slc
logo
Home   |    News
ජනවාරි 30, 2020
ආපහු ක්‍රිකට් වලට පැමිණීම භාග්‍යයක්, ඒත් පරණ වැඩ බලාපොරොත්තු වෙන්න එපා

Sri Lanka Cricket

යළිත් ක්‍රිකට් පිටියට ඒම ගැන සංගක්කාර කරුණු දක්වයි

By Chamila Karawita

ක්‍රිකට් ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු නැවතත් තම ක්‍රීඩා ලෝලීන් ඉදිරියේදී තරග කිරීමට හැකිවීම භාග්‍යයක් ලෙස සලකන නමුත් ක්‍රීඩා කරන කාල සමයේ පරිදි දක්ෂතා එම තරගයේදී අපේක්ෂා නොකරන ලෙස තමා ශ්‍රී ලාංකේය ක්‍රිකට් ලෝලීන්ගේ ඉතා ඕනෑ කමින් ඉල්ලා සිටින බව පවසන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා වන හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර මහතා, එම සුවිශේෂී වූ තරගයට ක්‍රීඩා කිරීම වෙනුවෙන් තමා නොඉවසිල්ලෙන් බලා සිටින බව සඳහන් කර සිටියේය.

එළැඹෙන මාර්තු මසට යෙදී තිබෙන එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට සමගාමීව පැවැත්වීමට නියමිත ප්‍රාන්ත ක්‍රිකට් තරගය පිළිබඳව අදහස් දක්වමින් හිටපු වමත් සුපිරි පිතිකරුවා ඉහත අදහස් පළ කර සිටියේය. කුමාර් සංගක්කාර මහතා සභාපතිවරයා ලෙසින් කටයුතු කරනු ලබන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය සහ එසෙක්ස් ප්‍රාන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත මෙම තරගයේදී මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ නායකයා ලෙසින් සංගක්කාර මහතා කටයුතු කිරීමට නියමිතය. 

එම තරගය පැවැත්වීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ අද (30 දා) පැවැති මාධ්‍ය දැනුවත් කිරීමකදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි හිටපු ටෙස්ට් ක්‍රිකට් නායකයා, ක්‍රිකට් යනු ජාති භේද අභිබවාලමින් මිනිසුන්ගේ හදවත් යා කළ හැකි විශේෂිත වූ ක්‍රීඩාවක් බවත්, එම පණිවිඩය ලබා දීමේ අරමුණු කොට මෙවැනි ආකාරය තරග පැවැත්වීමට මාර්ලිබෝන් ක්‍රිකට් ක්‍රීඩ සමාජය නිරන්තරයෙන්ම කටයුතු කරන බවද සඳහන් කර සිටියේය.

තරගයට ක්‍රීඩා කිරීමට පිළිබඳව අදහස් දක්වා සිටි සංගක්කාර මහතා, “මං හිතන්නේ 2015 ට ඉස්සෙල්ලා දස්කම් බලාපොරොත්තුවෙන් එන්න එපා කියලා ඉස්සෙල්ලාම කියනවා”යි සිනහමුසු මුහුණුනින් පවසා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි සංගක්කාර මහතා,  “අවුරුදු දෙකහමාරක් තුනක් විතර වෙනවා අන්තිමට බැට් එකක් අල්ලලා. මම මේ ළඟදි පැය භාගයක් විතර බැට් කරන්න ගියා. විනාඩි 20 යි බැට් කළේ. මගේ අත් කොච්චර සැහැල්ලු වෙලාද කිව්වොත් ග්ලව් එක දාල තියෙද්දීත් බැට් එක අල්ලලා අතේ හමත් ගියා”යි පවසා සිටියේය. 

 “මං හිතන්නේ තරගයට කළින් ජිම් එකට ගිහිල්ලා, පුහුණු දැල් වලතට පුහුණුවීම් කරලා තමයි වැඩේ පටන් ගන්න ඕන. නමුත් මම මේ තරගයට ක්‍රීඩා කිරීම යනු විශේෂ භාග්‍යයක්. ක්‍රිකට් වලින් සමුගත්තට පස්සේ අපි නොයෙක් නොයෙක් සුලු තරග ක්‍රීඩා කරනවා. නමුත් මං හිතන්නේ මේක ඉතාම වැදගත් තරගයක් කියලා. මං ඉතාම සංතෝෂයෙන් බලන් ඉන්නවා ඒ තරගයට ක්‍රීඩා කරන්න”යි ක්‍රිකට් වලින් විශ්‍රාම යෑමෙන් පසු තමන්ට ආදරය කළ ක්‍රිකට් ප්‍රේක්ෂකයන් හමුවේ කැවතත් ක්‍රීඩා කිරීමට ලැබීම පිළිබඳව වූ හැඟීම පිළිබඳව වැඩිදුරටත් විස්තරාත්මක අදහස් පළ කර සිටියේය.

වසර 180 කට වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියන මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය යනු ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ‘මහ ගෙදර’ හෙවත් වඩාත් උත්තරීතරම ක්‍රිකට් ක්‍රීඩාංගණය ලෙසින් සැලකෙන ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ ක්‍රිකට් සමාජය වෙයි. ලබන මාර්තු මස 24 වැනිදා සිට 27 වැනිදා දක්වා ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත මෙම තරගය එංගලන්ත ප්‍රාන්ත ක්‍රිකට් තරගාවලියේ සමාරම්භය සනිටුහන් කරන සාම්ප්‍රායික තරගය ලෙසින්ද යොදා ගැනීමට මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය බලාපොරොත්තු වන බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.

අදාළ අදහස් දැක්වීමේදී ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් කිහිප දෙනෙකුටම එම්. සී. සී. කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ අවස්ථාවක් පවතින බව සංගක්කාර මහතා පවසා සිටි අතර එහිදී ඔහුගේ සම කාලීනයා වූ මහේල ජයවර්ධනට එම තරගයට ක්‍රීඩා කරන්නේද යන්න මාධ්‍ය මෙහිදී පෙරළා ප්‍රශ්න කර සිටියේය. “මහේලව අල්ලගන්න එක තමයි අමාරු. මං හිතන්නේ ඔහුට ඒ කාලේදි යම් යම් රාජකාරි වැටිලා තියෙනවා. මේ තරගයට සම්බන්ධ වෙන්න මේ අවස්ථාවේදී ඔහුට ඉඩ කඩක් නෑ. බලමු ඉදිරියේදී තරගයකට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලබාගන්න පුලුවන්ද කියලා”යි සංගක්කාර මහතා පවසා සිටියේය.

මෙම තරගය පැවැත්වීමේ හැකියාව සම්බන්ධව මාර්ලිබෝන් ක්‍රිකට් සමාජය විසින් කරන ලද විමසීමේදී ඒ සඳහා වූ ප්‍රතිචාර පැය භාගයක් වැනි කෙටි කාලයක් ඇතුළත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කිරීම සම්බන්ධව තමා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට බෙහෙවින් ස්තූතිවන්ත වන බවද පවසා සිටි සංගක්කාර මහතා, ශ්‍රී ලංකා ක්‍රිකට්හි සහයෝගය නොලැබෙන්නට මෙම තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව සැබෑ කර ගැනීමට නොහැකි වන බවද සඳහන් කර සිටියේය.

“මේ තරගය පැවැත්වීමට අවශ්‍යතාවයක් තියෙනවා කියලා අපි  (එම්. සී. සී.) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කතා කරලා කිව්වහම ලැබුණු දායකත්වය ඉතාමත් විශේෂයි. එම්. සී, සී. ක්‍රිකට් කමිටුව භාර ජෝන් ස්ටීවන්සන් මහත්මයා අපේ ක්‍රිකට් පාලක මණ්ඩලයට කතා කරලා මේවැනි සහයෝගයක් අවශ්‍යයි කියලා කිව්වහම මං හිතන්නේ පැය භාගයක් වැනි කෙටි කාලයකින් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් දැක්වුවා. එතැනදි ඔවුන්ට කළ හැකි දේවල් මොනවද කියලා අපිට කිව්වා. ඇත්තටම අපිට ඕනෑ වෙලා තිබ්බේ ලෝකයේ තියෙන ක්‍රිකට් ක්‍රීඩාංගණ අතරින් සුදුසුකම ක්‍රීඩාංගණයක් වෙලා තියෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පවත්වන්නයි. ඒක ඉතාම විශිෂ්ඨ ක්‍රීකට් ක්‍රීඩාංගණයක්. ඒකෙ තරගය පවත්වන්න අවශ්‍ය සහයෝගය දෙන්න කැමැති කියන තැනට ඉතාමත් ඉක්මනින් ක්‍රිකට් ආයතනය පැමිණියා. ඇත්තටම ඒ සහයෝගය නොවන්නට අපිට මේ තරගය සැබෑ කරගන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා මා මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා”යි සංගක්කාර මහතා ස්තූතිපූර්වකව අදහස් දක්වා සිටියේය.

මෙම මාධ්‍ය හමුවට කුමාර් සංගක්කාර මහතාට අමතරව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා, ලේකම් මොහාන් ද සිල්වා සහ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලී ද සිල්වා යන මහත්වරුද සහභාගිවූහ. මෙහිදී අදහස් දක්වා සිටි ක්‍රිකට් සභාපතිවරයා ජීවත්ව සිටින කාලය ඇතුළත සංගක්කාර මහතා හැරුණු කොට තවත් අයෙක් මාර්ලිබෝන් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා වශයෙන් තේරී පත්වීම සැක සහිත බැවින් ලද අවස්ථාව දෝතින්ම රැගෙන මේ සඳහා සහයෝගය දැක්වීමට තීරණය කළ බව සඳහන් කර සිටියේය.

“මේ ගැන යෝජනාව ආවහම අපි මේක කරන්න තීරණය කළා. ඇත්තටම අපිට ලොකු ආඩම්බරයක් කුමාර් (සංගක්කාර) වගේ කෙනෙක් එම්. සී. සී. එකේ සභාපති වීම ගැන. මං හිතන්නේ නෑ අපි ජීවත් වෙලා ඉන්න කාලෙක ආයිත් තව එක්කෙනක් මේ තනතුරට එයි කියලා. ඉතිං ඒක අපිට ලොකු ආඩම්බරයක්. අපි ඒක අපේ දෝතින්ම අරගෙන කිව්වා අපි මේක කරනවා කියලා” පැවැසූ ශම්මි සිල්වා මහතා, අප්‍රේල් 21 වැනි දින එල්ල වුණු ප්‍රහාරයෙන් පසු සංචාරකයින් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට මෙම තරගය හරහා විශාල මෙහෙවරක් සිදුවන බවද මෙහිදී අවධාරණය කර සිටියේය.

Active filters

Recent Posts

  • ගාල්ලට පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ලකුණු 145ක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ පූර්ණ ජයග්‍රහණයක් උදෙසා ගාල්ල පිලට […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තායිලන්තය පරාජය කරයි
    මීළඟ කාන්තා ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලියේ ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පැවැති ප්‍රථම තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා […]
  • ගාල්ල පිලේ ඔෂධ ප්‍රනාන්දුගෙන් ද්විත්ව ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ කොළඹ – ගාල්ල අතර තරගයේ අද (24) දෙවැනි දිනයේදී ගාල්ල […]
  • දඹුල්ල පිලේ රනේෂ් සිල්වාගෙන් ශතකයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන මෙරට ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන නැෂනල් සුපර් ලීග් (NSL) සිවුදින තරගාවලියේ ඊයේ (23) ආරම්භ වූ තරගයකදී දඹුල්ල කණ්ඩායම නියෝජනය කරන රනේෂ් […]
  • ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරග
    බංග්ලාදේශයේ පැවැත්වෙන මීළඟ කාන්තා ලෝක කුසලාන කාන්තා විස්සයි 20 තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නගරයේදී බ්‍රහස්පතින්දා (25) […]

Pin It on Pinterest

USD United States (US) dollar