slc
logo
Home   |    News
ජූනි 24, 2026
ජාතික කණ්ඩායම්වලට දොර ඇරෙන සටන – හෙට ගාල්ලේදී ඇරඹෙයි

sinhala editor

ඉන්දීය “ඒ” ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා “ඒ” කණ්ඩායම අතර තරග 2 කින් සමන්විත සිව්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය හෙට (25 දා) ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලිය දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ඉහළ මට්ටමේ අන්තර්ජාතික අත්දැකීම් ලබා ගැනීමටත්, ජාතික කණ්ඩායමට පිවිසීම සඳහා තම හැකියාවන් පෙන්වීමටත් වැදගත් වේදිකාවක් ලෙස සැලකේ.

එළඹෙන අගෝස්තු මසදී ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සහභාගිවීමට නියමිත අතර, එම තරගාවලිය සඳහා ක්‍රීඩකයින්ගේ සූදානම හා තේරීම් ක්‍රියාවලිය තක්සේරු කිරීමේ අරමුණින් මෙම India A සංචාරය සංවිධානය කර ඇති බව ක්‍රිකට් ක්ෂේත්‍රයේදී සැලකේ.

සාමාන්‍යයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විදෙස් රටකදී ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට පෙර ඉන්දීය ‘ඒ‘ කණ්ඩායමක් ක්‍රීඩා කරවීම සාමාන්‍ය ක්‍රමවේදයක් වන අතර, එමඟින් ජාතික කණ්ඩායමට තේරීමට නියමිත ක්‍රීඩකයින්ගේ තත්ත්වය, සූදානම සහ තරග රිද්මය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම අපේක්ෂා කෙරේ. එම ක්‍රමවේදය අනුව මෙම ශ්‍රී ලංකා සංචාරයද ඉදිරි ටෙස්ට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් යොදා ගැනීමට ඔවුහු බලාපොරොත්තු වේ.

ඉන්දීය ජාතික කණ්ඩායමට ක්‍රීඩකයින් තෝරාගැනීමේ ප්‍රධාන මාර්ගයක් ලෙස ‘ඒ’ කණ්ඩායමේ දක්ෂතා සැලකෙන බැවින්, මෙම සංචාරය ජාතික පිලට පිවිසීමට අපේක්ෂා කරන ක්‍රීඩකයින්ට තීරණාත්මක අවස්ථාවක් ලෙසද පවතී.

මෙම සංචාරය පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය ‘ඒ’ නායක ධෘව් ජුරෙල් සඳහන් කළේ මෙවැනි තරගාවලි ක්‍රීඩකයින්ගේ වෘත්තීය ජීවිතයට ඉතා වැදගත් බවයි. “අපිට තියෙන සැලසුම අනුව මේ තරගාවලිය ඉතා වැදගත්. ගාල්ලේ තත්ත්වයන්ට අනුව හැඩගැසීමත්, උපරිම දක්ෂතා පෙන්වීමත් අපේ අරමුණයි. මෙය ඉදිරි ජාතික කණ්ඩායම් තේරීම් සඳහාත් වැදගත් අත්දැකීමක්,” යනුවෙන් ඔහු පැවසීය.

මෙවර සංචිතයේ සිටින ක්‍රීඩකයින් අතර ජාත්‍යන්තර අත්දැකීම් සහිත කිහිප දෙනෙකුද සිටිති. ඔවුන් අතර, ධෘෘවි ජුරෙල් (ටෙස්ට් තරග 10 ක්) මෙම කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර, සායි සුදර්ශන් (ටෙස්ට් තරග 7 ක්), දෙව්දත් පඩික්කාල් (ටෙස්ට් තරග 2 ක්), අන්ෂුල් කම්බෝජ් (එක් ටෙස්ට් තරගයක්), හර්ෂ් ඩුබේ (එක්දින තරග 2 ක්), ගුර්නූර් බ්‍රාර් (එක්දින තරග 3 ක්) සහ රුටුරාජ් ගයික්වාඩ් (එක්දින තරග 9 ක් විස්සයි-20 තරග 23ක්) යන ක්‍රීඩකයෝ වෙති.

ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායමද අත්දැකීම් සහිත ක්‍රීඩකයින් කීප දෙනෙකු සමඟ දේශීය පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ කැපී පෙනෙන දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින්ගෙන් සමන්විතව මෙම තරගාවලියට පිවිසෙමින්, ජාතික කණ්ඩායමට නව මුහුණු හඳුන්වාදීමේ වේදිකාවක් ලෙස මෙම තරගාවලිය භාවිතා කරයි.

ශ්‍රී ලංකා ‘ඒ’ නායක සහන් ආරච්චිගේද මෙම තරගාවලිය පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළේ ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අභියෝගාත්මක ප්‍රතිවාදීන් වුවද තම කණ්ඩායම හොඳ සූදානමකින් පසුවන බවයි. “අපි හොඳ පුහුණුවක් ලබාගෙන තියෙනවා. මේ තරග දෙක හොඳින් ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරගැනීම තමයි අපේ අරමුණ. ඉන්දියා ‘ඒ’ කණ්ඩායම වගේ ශක්තිමත් කණ්ඩායමකට එරෙහිව ක්‍රීඩා කිරීම අපේ ක්‍රීඩකයින්ට හොඳ අත්දැකීමක්,” යනුවෙන් ඔහු සඳහන් කළේය.

මෙස තරගය පැවැත්වෙන ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණය පිළිබඳවද ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ විශේෂ අවධානය යොමු වී තිබේ. ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ අතර ප්‍රධානතම ටෙස්ට් ක්‍රීඩාංගණයක් වන ගාල්ල තණතීරුව සාම්ප්‍රදායිකව දඟ පන්දු යවන්නන්ට වාසිදායක ලෙස හැසිරෙන අතර, ටෙස්ට් තරගයකදී පිතිකරණ හැකියාව, ඉවසීම සහ තරගය පුරා අවධානය පවත්වා ගැනීමේ ශක්තිය පරීක්ෂා කරන ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ බැවින් මෙහි තණතීරු පිළිබඳ අත්දැකීම් ලබා ගැනීම ඉන්දීය දෙවැනි පෙළ ක්‍රීඩකයින් සඳහාද ඉතා වැදගත් බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ අපේක්ෂාව වී තිබේ.

ශ්‍රී ලංකා ‘ඒ’ සිව්දින සංචිතය – සහන් ආරච්චිගේ (නායක), පවන්ත වීරසිංහ, සොහාන් ද ලිවේරා, නුවනිඳු ප්‍රනාන්දු, අෂේන් බණ්ඩාර, නිරෝෂන් දික්වැල්ල, රවිඳු ප්‍රනාන්දු, කවිඳු පතිරත්න, දිලුම් සුධීර, මොහොමඩ් ශිරාස්, චාමික ගුණසේකර, කේෂර නුවන්ත, දුලාජ් සමුදිත, ප්‍රවීන් මනීෂ, අහන් වික්‍රමසිංහ, අසංක මනෝජ්.

ඉන්දීය ‘ඒ‘ කණ්ඩායම – ධෘෘව් ජුරෙල්, සායි සුදර්ශන්, ආයුෂ් පාණ්ඩේ, දෙව්දත් පඩික්කාල්, හර්ෂ් ඩුබේ, සරන්ශ් ජේන්, ගර්නූර් බ්‍රාර්, අව්කිබ් ඛාන් නාරායන් ජගදීසන්, අමන් මෝඛාඩේ, රෂීඩ් ශෙයික්, ජීෂාන් අන්සාරි, රුටුරාජ් ගයික්වාඩ්, අන්ෂුල් කාම්බෝජ්, යෂ් ඨාකූර්.

Active filters

Recent Posts

Pin It on Pinterest

LKR Sri Lankan rupee