slc
logo
Home   |    News
ජනවාරි 16, 2020
ටෙස්ට් පිලට කුසල් ඇතුළත් නොකිරීම ගැන මිකී ආතර් කරුණු පහදයි

Sri Lanka Cricket

By Chamila Karawita

සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ලබන 19 වැනිදා ආරම්භ වන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරග සංචාරය සඳහා නම් කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමට වමත් පිතිකරු කුසල් පෙරේරා ඇතුළත් නොකිරීම බොහෝ දෙනා අවධානය යොමු කරන ලද කරුණක් වූ නමුත්,  ටෙස්ට් කණ්ඩායමේ තමාට හිමි ස්ථානය කුමක්ද යන්න කුසල් පෙරේරා තුළ අදහසක් තිබෙන බව  කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා පවසා සිටියි.

එම ටෙස්ට් තරග සංචාරයට සහභාගිවීමට ප්‍රථම ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ප්‍රධාන පුහුණුකරු ඉහත අදහස් පළ කර සිටියේය. සංචාරයට පිටත්ව යෑමට ප්‍රථම සාම්ප්‍රදායිකව පවත්වනු ලබන ආගමික වතාවත් වලට පෙර පවත්වන ලද මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ප්‍රධාන පුහුණුකරු, කණ්ඩායම තුල තිරසාර සාර්ථකත්වයක් ගොඩනැංවීමට නම් දක්ෂතා වල ස්ථාවර භාවය ස්ථාපිත කිරීම අත්‍යවශ්‍ය බවද සඳහන් කර සිටියේය.

නම් කරන ලද කණ්ඩායමට කුසල් පෙරේරා ඇතුළත් නොවීම සම්බන්ධව දරන අදහස සම්බන්ධව මාධ්‍ය විසින් කරන ලද විමසීමේදී වැඩිදුරටත් අදහස් දක්වා සිටි ආතර් වැඩි දුරටත් මෙසේද සඳහන් කර සිටියේය. “මගේ අදහස ඉතාම සරළයි. කුසල් දන්නවා එයා සුදුසු වන්නේ කොයි අංශයටද කියලා” යි පවසන ආතර්, “අපේ ටෙස්ට් කණ්ඩායමේ සැලසුම් අතර තවමත් කුසල් ඉන්නවා. එක ගැන සැකයක් නෑ. ඒ අනුව එයාට ක්‍රීඩා කරන්න සුදුසු වාතාවරණයන්වලදී ඔහු ටෙස්ට් කණ්ඩායම නියෝජනය කරාවි. නමුත් ඔහු සමඟ සිදුකරන ලද සන්නිවේදනයෙදි එක දෙයක් තහවුරු වුණා. ඒ තමයි එයා දන්නවා ටෙස්ට් කණ්ඩායමේ එයාට ගැලපෙනම තැන පිළිබඳව”යි අදහස් දැක්වීය.

කණ්ඩායමේ දක්ෂතා දිගින් දිගටම රඳවා ගැනීමට නොහැකි වීම කඩා වැටීමට හේතුවක් වී තිබෙන බවද මෙහිදී අවධාරණය කර සිටි ප්‍රධාන පුහුණුකරු එම තත්ත්වයෙන් ගොඩ ඒමට නම් කණ්ඩායමේ දක්ෂතාවල ස්ථාවර භාවයක් ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍ය බවද සඳහන් කර සිටියේය.

“අපි උත්සාහ දරන්නේ ස්ථාවර කණ්ඩායමක් ගොඩ නඟන්න. මමත් දැන් මේ සිස්ටම් එකේ මාස 2 කට ආසන්න කාලයක ඉඳන් රැඳීලා ඉන්නවා. එතැනදි මම සුදු පන්දුවෙන් කරන ක්‍රීඩාව වගෙම රතු පන්දුවෙන් කරන ක්‍රීඩාව සම්බන්ධව සැලසුම් සකස් කරලා තියෙනවා. මෙතැනදි වඩාත්ම වැදගත්වන දේ තමයි දක්ෂතාවල ස්ථාවර භාවය ස්ථාපිත කිරීම. අතීතය අරගෙන බැලුවොත් තරග 2 ක් ක්‍රීඩා කරනවා එළියට යනවා. ආපසු කණ්ඩායමට එනවා. අපිට එහෙම කරන්න බැහැ. අපිට කණ්ඩායම තුළ තිරසාර සාර්ථකත්වයක් අපේක්ෂා කරනවා නම් ඒ සඳහා අනුකූලතාවයක් තිබිය යුතුයි” යනුවෙන් ආතර් අදහස් දක්වයි.

කුසල්ගේ ඉවත් කිරීම ගැන සුභවාදීව බලන්න

මේ අතර තේරීම් කමිටු සභාපතිවරයා වන අසන්තා ද මෙල් මහතා සඳහන් කර සිටියේ කුසල් පෙරේරා යනු හොඳ පිතිකරුවෙක් වුවත් අවසන් 11 දෙනා අතරට ඔහුව ආදේශ කිරීමේදී ඇන්ජලෝ මැතිව්ස්ට හෝ දිනේෂ් චන්දිමාල් යන දෙදෙනාගෙන් අයෙකුට සිය ස්ථානය අහිමිවන බවයි. එහෙත් ක්‍රීඩා කිරීමට නියමිත අවසන් 11 දෙනා තෝරා ගැනීමේදී  නායකයාගේ සහ පුහුණුකරුගේ වැඩි කැමැත්ත මැතිව්ස්ට සහ චන්දිමාල්ට හිමි වන බවද මෙහිදී තේරීම් කමිටු සභාපතිවරයා අවධාරණය කර සිටියේය.

“කුසල් කියන්නේ හොඳ පිතිකරුවෙක්. ඒක අපි දන්නවා”යි පවසන ද මෙල් මහතා “ප්‍රශ්නෙ තියන්නේ කුසල් ගහනවා නම් එයාට ගහන්න වෙන්නේ පන්දු රකින්නෙක් විදියට. කඩුලු රකින්නේ දික්වැල්ල. එතකොට මෙතැනින් අයින් කරන්න වෙන්නේ මැත්ව්ස්. එහෙමත් නැත්නම් චන්දිමාල්. ඒ දෙන්නාගෙන් එක්කෙනෙක් තමයි කුසල් වෙනුවට අයින් කරන්න ඕන. පාකිස්තාන සංචාරයේදී අපි පුහුණුකරුගෙනුයි නායකයාගෙනුයි ඇහුවම, කණ්ඩායම තුළ ස්ථාවර භාවය ගැන අවධානය යොමු කරලා ඔවුන් කිව්වේ චන්දිමාල් සහ මැතිව්ස් ක්‍රීඩා කරවන එක”.

“කණ්ඩායමට ක්‍රීඩා කරන්න පුලුවන් පිතිකරුවන් 6 දෙනාටයි. කුසල් ජනිත් දකුණු අප්‍රිකාවේ ක්‍රීඩා කරේ ඇන්ජලෝයි චන්දිමාලුයි දෙන්නම නැති අවස්ථාවේ. දැං ඒ දෙන්නම කණ්ඩායමට ඇවිල්ලා ඉන්නවා. මේක දිහා ඇත්තටම අපි සුභවාදීව බලන්න ඕන” යැයි තේරීම් කමිටු සභාපති ධුරයට අමතරව කණ්ඩායමේ කළමනාකාර ධුරයද දරන ද මෙල් මහතා, “පාකිස්තානේ පැවැති ටෙස්ට් තරග දෙකත් ක්‍රීඩා කළේ නෑ. මේ තරගාවලිය ගැන අපි කතා කරනකොට තේරුණා කුසල් ජනිත් පළවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන්නේ නෑ කියලා. ඉතිං එයාව දකුණු අප්‍රිකාවට ගෙනිහිල්ලා බංකුවේ තියාගෙන ඉන්නවට වැඩිය හොද නැද්ද ඉදිරියේදී තියෙන සුදු පන්දු තරග වලට ක්‍රීඩා කරන්න හුරුවෙන එක. ඉදිරියේදී අපිට සුදු පන්දු තරග ගොඩකට ක්‍රීඩා කරන්න තියෙනවා”යි පවසා සිටියේය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරි කාල සමය ඉතාමත් කාර්යය බහුල සමයක් වන අතර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියට අමතරව ශ්‍රී ලංකා කණ්ඩායමට ජාත්‍යන්තර තරග 30 කට ආසන්න සංඛ්‍යාවකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබේ.

“මේ අවස්ථාවේ අපි හිතුවේ එයා සෙල්ලම් නොකරනවනම් වැඩිපුර දෙයක් මෙහේ සුදු පන්දුවෙන් පුහුණුවීම් කරලා ගන්න පුලුවන්. අනිත් එක ටෙස්ට් දෙකකට ක්‍රීඩා කළත් අපි මේ තරගාවලියේදී එක්ස්පරිමන්ට් කරන්න යන්නේ නෑ. අපි බලන්නේ ස්ථාවර සංචිතයක් හදන්න” යැයි පවසන ද මෙල් මහතා, “ඉදිරියේදී අපිට එංගලන්තය සමඟ තරගාවලියක් තියෙනවා. ඒ වෙනකොට බලන්න ඕන කොහොම හරි පළවැනි පිතිකරුවෝ 6 දෙනා ස්ථාවර කරගන්න. එයාට කතා කරාම එයත් මේ තීරණයට කැමැති වුණා. එයා හිතුවෙත් සෙල්ලම් කරන්නේ නැත්නම් එයා කැමැත්තෙන්ම මෙහෙ ඉඳලා පුහුණුවීම් කරන්න”යි වැඩිදුරටත් අදහස් දක්වා සිටියේය.

Active filters

Recent Posts

  • පොලීසිය සහ පානදුරට ජයග්‍රහණ
    ශ්‍රී ලංකා පොලීසිය සහ පාණදුර ක්‍රීඩා සමාජය අද (12) දිනයේ වර්ෂාව අභිබවායමින් මේජර් ලීග් තුන්දින තරගාවලියේ ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය.  මේ කණ්ඩායම් දෙකම දෙවන දින (සෙනසුරාදා – […]
  • ශ්‍රී ලංකා ක්‍රිකට් තොරතුරු දැනගන්න ‘මොබයිල් ඇප්‘ එකක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන්ම වූ තොරතුරු ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සඳහාම වෙනුවුණු විශේෂ ‘මොබයිල් ඇප්‘ (Mobile App) එකක් එළි දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉකුත්දා […]
  • 19 න්  පහළ බාලිකා ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා පිල නම් කරයි
    ජනවාරි මස 18 වැනිදා මැලේසියාවේදී ආරම්භවීමට නියමිත වයස අවුරුදු 19 න් පහළ බාළිකා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවන ශ්‍රී ලංකා බාළිකා කණ්ඩායම ප්‍රකාශයට පත් කර තිබේ. එම […]
  • ශ්‍රී ලංකාවට ගෞරවාන්විත තරගාවලි අවසානයක්
    ඕක්ලන්ඩ් නුවරදී පැවැති තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහිව ලකුණු 140 ක දැවැන්ත තරග ජයග්‍රහණයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. මෙම තරගාවලියේ  පළමු […]
  • කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ අභියස
     ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන මේජර් ලීග් තුන්දින ක්‍රිකට් තරගාවලියේ තෙවන සති අන්තය වන මේ සතියේ දෙවන දිනය වන අද (11) තරග නිම වන විට කණ්ඩායම් කිහිපයක්ම ජයග්‍රහණ […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee