකරමිනි.
“අපේ රටේ තණතීරුව ආවරණය දාන විදිහ විශේෂයි. එකක් උඩ එකක්. එතැනදි සිදු කරන්නේ වැසි ආවරණවල වතුර එකින් එකට වැටෙන සේ හතරේ සීමාවෙන් පිටතට රැගෙන යන එක. ඊට පස්සේ තමයි සුපර් සොපර් යන්ත්‍රය භාවිතා කරන්නේ. ඇතැම් විට සුපර් සොපර් යන්ත්‍රය අනවශ්‍ය වෙන වෙලාවලුත් තියෙනවා. මම කියන්නේ ඒකයි. ඒ අත්දැකීම රාවල්පිණ්ඩි කාර්යය මණ්ඩලය තුළ නෑ. ඒ නිසා තමයි උදෑසන කාලයේ වැස්ස නැති වුණත් තරගය පවත්වන්න බැරි වුණේ” යැයි අබේසිංහ මහතා තම අත්දැකීම් පිළිබඳව කරුණු දක්වයි.
“මට හොඳින්ම විශ්වාසයි ශ්‍රී ලංකාවේ මේ වගේ තත්ත්වයක් තිබ්බා නම් තරගය නියමිත වේලාවටම ආරම්භ කිරීමට හැකියාව තියෙනවා. තවත් දෙයක් තමයි ක්‍රීඩාංගණය තුළ යොදවා තිබුණු සේවකයන් සංඛ්‍යාව. ඔවුන් මේ සඳහා යොදවලා තිබුණේ සේවකයින් 10 ක් 15 ක්. ඒ ප්‍රමාණයෙන් මේක කරන්න බෑ. මේ වගේ දෙයක් ලංකාවේ වුණා නම් උදෑසන 7 ට ආවත් ක්‍රීඩාංගණය භාරව කටයුතු කරන අය ජලය ඉවත් කරලා කවර අයින් කරලා කරන්න ඕන සියලු දේවල් කරලා ඉවර කරනවා. ඒ විතරක් නොවෙයි තරගය ආරම්භ කරන්න තියෙන වේලාවට වඩා පැයකට කළින් ක්‍රීඩාංගණය විනිසුරුවරුන්ට භාර දෙනවා. ඊට පස්සේ තමයි විනිසුරුවන් තරගය පවත්වනවාද නැද්ද කියලා තීරණය කරන්නේ”.
“මට ආරංචි වුණු විදියට පාකිස්තානු අයට ඒ දේ කරන්න අවස්ථාවක් ලැබිලා නෑ. විනිසුරුවරුන් කියලා තියෙනවා ඔවුන් එනකන් මුකුත් කරන්න එපා කියලා. මම ක්‍රීඩාංගණයට එනකොට 7.50 විතර. එතකොටත් ක්‍රීඩාංගණය වරහලා තිබ්බේ. තියෙන ජලය අයින් කරන්න කිසිම කෙනෙක් ක්‍රීඩාංගණය මැද්දේ හිටියේ නෑ. එහෙම එපා කියන්න තරම් අයි. සී. සී. යේ නීතියක් තියෙනවාද කියන්න නම් මම දන්නේ නෑ. කොහොම වුණත් ලංකාවේ නම් මේ වගේ වෙන්නේ නෑ”යැයි අබේසිංහ මහතා ශ්‍රී ලංකා කාර්යය මණ්ඩලය පිළිබඳව වැඩි ගෞරවයක් ලබා දෙමින් අදහස් දක්වා සිටියේය.