slc
logo
Home   |    News
ජූලි 11, 2025
පළමු විස්සයි-20 න් ශ්‍රී ලංකාවට කඩුලු 7 ක ජයක්

sinhala editor

කඩුලු දවා ගැනීමට වඩා ලකුණු නවාතාලීම උපක්‍රමය ලෙසින් භාවිතා කිරීමට සමත්වීමත්, ආරම්භක පිතිකරුවන් වූ කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංකගේ වේගවත් ආරම්භයත් හේතුවෙන් පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (10 දා) රාත්‍රියේ නිමාවට පත් පළමු විස්සයි-20 ජාත්‍යන්තර තරගයෙන් බංග්ලාදේශයට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වූවේය. මේ සමඟම තරග 3 කින් සමන්විත විස්සයි-20 තරගාවලිය 1-0 ක් ලෙස සත්කාරක ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.

ටෙස්ට් තරගාවලියේ සිටම පිතිකරුවකු ලෙස සාර්ථකත්වයට පැමිණ සිටින කුසල් මෙන්ඩිස් අද දිනයේදී තවත් අර්ධ ශතකයක් වාර්තා කරගත්තේ බංග්ලාදේශ පන්දු යවන්නන්ට සිතන්නටවත් වේලාවක් ඉතිරි නොකරමිනි. එම ඉනිම ප්‍රධාන කොට ජයග්‍රහණය සඳහා ලකුණු 155 ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු 6 ක් ඉතිරිව තිබියදී ඉලක්කය සපුරා ගත්තේ චරිත් අසලංක එල්ල කරන ලද දැවැන්ත හයේ පහරත් සමගිනි.

පැතුම් නිස්සංක සමඟින් ඉනිම ආරම්භ කළ කුසල් මෙන්ඩිස් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 78 ක් එක් කළේ පන්දු 28 ක් පමණක් වැය කරමිනි. මෙම අධිවේගී පිතිහරඹ රටාව හේතුවෙන් ප්‍රහාරාත්මක (පවර් ප්ලේ) පන්දුවාර 6 දී ශ්‍රී ලංකාවට ලකුණු 83 ක් රැස් කර ගැනීමට අවස්ථාව උදාවූ අතර එය මෙතෙක් විස්සයි-20 තරගයක ශ්‍රී ලංකාව වාර්තා කරන ලද ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසින් සටහන් විය. මීට පෙර ශ්‍රී ලංකාව ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2018 වසරේ මාර්තු මසදී ඉන්දියාවට එරෙහිව රැස් කරන ලද ලකුණු 75 විය.

එම අධිවේගී පිතිහරඹ කොතෙක්ද කිවහොත් ශ්‍රී ලංකා ඉනිමේ තෙවැනි පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ සිට සිව්වැනි පන්දුවාරය යැවූ ටනැස්ම් හසන් ටස්කින් අහමඩ්ගේ පන්දු 6 කින් ඔවුන් දෙදෙනා ලකුණු 30 ක් උදුරා ගත්හ. කුසල්ට අනගි සහායක් ලබා දුන් පැතුම් නිස්සංක පන්දු 16 කින් ලකුණු 42 ක් රැස් කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් තම ඉනිමට ඇතුළත් කරගනිමිනි. ඒ අතර ශ්‍රී ලංකා ඉනිමේ පළමු පන්දු 3 ටම එල්ල කරන ලද හතරේ පහර 3 ද ඇතුළත් විය.

මෙහෙදි හසන්ගේ පන්දුවක් හමුවේ පැතුම් දැවී ගියද තම ප්‍රහාරාත්ම ඉනිම දිගටම ක්‍රියාත්මක කළ මෙන්ඩිස් පන්දු 51 කදී ලකුණු 73 ක් රැස් කර ගත්තේය. හයේ පහර 3 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වුණු මෙන්ඩිස්ගේ ඉනිම 18 වැනි පන්දු වාරයේදී නිමාවට පත් වන විට ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සදහා අවශ්‍යව පැවැතියේ ලකුණු 7 ක් පමණි. එම ඉනිම ප්‍රධාන කොට තරගයේ වීරයා සම්මානයෙන්ද ඔහු පිදුම් ලැබීය.

පැතුම්ගේ දැවී යෑමෙන් පසු කුසල් ට එක් වූ අනෙක් කුසල් වූ පෙරේරාට අද දිනය සුවිශේෂී වූයේ විස්සයි-20 තරග අංශයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් හතරේ පහර 200 ක් එල්ල කළ දෙවැනි පිතිකරුවා බවට පත්වීමට අවස්ථාව උදාවීමය. ලබා ගත් ලකුණු 24 වෙනුවෙන් හතරේ පහර 2 ක් එල්ල කළ වමත් කසකරුවාට, ඉදිරියෙන් සිටින්නේ හතරේ පහර 227 ක් එල්ල කර සිටින ටී. එම්. ඩිල්ෂාන් පමණි. ඒ අනුව ඔහු ලෝකයෙන්ම එවැනි දස්කම් දක්වන ලද 27 වැනි පිතිකරුවා බවටද අද දිනයේදී ඉතිහාස පොත්වලට එක්විය.

කඩුලු දවා ගැනීමට වඩා ලකුණු ලබා ගැනීම පාලනය කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කරමින් පන්දු යැවූ ශ්‍රී ලංකා කණ්ඩායම, නියමිත පන්දුවාර 20 අවසනදී බංග්ලාදේශ ඉනිම ලකුණු 154 සීමාවේ රඳවා ගත්හ. කඩුලු දවා ගැනීම පිළිබඳව එතරම් අවධානයක් යොමු නොකළ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ වෙනදා මෙන් කඩුල්ල තුළට පන්දු යැවීමට වඩා උනන්දු වූයේ වේගය අඩාල කරමින් යවන ලද පන්දු වලින් බංග්ලාදේශ පිතිකරුවන් අපහසුවට පත් කිරීමය.

එහිදී සාර්ථක පන්දු යැවීමක නිරත වුණු දසුන් ශානක, බංග්ලාදේශ පිල අඩු ලකුණු සංඛ්‍යාවකට තබා ගැනීමේ පෙර ගමන් කරුවා වූවේය. හත්වැනි පන්දුවාරයේ සිට තම පන්දු යැවීම ආරම්භ කළ දකුණත් මද වේග පන්දු යවන්නාගේ පළමු පන්දුවාර ත්‍රිත්වයටම බංග්ලාදේශ පිතිකරුවන්ට රැස් කරගත හැකි වූයේ ලකුණු 11 ක් පමණි. ඔහු ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේදී ප්‍රතිවාදී පිතිකරුවන් හතරේ පහර 2 ක් එල්ල කරන්නට සමත්වූ නමුත් තම පන්දුවාර 4 ඔහු නිමා කරන ලද්දේ ලකුණු 22 කට කඩුල්ලක්ද දවා ගනිමිනි.

පර්වේස් හොසේන් සහ ටැ්සිඩ් හසන් එක්ව වේගවත් ආරම්භයක් බංග්ලාදේශයට ලබා දුන් නමුත් මුලු ලකුණු සංඛ්‍යාව 46 ක්ව තිබියදී නුවන් තුෂාරගේ පන්දුවක් හමුවේ ටැන්සිඩ් හසන් දැවී ගියේය. එම වේගවත් ආරම්භයත් සමග පන්දු 31 කින් ලකුණු 50 සීමාව පසුකරමින් පවර් ප්ලේ අවස්ථාවට හිමි පළමු  පන්දුවාර 6 දී ලකුණු 54 ක් රැස් කරගෙන සිටියේ පන්දුවාරයකට ලකුණු 09 ක ප්‍රහාරයක වේගයක් රඳවා තබා ගනිමිනි.

ඉනිමේ වැඩිම කඩුලු ලාභියා වූයේ මහීෂ් තීක්ෂණ වුවත්, බංග්ලාදේශ පිතිකරුවන්ව වැඩි වාර ගණනක් අසීරුතාවයට ඇද දැමූ දඟ පන්දු යවන්නා වූයේ වනිඳු හසරංග වෙනුවට කණ්ඩායමට ආදේශ කෙරුණු පා දඟ පන්දු යවන ජෙෆ්රි වැන්ඩර්සිය. හේ තම පන්දුවාර 4 දී ලකුණු 25 ක් පමණක් ලබා දී එක් කඩුල්ලක් බිඳ හෙළුවේය.

හත්වැනි පන්දුවාරය අවසන් වන විට බංග්ලාදේශ පිල එක් කඩුල්ලකට ලකුණු 57 ක් ලබා සිටියේය. එහෙත් 17 වැනි පන්දුවාරය අවසන් වන විට ඔවුන් රැස් කරගෙන සිටියේ කඩුලු 4 ට ලකුණු 122 ක්. ඉන් ගම්‍ය වූයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් බංග්ලාදේශ පිතිකරුවන්ව කොතෙක් දුරට හොඳින් පාලනය කළේද යන්නයි. එම ඉනිම මැද අතරතුර යවන ලද පන්දු 60 කදී ඔවුන්ට රැස් කර ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් අවස්ථාව ලබා දී තිබුණේ ලකුණු 65ක් පමණි.

බංග්ලාදේශය පන්දුවාර 20 කදී කඩුලු 5 ක් දැවි ලකුනු 154 යි – (පර්වේස් හොසේන් එමෝන් 38, ටැන්සිඩ් හසන් 16, ලිටන් දාස් 06, මොහොමඩ් නයීම් 32, තව්හිඩ් රිඩෝයි 10, මෙහෙදි හසන් මිරාස් 29, ශමීම් හොසේන් 14*, මහීෂ් තීක්ෂණ 37/2, දසුන් ශානක 22/1, ජෙෆ්රි වැන්ඩර්සි 25/1, නුවන් තුෂාර 32/1)

ශ්‍රී ලංකාව පන්දුවාර 19 කදී කඩුලු 3 ක් දැවී ලකුනු 159 යි – (කුසල් මෙන්ඩිස් 73. පැතුම් නිස්සංක 42, කුසල් පෙරේරා 24, අවිශ්ක ප්‍රනාන්දු 11, චරිත් අසලංක 08, මොහොමඩ් සෆියුඩීන් 22/1, මෙහෙදි හසන් මිරාස් 24/1, රිෂාඩ් හොසේන් 24/1)

Active filters

Recent Posts

  • ඉන්දීය යොවුන් පිතිකරුවන්ගෙන් සාර්ථක ආරම්භයක්
    ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සහ ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී අද (20) ආරම්භ වූ දෙවැනි යොවුන් ටෙස්ට් ක්‍රිකට් […]
  • ඉන්දීය ටෙස්ට් පිල අගෝස්තුවේ ශ්‍රී ලංකාවට
    ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය විසින් පවත්වනු ලබන අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතා 2025-2027 තරගාවලියට අයත් තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියක් සඳහා ඉන්දීය ජාතික පිරිමි ක්‍රිකට් කණ්ඩායම 2026 අගෝස්තු මාසයේදී ශ්‍රී […]
  • ජනිත් ලියනගේ කලම්බු කැප්ස්ට ජය ගෙන එයි
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ පස්වැනි තරගයේදී ජනිත් ලියනගේ හා ජේම්ස් නීෂම් ගොඩනැගූ නොබිඳුණු පස්වැනි කඩුල්ලේ සබඳතාවයේ ශක්තිය හේතුවෙන් කැන්ඩි රෝයල්ස් කණ්ඩායම කඩුලු 6කින් පරාජය කිරීමට කලම්බු […]
  • ‘රෝස පැහැ‘ ගැන්වුණු තරගයේ ජය ජැෆ්නා කිංග්ස්ට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලිය යළිත් වරක් ක්‍රිකට් ක්‍රීඩාවට සමාජ වෙනසක් ඇති කිරීමේ හැකියාව සනාථ කරමින්, පියයුරු පිළිකා පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කළ ‘රෝස තරගය’ […]
  • ගෝල් ගැලන්ට්ස් අපරාජිතව ඉදිරියට
    ලංකා ප්‍රිමියර් ලීග් (LPL) 2026 තරගාවලියේ අපරාජිත ගමන තවදුරටත් පවත්වාගෙන යමින් ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සිය දෙවැනි අඛණ්ඩ ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් විය. මෙවර තරගාවලියේ තෙවැනි තරගය ලෙසින් ජූලි […]

Pin It on Pinterest

LKR Sri Lankan rupee