slc
Home   |    News
ජනවාරි 14, 2020
නිපුන් සහ සොනාල්ගේ උත්සාහය අපතේ යයි

sinhala editor

අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ආරම්භයට පෙර යොවුන් කණ්ඩායම්වලට හිමි පෙරහුරු තරග යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වුණු දෙවැනි තරගයෙන් පාකිස්තානය හමුවේ කඩුලු 4 ක පරාජයක් අද (14 දා) අත්වින්දේය.  ප්‍රෙටෝරියාහි පැවැති මෙම තරගයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දෙමින් ලබා ගත් ලකුණු 215 ට පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු යොවුන් පිතිකරුවෝ අදාළ ඉලක්කය කඩුලු 6 ක් දැවී සපුරා ගන්නා ලද්දේ තවත් පන්දු 28 ක් ලකුණු පුවරුවේ ඉතිරිව තිබියදීය.

අදාළ හඹා යෑමේදී පෙරගමන් කරුවා බවට පත්වූ ෆාහඩ් මුනිර් පන්දු 86 කදී ලකුණු 51 ක් ලබමින් වැඩි මෙහෙයක් ඉටු කළේය. ඔහුට අමතරව මොහොමඩ් හැරිස් පන්දු 36 කදී වේගවත් ලකුණු 43 ක් රැස් කරන ලද්දේ පාකිස්තානු ජයග්‍රහණය ඉක්මන් කරමිනි.

ලකුණු 216 ක ඉලක්කයක් හඹා යෑම සඳහා පිටියට පිවිසි පාකිස්තානු ආරම්භක පිතිකරුවන් වූ හයිඩර් අලී සහ මුහමඩ් ශේසාඩ් පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 64 කදී ලකුණු 61 ක් ලබා සාර්ථක ආරම්භයක් ලබා දුන්හ. ඒ අනුව යමින් පාකිස්තානු පිතිකරුවන් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට පහර දෙද්දී සාර්ථක වූ එකම පන්දු යවන්නා බවට පත්වූයේ ඩිල්ෂාන් මධුශංක පමණි. ඔහු ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත්තේය.

වැඩි ලකුණු සංඛ්‍යාවක් පුවරුවේ රඳවමින් ප්‍රතිවාදීන්ට අභියෝගයක් එල්ල කිරීමේ අරමුණ ඇතිව කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක නිපුන් ධනංජය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ නමුත්, සිය ආරම්භක පිතිකරුවන්ට සාර්ථක ආරම්භයක් ලබා දීමට නොහැකි විය. ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉනිම ඇරැඹි නවෝද් පරණවිතාන සහ කමිල් මිශාර ලකුණු 36 කදී නරඹන්නන් බවට පත්වද්දී මොහොමඩ් ශමාස්ට සහ තවීෂ අභිෂේක් වෙත වැඩි වගකීමක් පැවැරිණ. එහෙත් මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 71 ක්ව තිබියදී ඔවුන් දෙදෙනාද පිටියෙන් ඉවත් වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භයම පීඩනයකින් වෙළා ගැණින.

එහෙත් නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කරමින් තම කණ්ඩායම ඉදිරියට රැගෙන ගිය නිපුන් ධනංජය අනෙක් අන්තයේ වූ සොනාල් දිනූෂවද සම්මාදම් කර ගනිමින් කඩා වැටුණු ඉනිම නංවාලන ලද්දේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 122 ක් එක් කරමිනි. ඒ 19 වැනි පන්දුවාරයේ සිට 46 වැනි පන්දුවාරය පුරා විහිදුණු පන්දු 159 කට මුහුණ දෙමිනි.

එම සම්බන්ධතාවයේදී මොවුන් දෙදෙනාම අර්ධ ශතක වාර්තා කිරීම කැපී පෙනුණි. අවශ්‍යම මොහොතේ ක්‍රියාත්මක වුණු නිපුන් ධනංජය පන්දු 88 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් ලකුණු 55 ක්ද සොනාල් දිනූෂ හතරේ පහර 7 ක් සමඟ පන්දු 87 කදී ලකුණු 68 ක්ද රැස් කළහ. මුලු ලකුණු සංඛ්‍යාව 195 ක්ව තිබියදී නිපුන් දැවී ගිය අතර අනතුරුව තවත් ලකුණු 22 ක් ඇතුළත ශ්‍රී ලංකා ඉනිම ලකුණු 215 කදී හමාර වූයේ තවත් පන්දු 3 ක් ක්‍රීඩා කිරීමට ඉතිරිව තිබියදීය.

ලකුණු සාරාංශය

ශ්‍රී ලංකා යොවුන් පිල පන්දුවාර 49.3 කදී ලකුණු 215 යි – (නවෝද් පරණවිතාන 12, කමිල් මිශාර 15, මොහොමඩ් ශමාස් 19, තවීෂ අභිෂේක් 13, නිපුන් ධනංජය 55, සොනාල් දිනූෂ 68, අහන් වික්‍රමසිංහ 00, චමිඳු විජේසිංහ 07, අෂේන් ඩැනියෙල් 02*, කවිඳු නදීෂාන් 01, සුධීර තිලකරත්න 02, තහීර් හුසේන් 41/4, අමිර් ඛාන් 38/2, අබ්බාස් අෆ්රිඩි 26/2, ආමිර් අලී 30/2)

පාකිස්තානු යොවුන් පිල පන්දුවාර 45.2 කදී කඩුලු 6 ට ලකුණු 218 යි – (හයිඩර් අලී 33, මුහමඩ් ශේසාඩ් 24, රොහෙයිල් නසීර් 05, ෆාහඩ් මුනිර් 51, මුහමඩ් හැරිස් 43, කසීම් අක්‍රම් 29, ඉර්ෆාන් ඛාන් 11*, අබ්බාස් ඇෆ්රිඩි 10*, ඩිල්ෂාන් මධුශංක 21/3)

Recent Posts

  • ශ්‍රී ලංකාව පන්දු යැවීමට තීරණය කරයි
    නවසීලන්තයට එරෙහිව ඕක්ලන්ඩ්හිදී පැවැත්වෙන පළමු එක්දින තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දුවට පහර දීම සඳහා සත්කාරක නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කර සිටියේය. මෙම […]
  • අවධානම අඩු කර ගැනීමේ පළමු සටනට ශ්‍රී ලංකා පිල සූදානම් – දසුන්
    BY CHAMILA KARAWITA ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන සුපිරි ලීග් තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන අවසන් එක්දින තරගාවලිය නවසීලන්ත කණ්ඩායමට එරෙහිව හෙට (25 […]
  • දඹුල්ල සිව්වැනි ජයත් සමඟින් අපරාජිතව ඉදිරියට
    නැෂනල් සුපර් ලීග් එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (23 දා) රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ජැෆ්නා කණ්ඩායම ලකුණු 76 ක පරාජයකට ඇද දැමූ දඹුල්ල කණ්ඩායම පිට […]
  • කෲස්පුල්ලේගෙන් අනුකම්පා විරහිත පිතිහරඹයක්
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ මූලික තරග වටය යටතේ අද (23 දා) පල්ලකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තරගයේදී ලකුණු 167 […]
  • යාපනයේ ක්‍රිකට් ගැන විතූෂාන් කතා කරයි
    යාපනයේ සිට පැමිණි තරුණි තරුණ ක්‍රිකට් ක්‍රීඩකයන් පස්දෙනෙකුම මේ වන විට අන්තර් සමාජ නියෝජනය කරමින් ජාතික මට්ටමෙන් තරග කරන අතර ඔවුනගේ අපේක්ෂාව වන්නේ ජාතික කණ්ඩායමට ඇතුළත්ව මව්බිමට කීර්තියක් […]
LKR Sri Lankan rupee

Pin It on Pinterest